ඉකුත් සති අන්තයේ ජනපති මෛත්‍රී-අගමැති රනිල් හා විපක්ෂනායක මහින්ද එකම තැනක හමුවූ විශේෂ අවස්ථාවක් යෙදිණ. ඒ භාතිය-සන්තුෂ්ගේ සංගීත දිවියට විසි වසර පිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැති ප්‍රසංගයේදීය.


යාබද අසුන් තුනක තිදෙනා වාඩිවී සිටියද ආගිය තොරතුරුවලට අදාළ වචන කිහිපයක් මිස දේශපාලනය, ආර්ථිකය, ජාත්‍යන්තරය හෝ ව්‍යවස්ථාව හෝ පිළිබඳව වචනයක් හෝ එහිදී හුවමාරු නොවිණ.


තෛපොංගල් දිනය පැවැති 15 වැනිදා ඊට අදාළ නිල උත්සවය පැවැතියේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අගමැති රනිල් හා දෙමළ සංධානයේ නායක ආර්. සම්පන්දන්ගේ ප්‍රධානත්වයෙනි. දෙමළ සංස්කෘතිකාංග සංගීතය හා ගායනා රැසකින් මෙන්ම අගමැති හා දෙමළ සංධාන නායකයන්ගේ විශේෂ දේශන දෙකකින්ද එය සමන්විත විය. මැති-ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු, තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් ඒ අවස්ථාවට එක්වූහ.


බ්‍රහස්පතින්දා හිමිදිරියේම අගමැතිවරයා රත්නපුරයට ගියේ එහි මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමේ උත්සවයට හා සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිසු අයිතියට පත් කිරීමටය. ඒ සියල්ලටත් පෙර රත්නපුර මහ සමන් දේවාලයට ගිය අගමැතිවරයා ආගමික වතාවත්වලින් එදින කටයුතු ආරම්භ කළේය.
අනතුරුව සබරගමු විශ්ව විද්‍යාලයට ගිය අගමැති රනිල් මෙරට ස්ථාපිත කළ අටවැනි වෛද්‍ය පීඨයද සිසු අයිතියට පත් කළේය. අගමැතිවරයා ගිය හෙළිකොප්ටරය ගොඩබෑවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගණයටය. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල උසිගැන්වීම මත වෛද්‍ය පීඨය විවෘත කරන අවස්ථාව සිසුන් ලවා කඩාකප්පල් කිරීමට දින කිහිපයක සිට සැළසුම් තිබූ බව අගමැති ආරක්ෂක අංශ තොරතුරු ගෙන තිබිණ.


කෙසේ වෙතත් වෛද්‍ය පීඨය විවෘත කළ අගමැතිවරයාට යළිත් කොළඹ පැමිණීම සඳහා හෙළිකොප්ටරය ගුවන් ගත කිරීම වැළැක්වීම සඳහා තිබූ සැළැස්ම අනුව සිසු කණ්ඩායම් රත්නපුර සීවලී ක්‍රීඩාංගණයට ගියද ඔවුන්ගේ සියළු උත්සාහයන් බිඳ දමා අගමැතිවරයා යළි කොළඹ පැමිණෙන හෙළිකොප්ටරය සූක්ෂමව කුරුවිටින් අහසට එසවීමට අගමැති ආරක්ෂකයින් සැලසුම් කර තිබිණ.


මේ රජය පත්වූ පසු ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී වෛද්‍ය විද්‍යාල තුනක් අලුතෙන් පිහිටුවීමට තීරණය කළ අතර සබරගමුව විශ්වවිද්‍යාලයට අනුයුක්තව විවෘත වූයේ එහි පළමුවැන්නය. සෙසු වෛද්‍ය විද්‍යාල දෙක මොරටුව හා වයඹ විශ්වවිද්‍යාලවලට අනුයුක්තව නොබෝ දිනකින්ම විවෘත වීමට නියමිතය.
කුරුවිට සිට කොළඹ පැමිණි අගමැතිවරයා නිවසට ගොස් දිවා ආහාරය රැගෙන කෙළින්ම ආවේ අරලියගහ මැදුරටය. ඒ සවස් වරුවේ යොදාගෙන තිබූ රාජකාරි හා සාකච්ඡා සඳහා එක් වීමටය.


රත්නපුර සිද්ධිය සැළවූ මැති-ඇමතිවරු රැසක්ද ඒ වනවිට අරලියගහ මැදුරට පැමිණ සිටියහ.


“සයිටම් වෛද්‍ය විද්‍යාලය වහන්න පෙළපාළි ගිය සිසුන් දැන් රජයේ වෛද්‍ය විද්‍යාල අරින එකටත් විරෝධය දක්වනවා. මේ සිසුන්ගේ අරමුණ හා ඔවුන් නොමග යවන්නේ කවුදැයි කියන එක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.


“සිසුන් සුළු පිරිසක් තමයි, අනවශ්‍ය ලෙස විරෝධය පළ කළේ. උද්ඝෝෂණ නිසා රටේ කටයුතු අඩාළ කරන්න බැහැ. හෙළිකොප්ටරය උදේ කුරුවිට ඉස්කෝලෙ පිට්ටනියට නොබැස්සුවේ ඒ පාසලේ ළමයින්ට බාධාවෙන නිසයි. හවස හෙළිකොප්ටරය එතෙන්ට බැස්සුවේ ඉස්කෝලේ ඉවරවෙලා තිබුණු නිසයි.


“රූපවාහිනී චැනල් දෙකක් සිසුන් එක්ක කතා කරගෙන රත්නපුරේ බස්සපු හෙළිකොප්ටරයට මට නගින්න නොදෙන්න කරන උත්සහය වීඩියෝ කරන්න කැමරා ජාලයක්ම දාලා තිබුණා කියලත් ආරංචියි. ඔවුන්ගේ පටු උපක්‍රමය ව්‍යර්ථ වීම ගැන මට කනගාටුයි”, අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.


“සංස්ථා මණ්ඩල සභාපති හා අධ්‍යක්ෂකවරුන්ගේ නම් එජාපය පරක්කු කරනවා කියා ජනාධිපතිතුමා කිව්වා. උගත්කම වගේම ප්‍රායෝගිකත්වයත් ආයතන පාලනයට අත්‍යවශ්‍යයි”, දයා ගමගේ කීවේ එවැන්නකි.


“ජනාධිපතිතුමා උත්සාහ කළේ ඉන්න සභාපතිලා ගලවලා දාලා එජාපය ඇතුළේ තව අර්බුදයක් හදන්නයි. අප ඒකට අහුවෙන්න නරකයි. ජනපති ළඟදී පත්කළ ආණ්ඩුකාරවරුන් හා දීපු ඉහළ තනතුරුවලට උපාධිය අදාළ නොවෙනවද කියා අප හරිනම් අහන්න ඕනෑ”, චමින්ද විජේසිරි දැඩි ප්‍රහාරයක් දියත් කළේය.
“ඔක්තෝබර් 26 වැනිදා ජනපතියි-රාජපක්ෂලයි එකතුවෙලා හදපු හොර ආණ්ඩුවේ තනතුරුවලට පත් කිරීමේදී උපාධිය හෙව්වෙ නැත්තේ ඇයි කියා එජාපය එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනෑ” හේෂා විතානගේ කීවේය.


“ඒ නම් ලයිස්තු ඉක්මනින් යවන්න ඕනෑ. ඇමැතිලාගෙනුත් පොඩි ප්‍රමාදයක් ඇති වුණා. සභාපතිලයි මුලින්ම පත් කරන්න ඕනෑ. මුළින් පත්වීම් කර ඊට පසු ලයිස්තුව එවන්නයි, ජනපතිගේ දැන් ස්ථාවරය” අගමැතිවරයා පැහැදිලි කළේය.


“ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම අත්හැරියා කියා අලි බොරුවක් මේ දවස්වල ප්‍රචාරය කරනවා. ඇමරිකන් පුරවැසිකම ගන්නවටත් වඩා ඉවත් කර ගන්න ඉතා අමාරුයි. ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියා මහින්ද ඔහුට කියා තියනවා කියලත් ආරංචියි.”


“බැසිල් පළාත් පාලනය දිනන කාලේ ගෝඨා හිටියේ පිටරටයි. ඒ නිසා ගෝඨා-බැසිල්-චමල් අපේක්ෂකත්වයට තාම පොරකනවලු”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“මහින්දට අගමැතිකමයි, ආණ්ඩුවයි දී ජනපති පොහොට්ටු ජනපති අපේක්ෂකත්වය ගන්න උත්සාහ කළා. එතුමා රැවටුනා කියා දැන් ශ්‍රීලනිප අයම චෝදනා කරනවා”
“මහින්දට දැන් ශ්‍රීලනිපය හෝ මෛත්‍රී හෝ වැඩක් නැහැ. අගමැතිකම ගත්ත ගමන්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෝ දාන්න නොවෙයි. පොහොට්ටුව ප්‍රමෝට් කරන්නයි.”


“මහින්ද උපක්‍රමශීලීව මොකුත් නොකර ගෝඨා-බැසිල් ඇතුළු කට්ටියටම අපේක්ෂකත්වය නොදී ඉඳීමේ සැළසුමකුත් තිබෙන බව ආරංචියි”, රන්ජන් රාමනායක කීය.
“ලංකා ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ලෙස ඩොලර් දශ ලක්ෂ දෙදහස් හයසියයක් ඒ ඒ අයට ගෙවීම තුළ ලංකාව ගැන විශාල පැහැදීමක් ජාත්‍යන්තරයේ ඇති වෙලා. අප ආර්ථිකය හරි හැටි මෙහෙයවන බවට ඒක උදාහරණයක්. නවීන් දිසානායක කී දේ සියළු දෙනා අනුමත කළහ.


“බුදු දහමට උතුරේ ලොකු තැනක් දෙන්න බැහැ කියා ජනාධිපති පත් කළ අලුත් ආණ්ඩුකාරයා කීම ගැන ශ්‍රීලනිපය හා පොහොට්ටුව සද්ද නැහැ” චමින්ද විජේසිරි කීවේය.
“ජනාධිපතිතුමා පළාත් සභා ඡන්දය ගැන කතා කළත් ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසු ශ්‍රීලනිපය හා පොහොට්ටුව ඡන්දවලට යටින් බය වෙලා ඉන්නේ කියලයි, ආරංචි”, රංජිත් අලුවිහාරේ කීවේය.


“සේනා දළඹුවා මාර ව්‍යසනයක්. හොර ආණ්ඩුව කාලේ රට අරාජිකව තිබූ නිසා දළඹුවා රටට රිංගන්න ඇති කියලත් මතයක් තියෙනවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.
“මාධ්‍ය ආයතන ඉස්සරහ කට්ටිය ගිහිල්ලා මුහුණු බැඳගෙන විරෝධතා දානවා. සංදේශ භාර දෙනවා. මේක අපේ වැඩක් නොවෙයි. අප කරනවානම් මුහුණ බඳින්නෙත් නැහැ. ඒ අය නීතිය කැඩුවා නම් පොලීසියට යන්න තිබුණා. එහෙම නොකර මට ගහලා වැඩක් නැහැ. විරෝධතා කරන්න වැඩිම නිදහස දුන්නේ මේ ආණ්ඩුවයි.
සමහර ජනමාධ්‍යවලට දැන් ඒකත් අමතක වෙලා”, අගමැති රනිල් කතාව නිම කළේය.