(ඩයනා උදයංගනී)
සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව අගෝස්තු මස අවසානයට පෙර ලබාදී ඉන්පසු රටේ පාසැල් විවෘත කිරීමේ හැකියාවක් ඇතැයි කී ඇමතිවරයා දිගින් දිගටම පාසල් වසාතැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.
ඒ නිසා ඊට පෙර සැලැස්මක් ලෙස පාසැල්වලට පැමිණ වැඩකටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ඇමතිවරයා කීවේය.
ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව හැකිතාක් ඉක්මණින් පාසැල් විවෘත කිරීම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බව කී ඇමතිවරයා එහි ප්‍රථම පියවර ලෙස ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම කරගෙන යන බව ද පැවසීය.
මේ වන විට ඔවුන්ගෙන් සියයට 83 කට පළමු මාත්‍රාව ලබාදී ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව බස්නාහිර පළාතේ සියයට 98 කට, ඌව පළාතේ සියයට 95කට, මධ්‍යම සහ වයඹ පළාත්වල සියයට 84කට, උතුරු මැද හා දකුණු පළාත්වල සියයට 83කට, උතුරු පළාතේ සියයට 82කට, නැගෙනහිර පළාතේ සියයට 74කට සහ සබරගමු පළාතේ සියයට 52කට එන්නකේ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
ඔවුන්ට ලබන අගෝස්තු මස අවසන් වනවිට දෙවන මාත්‍රාව ලබා දී අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව පාසැල් විවෘත කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කීවේය.
මෙරට සිසුන් 50 ට අඩු පාසැල් 1439 ක්, සිසුන් 51 ත් 100 ත් අතර සිටින පාසැල් 1523 ක් තිබෙන බව කී ඇමතිවරයා මෙරට ඇති පාසැල් 10,165ක් පමණ අතුරින් පාසල් 2,962ක්ම සිසුන් 100 ට අඩු පාසල් බව කීවේය.
ප්‍රථම පියවර ලෙස සිසුන් අඩු එම පාසැල් විවෘත කර ඉන්පසු ක්‍රමානුකූල සැලැස්මක් මත සෙසු පාසැල් පියවරෙන් පියවර විවෘත කිරීම රජයේ අභිලාශය බව ඇමතිවරයා පැවසීය.
COMMENTS
රාජකාරියට නාවොත් සේවය අත්හැර ගියා සේ සලකන්න. 1985 ජූලි වර්ජකයින්ට දුන් බැස්ටිය දෙන්න. දොඹකරයක් ගෙනැල්ලා ස්ටාලින් එල්ලන්න...
ජනාධිපතිතුමනි, කරුණාකරලා අධ්‍යාපනයයට ඒ ගැන දන්නා පාසල් ප්‍රධානීන් සමග වැඩ කල හැකි ප්‍රායෝගික ඇමතිවරයකු සහ ලේකම් වරයකු පත් කරන්න . මේ යන විදියට ආණ්ඩුව වැටෙන්නේ අධ්‍යාපන ඇමතිවරයා නිසා.
කොරෝනා නොතකා කල්ලි ගැහි ගැහී පෙළපාලි ගියා නම් ආරක්ෂිතව පාසල් එන්න බැරි කමක් නෑනේ... එහෙම එන්න බැරිනම් පඩි රහිත නිවාඩු. මෙයාලාගේ සෙල්ලම් එක්ක රටක් කරන්න බෑ... මෙහෙම නොකර.
ආයාචනා කරන්න දෙයක් නෑ. ගුරුවරු කෙතරම් කාලයක් ආයාචනා කළාද? ඒවා ඉටුකර දෙන්න අනාගත පරපුර 69 ලක්ෂයේ ගොඩට දාන්න කුමන්ත්‍රණයෙන් අයින් වෙලා ප්‍රාඩෝ, පාර්ලිමේන්තු කැන්ටිම, ජිම්, නිල් මැණික් සල්ලි, තෙල් නැවේ වන්දි යනාදී සියල්ල යොදවන්න.
දැනට අවුරුදු 24කට පෙර ඔබ ඉදිරිපත් කළ රාජ්‍ය සේවා වැටුප් ක්‍රමය නිසා මෙම අර්බුදය ඇති වී තිබේ. එම යුගයේ ඔබ සහ චන්ද්‍රිකාගේ වැටුප් ක්‍රමය මෙම අර්බුදයේ ආරම්භයයි.
ගුරු ප්‍රශ්නය විසඳලා හිටියානම් හොඳයි නේද
අනේ පව්... යල් පැනපු මහැදුරා. කාලකණ්ණින්ට ආයාචනා කරනවා. මොන විකාරයක්ද? මෙයාලාට තිබෙන ශක්තිය, ධෛර්යය තවම හරියට දැක්කේ නෑ. ඔය 225 නැතුව රටට කිසි හානියක් නෑ. ඒත් කාලකන්නි නැතුව පුළුවන්ද රට පවතින්න. බලමු හොඳේ...