ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදුන් බවට පළවූ වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය හේවගේ මහතා පවසන්නේ අදාළ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොතිබූ බවයි.
“ඒ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වෙලා තිබුණ බවක් තහවුරු වෙලා තිබුණේ නෑ.... ඒ කොහොම වුණත් අද රටේ පවතින තත්ත්වය අනුව, කිසිම ආකාරයක අවදානමක් ගන්න බැරි නිසා අපි රෝගියාගේ ඥාතීන්ට සිරුර බාර දුන්නේ කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාවත් ජයවර්ධනපුර රෝහලට ගෙන්වාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිටදීමයි“ යයිද වෛද්‍ය හේවගේ මහතා ලංකාදීපට පැවසීය.
“මේ සිදුවීම සම්බන්ධයෙන් පළවූ වැරදි වාර්තා නිසා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයත් මහත් සිත් පීඩාවට පත්වෙලා“ යයිද ඔහු කීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30 වැනිදා) නිකුත් කරන ලදි. ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය සඳහා පාදක වූයේ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (30 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසුවූ මෙම රෝගියා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද බවත් ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් පීසීආර් පරීක්ෂණයක් ද කළ බවත් එම නිවේදනයේ සටහන් වී තිබේ. එම පරීක්ෂණය කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී බවත්, එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇ.ති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එසේ වුවත් පසුව මෙම රෝගියාගේ මෘතදේහයෙන් ලබාගත් පෙණහලුවල කොටස් කොළඹ අයි.ඩී.එච් රෝහලට යවා පරීක්ෂා කිරීමේදී එම රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු, අදාළ රෝගියාගේ මෘත දේහය ඥාතීන් වෙත බාරදීම සඳහා රෝහල් කළමණාකාරීත්වය තීරණය කළ බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේම සඳහන් වේ.
සබැඳි - මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා
COMMENTS
අදාළ පුවත සැපයු සංගමය මේ පිලිබඳ වගකීම ගතයුතු වෙනවා.
නොබෝදා මී උණ රෝගයෙන් නාවුක නිලධාරියෙක් මිය ගියත්, සමාජ මාධ්‍ය ජාලා වල අරක් ගෙන සිටින බුද්ධිමතුන් එම රෝගය කොරෝනා කලා...ඒත් සත්‍ය ඔවුන් ද දන්නවා. මේ සිද්ධියටත් වූයේ එම දෙය මයි. .... ඔවුන්ට අවශ්‍ය ලයික් සහ හුවමාරු කිරිම් පමණි .
"සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය " ? මේ නම මේ ඇහුවාමයි....මේ කාට හරි කඩේ යන කට්ටියක්ද...?
කුමක් හෝ දෙයක එල්ලී පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීමට තරම් පහළට ඇද වැටීම කණගාටුවට කරුණකි. මෙවැනි දේ තුළින් සාමාන්‍ය ජනතාවට ඔබලා පිළිබඳ විශ්වාසයක් නැතුව යන එක වළක්වන්න බෑ.
jvp දොස්තර සංගමය කියන දේවල් කවුරුත් ගණන් ගන්නේ නෑ. බක පණ්ඩිතයෝ, කුහකයෝ .
jvp දොස්තර සංගමය කියන දේවල් කවුරුත් ගණන් ගන්නේ නෑ. බක පණ්ඩිතයන්, කුහකයන්.
j v p දොස්තර සංගමය කවුරුත් ගණන් ගන්නේ නෑ. කුහක බක පණ්ඩිතයෝ....
අනේ මහත්වරුනේ..අපි කවුද? ඔබලාම කාලෙකට සංගමේ මතය දේව භාෂිතයක් කරගෙන අපිට මතුරනව. දැන් ඒ මහත්වරුම සංගමේ පට්ට පතුරු ගසමින් ඇඟිලි දික් කරගන්නවා.. පණ පිටින් ඉන්න ලෙඩාගේ වාර්ථා පොසිටිව් වෙනවා. ඒ ලෙඩාම මැරුණම නෙගටිව් කියනව. ඔය පරීක්ෂණ කෙරුවෙ ගමේ හොර අරක්කු වාඩියක නෙමෙයිනෙ. ඇයි ඉතින් ඔහොම විහිළු සපයන්නෙ? ඒ වාර්ථාවල තියෙන නිවැරදිතාවය ගැන විශ්වාසයට මොනවද වෙන්නෙ? කොරෝනවත් දේශපාලන අශුචිවලින් කැත නොකර වැඩක් කරන්නම බැරි තරම්ම ලංකාව කුණු වෙලාද.?
ආණ්ඩුවට ඕනේ අපි අති සාර්ථකයි කියල පෙන්වල ඡන්දේ ගොඩ දාගන්න... අනවශ්‍ය විදිහට එහෙම ඉක්මන් වුනු නිසාම වැඩේ දුර දිග ගියා..., ඔය ලෙඩ්ඩු මැරෙන්නේ කොරෝනා නෙවේ කියන්නෙත්... ආණ්ඩුවේ ප්‍රොපගන්ඩ එකේ කොටසක් ...
ආණ්ඩුවේ වයිරස විද්‍යාඥ ආචාර්ය බන්දුල ගුණවර්ධන උතුමාණෝ කියනවා ඩෙංගු වසංගතේ දීත් 100ක් දෙසීයක් මලා... ඒත් මිනිස්සු ගණන් ගත්තෙත් නැහැ ඡන්ද තියන්න බැරි වුනෙත් නැහැ කියල, අපේ ඇබිති මොලේට තේරෙන්නේ නැති දේවල් ඒ උතුමානන්ලට තේරෙනවා ඇති, ඒත් එංගලන්තේ රුසියාවේ ලොකු ලොක්කොත් ඔය ලෙඩේ හැදිලා ඉන්නවා, අපේ සුපිරි පැලැන්තියේ බල්ලෙක්ටවත් ඒවා හැදෙන්නේ නෑ. උන් උපරිම විදිහට ආරක්ෂිතව සැප පහසුවෙන් ඉන්නවා, ඒ අයට ඕන වැඩේ කොහු වෙන්න කලින් මිනිස්සු අන්දලා ඡන්දේ ගොඩ දාගන්න...
කොහොම වුණත් රෝගියාට කොරෝනා අසාදනය වූ බවට එක් වරක් හෝ සැක මතු වූ බැවින් මෘත දේහය කොරෝනා රෝගීන්ගේ මෘත දේහ අවසන් කටයුතු පිළිබඳ නිර්ණායකවලට අනුකූලවයි කළ යුතුව තිබුණෙ...
එතකොට ඇයි නාවික නිලධාරියාගේ සිරුර ඔහුගේ ඥාතීන්ට නොදුන්නේ?
අනේ මන්දා ඒගොල්ලෝ එකක් කියනවා මේගොල්ලෝ තව එකක් කියනවා අපි අහගෙන ඉන්නවා කවුරු ඇත්ත කියනවාද කවුරු බොරු කියනවාද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.
මිට පස්සේ ලංකාවේ කොරෝනා වලින් මිනිස්සු මැරෙන්නේ නෑ... ආණ්ඩුවේ ආශ්චර්යය..