(තිළිණි ද සිල්වා)
නේපාලයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා වසා දමා තිබෙන කත්මන්දු වෛද්‍ය පීඨයේ හා පොක්කාරා මනිපාල් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිළිබඳ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මෙනවිය නිරන්තරයෙන් සොය බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය.
එම වෛද්‍ය පීඨ වසා දැමුවද දැනටමත් එම ලාංකික සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාරයන් හි නවාතැන් හා ආහාර පාන කටයුතු ලබා දීම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් සිදු කෙරෙන බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.
මෙම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන්ගේ පවුල් වල අයට අවශ්‍ය වුවද කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ සංචාරය කිරීමේ අවදානම ගැන ශ්‍රී ලංකා තානාපතිවරිය එම සිසුන්ට දැනුම දුන් බවද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
තත්ත්වය සමනය වූ වහා ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය මැදිහත් වීම් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදු කරනු ඇතැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවුසවාය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්දු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින බව ලංකාදීප එසැණට ඉකුත් 24 වැනිදා වාර්තාවිණි.
වයිරසය පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති වීමත් , කත්මන්දු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බව මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා පැවසීය.
කත්මන්දු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කස්තුරි, තමන්ගේ දුව වෙදකම ඉගෙන ගන්න යවලලා තියෙන්නේ මේ කියන විදියට සංවිධානාත්මක වෛද්‍ය සේවයක්වත් නැති රටක විශ්ව විද්‍යාලයකට. ඒ ලඟට ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරපු ගමන් ඔය පුද්ගලයත් ඇතුළු දොස්තර වර්ගයා ඒකට අකුල් හෙලා සාපේක්ෂ අඩු මුදලකින් මෙරටින් පුද්ගලික වෛද්‍ය පීඨයකින් දොස්තරවරු බිහිවෙන එක නවත්වනවා. තමන්ගේ වංශය රැකගන්න. මේ මොන විහිලුවක්ද? මේ කා දමන්නේ අපේ විදෙස් විනිමය! රටට කරන මොන අපරාධයක්ද?
මේ ගොල්ලන්ව ඉගෙනගන්න නේපාලෙට යවන්න ගොඩක් උදවු කලේ ජේවීපී එකෙන්නේ. මේකටත් විසඳුමක් ඇතිනේ ඒගොල්ලෝ ලඟම. අහල බලමුකෝ.
දොස්තර කස්තුරි මහත්මය නේපාලයේ කොරෝන අවධානම ගැන කරන ප්‍රකාශ ගැන සැහීමකට පත්වෙන්න බැහැ ඊයේ වෙනකොට නේපාලයේ සොයාගෙන තිබුනේ කොරෝනා රෝගියෝ 3 පමණි. ඔවුන් අපි වගේ රට වසාදමල ගන්න ඕනේ ආරක්ෂක පියවර අරන් තියෙනවා. සත්‍ය වශයෙන්ම මේ සම්බන්ධයෙන් ඔවුන් ඉන්නේ අපිට වැඩිය ඉදිරියෙන්..., ශ්‍රී ලන්කන් තානාපති අංශ මේ පිළිබඳව සොයල බලනවා කියනවනේ.. හමුදාපති තුමා ප්‍රකශ කර විදිහට මේ වෙලාවේ අපි හදිස්සියේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙහෙ ගෙන එන්න අවශ්‍ය නැහැ. රජයේ තිබෙන නිරෝධන මද්‍යස්ථාන හිස් වෙනකම් තව සතියක් දෙකක් ඉන්න වේවි... ඉදිරි දින කිහිපය තුල ලංකාවේ තත්වය ගැන කියන්න අප දන්නේ නැහැ. රජය විසින් මොවුන්ට ලංකාවට එන්න සාධාරණ සහන කාලයක් ලබාදුන්නා. ඒක ප්‍රයෝජනයට ගත්තේ නැති එකට දැන් කරන්න දෙයක් නැහැ. ඔය ඉන්න විදිහට තව සති දෙක තුනක් ඉවසල ඉන්න..