( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර  ඇති  පෙත්සමට ,  ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා   පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ  නියෝගය ලබන 23 වැනිදා  ප්‍රකාශ  කිරීමට     අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු,  සහ අභියාචනාධිකරණ විනිසුරු  සම්පත් අබේකෝන්  යන මහත්වරු හමුවේ  මෙම  නඩුව  කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ  කෙරිණ.

විශේෂඥ වෛද්‍ය  අනුරුද්ධ  පාදෙනිය මහතා  2017 අප්‍රේල්  07වැනිදා කල එම කතාව ඇතුලත්  හඩ පටයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට  පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය  මහතා කල ඉල්ලීම  සම්බන්ධයෙන්  විත්තිකාර  පාදෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා මූලික විරෝධතාවක් ඉදිරිපත්  කලේය.

එම මූලික විරෝධතාවය    කරුණු  සලකා බැලූ  අධිකරණය ඒ පිලිබද නියෝගය  ප්‍රකාශයට පත් කිරීම එදිනට දින නියම කෙරිණි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලුවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටී.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට කියවා බාර දුන්  අවස්ථාවේදී එම චෝදනා වන්ට වෛද්‍ය පාදෙනිය මහතා තමන් නිවැරදිකරු බව ඔහු  ප්‍රකාශ  කලේය.

ඒ අනුව මේ පිළිබඳව විභාගය ආරම්භ කිරීමට  අධිකරණය නියම කළේය.

එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.