(අජන්ත කුමාර අගලකඩ )
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු  අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
 
ඒ සදහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
 
මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150ක් සමග රුපියල් 600ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බව ඇමැති ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම නිලධාරීන් කරන සේවය අගයමින් මෙම දීමනාව ගෙවන බවද අගමැතිවරයා පැවසීය.