IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මෛත්‍රී නේපාලයේ

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනෙන් පිටත්ව ගියේ ඉකුත් බදාදා පෙරවරුවේය. කත්මණ්ඩු නුවර ත්‍රිභුවාන් ගුවන් තොටුපෙළේ දී ජනපති මෛත්‍රී පිළිගනු ලැබූවේ එරට නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක ඇමැතිවරයා විසින් වන අතර ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි. ​ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු කලාපීය නායකයන් සහභාගි වූ මේ සමුළුවේ විශේෂත්වය වූයේ බිම්ස්ටෙක් සමුළුවේ මීළඟ සභාපතිවරයා ලෙස ජනපති මෛත්‍රී පත්වීමය. ඉන්දීය අගමැතිවරයා ඇතුළු සමුළුවට ආ රාජ්‍ය නායකයන් වෙන වෙනම හමු වී සාකච්ඡා කරන්නට ද ලැබුණු මේ ගමන මෛත්‍රීට රටේ ඇති වූ වෙනස ගැන කියන්න ලැබුණ වැදගත් අවස්ථාවක් ද විය.


නේපාලය බලා පිටත්ව යාමට කලින් දින රාත්‍රියේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණෙ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමන්නට කටයුතු යොදමිනි. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15 දෙනාගේ කණ්ඩායමෙන්, සුමේධා ජයසේන මන්ත්‍රීවරිය පමණක් ඊට සහභාගි වී සිටියාය. පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීම කළේ‍ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය. ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශය මගින් ගෙන යන ගම්පෙරළිය වැඩසටහන ගැන සංවිධායකයන් දැනුවත් කළේය. මහින්ද අමරවීර පසුගිය කාලය පුරා ආණ්ඩුව කළ කී දෑ ගැන කීවේ ඊට නිසි ප්‍රචාරයක් නොලැබුණු බවට ද ප්‍රකාශ කරමිනි.


‘‘අපි පසුගිය අවුරුදු තුනේ වැඩ කළා. හැබැයි ඊට හරියට ප්‍රසිද්ධිය ලැබුණේ නැහැ. සංවර්ධන වැඩ කළා, අපනයන වැඩි වුණා. නමුත් ඒ ගැන හරි ප්‍රචාරයක් රටට ගියේ නෑ’’ අමරවීර කීවේය.


අනතුරුව කතාබහට ලක්වුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැනය. ජනපති මෛත්‍රී කීවේ අපි හිතුවටත් වඩා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සාර්ථක බවය. පක්ෂයේ 67 වන සංවත්සරය ගැන පැහැදිලි කළ ජනාධිපතිවරයා ආසන සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් ද කරමින් කීවේ, ඕනෑම ඡන්දයකට සූදානමින් සිටින ලෙසය.


සුපුරුදු පරිදි, සතියේ කැබිනට් රැස්වීම අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර කැබිනට් රැස්වීමේ වෙනදා මෙන්, මත ගැටුම් නොතිබූ අතර, පැයකටත් අඩු කාලයකින් අවසන් විය. මොණරාගල පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට ඇමැතිවරුන් ගොස් සිටිමත්, සමහරුන් විදේශගතවීමත් නිසා මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ ඇමැතිවරුන් සීමිත ගණනකි. කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව රාජිත සේනාරත්න ඇමැතිවරයා ජනාධිපතිවරයාට කීවේ සර්, ආණ්‍ඩුව මැණික් කර්මාන්තයට බදු පැනවීමෙන්, මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවය. මේ ගැන ජාතික ආර්ථික සභාවේ දී කරුණු ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා රාජිතට කීවේය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වූයේ ඉකුත් සතියේය. මළගෙදර සිදුවූ දින සිට අවසන් කටයුතු වනතෙක්ම හිටපු ජනපති මහින්ද සිටියේ ද මැදමුලන නිවසේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුත්, ආණ්ඩුවෙන් ඉවත් වූ සුසිල්, අනුරයාපා, ලක්ෂ්මන් යාපා, ඩිලාන් ඇතුළු 15 දෙනාගේ කණ්ඩායමේ වැඩි දෙනාත් එම දින කිහිපයේම නිදිවරමින් මළ ගෙදරට වී සිටියහ. නිවාඩුවකට ඇමෙරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද හදිසියේම මළගෙදරට පැමිණ සිටියේය. දේහයට අවසන් ගෞරව දක්වන්නට ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මැදමුලනට ගිය සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ද හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබුණේ ජනපති මෛත්‍රී ද පසුදින මළ ගෙදරට පැමිණෙන බවකි. ඒ අනුව කොයි මොහොතේ හෝ ජනාධිපතිවරයා ද මළ ගෙදරට එන බව මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලේ අය දැනගෙන සිටියහ. ඒ අනුව, මෛත්‍රීට මැදමුලනින් හොඳ පිළිගැනීමක් ද ලැබිණි.


සිකුරාදා උදේ ජනපති මෛත්‍රී කොළඹ සිට මැදමුලනට හෙලිකොප්ටරයෙන් ගියේ විජයදාස රාජපක්ෂ හා ඉසුර දේවප්‍රිය ද කැටුවය. මෛත්‍රී හෙලිකොප්ටරයෙන් බැස, කාරයෙන් මළගෙදරට එද්දී, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා කාරය ළඟටම ගොස්, මෛත්‍රී උණුසුම් ලෙස පිළිගෙන, ගෙදරට කැඳවාගෙන ආවේය. මහින්ද ද පැමිණ ජනාධිපතිවරයා පිළිගත්තේ ආචාර කරමිනි. චමලුත්, මහින්දත්, ජනාධිපතිවරයා කැඳවාගෙන ගොස් දේහයට අවසන් ගෞරව දැක් වූහ.


අනතුරුව, ජනාධිපතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් වෙනම කාමරයක එක ළඟ පුටු දෙකක අසුන් ගත්හ. මද වෙලාවකින් චමල් පැමිණි පසුව පුටුව දී මහින්ද යාබද පුටුවට ගියේ ගෝඨාභය එන්නට තරමක් ප්‍රමාද වනු ඇති බව කියමිනි. විනාඩි කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද පැමිණ ජනාධිපතිවරයාට ආචාර කොට මහින්දට යාබද පුටුවේ ඉඳ ගත්තේය. චමල් මහින්ද ගෝඨා ජනාධිපතිවරයා සමඟ එකට වාඩි වී, වසර ගණනාවකට පසුව කතා බහ කිරීම ද දේශපාලන කරළියේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවකි.


මෛත්‍රී ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව මැදමුලනට ගිය පළමු අවස්ථාව මෙන්ම, චමල්, මහින්ද, ගෝඨාභය එකට හමු වූ අවස්ථාවද එය විය. මෛත්‍රී ඔවුන් සමඟ අතීත තොරතුරු කතාබහ කරමින් විනාඩි 45ක් පමණ එහි රැඳි සිටියේය.


පිරිස කතාබහ කරන අතරේ, ආරක්ෂකයන්ද ගොස් තේ සූදානම් කළේ‍ ජනාධිපතිවරයාට පිළිගන්වන්නටය. ආරක්ෂකයකු මහින්දගේ නිවසේ අයකුට කීවේ මේ තේ එක ජනාධිපතිතුමාට ගෙනිහින් පිළිගන්වන්න කියාය. ඔහු එය ගෙන ගොස් පිළිගැන්වූයේ මහින්දටය. මහින්ද ඔහුට කීවේ මට නෙමෙයි ජනාධිපතිතුමාට තේ ගෙනත් පිළිගන්වන්න කියාය. ඒ අනුව ඔහු ගොස් තවත් තේ එකක් ගෙන, ජනාධිපතිවරයාට පිළිගැන්වීය.
මළ ගෙදරට ගිය විජයදාස රාජපක්ෂ අසුන් ගෙන සිටියේ ගෝඨාභයට යාබ ද අසුනේය. පිරිස කතාබහ කරන අතරේ ගෝඨාභය විජයදාසට කියා තිබුණේ‍ අර අතන තියෙන සොහොනට තමයි මට එරෙහිව නඩු දාලා තියෙන්නෙ. යනකොට ජනාධිපතිතුමාට ඒකත් පෙන්නගෙන යන්න කියාය.


චන්ද්‍රා රාජපක්ෂ ගැන සමරු සටහනක් ද තැබූ ජනාධිපතිවරයා මහින්ද ඇතුළු පිරිසට සමු දී පිටත්ව ආවේය. මළ ගෙදරට ඒම ගැන මහින්දත්, චමල් හා ගෝඨාභයත් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළේ කලකට පසුව සිදුවූ දුර්ලභ හමුවකට සමුදෙමිනි.


ජනාධිපතිවරයා ඉකුත් සති අන්තයේ කුරුණෑගල පොතුහැර පැවැති විශේෂ උත්සවයකට එක්විය. ඒ මොරගහකන්දේ මහවැලි ජලය කුරුණෑගලට ගෙන යන වයඹ ඇළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හා වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙනි. ජනාධිපතිවරයාට උත්සවය අවසානයේ දවල් කෑම සූදානම් කර ඇත්තේ ඒකනායක කෙනකුගේ නිවසේ බව කියවිණි. බොහෝ දෙනා සිතුවේ ටී.බී. ඒකනායකගේ නිවසේ බවය. එහෙත් පසුව දැන ගන්නට ලැබුණෙ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ ප්‍රධානියා වන ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායකගේ නිවසේ බවය.


පළාත් සභා තුනක නිලකාලය හමාර වී දැනට හරියට වසරකි. ලබන මාසයේ තවත් තුනක නිල කාලය හමාරවේ. ඇදි ඇදි යමින් තිබූ පළාත් සභා ඡන්දය පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්මත වූ පසුව කඩිනමින් පවත්වන බවට ආණ්‍ඩුව ද වරින් වර කීවේය. එහෙත් ආණ්ඩුව තුළ ද ඒ ගැන එක අදහසක් නොතිබුණේ සීමා නිර්ණ වාර්තාව ගැන ද එකඟත්වයක් නොතිබුණු බැවිනි.


සීමා නිර්ණ වාර්තාව ගිය සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණේ ලෝකයේ කිසිදු පාර්ලිමේන්තුවක නොවූ ජවනිකාවක් ලෙසිනි. සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය දෙන බව ඒකාබද්ධ විපක්ෂයත්, දෙමළ සන්ධානයත්, ආණ්‍ඩුවේ සුළු පක්ෂත්, කලින් සිටම කෙළින් කීවේය. එජාපය විරුද්ධ වන බව කීව ද එය එළිපිටම කීවේ නැත. ජවිපෙ කලින් දිනයේ දී මාධ්‍ය හමුවක් කැඳවා කීවේ සීමා නිර්ණයට පක්ෂව ඡන්දය දෙන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය දෙන බව මුලින් කියා තිබිණි. එහෙත් සිකුරාදා හවස් වනවිට සියල්ල කණපිට පෙරළුණේ රටට විහිළුවක් බවට පත්කරමිනි.


සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය දෙන බව කී ශ්‍රීලනිපය සිකුරාදා උදේ වනවිට සිටියේ ඡන්දය දීමෙන් වැළකී සිටිමේ තීරණයේය. අවසානයේ ඡන්දය විමසද්දී වාර්තාව ඉදිරිපත් කළ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා ද තමන්ම ඉදිරිපත් කළ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ මෙහෙම දේවල් වෙන්නේ ලංකාවේ පමණක් බව පෙන්වමිනි. ශ්‍රීලනිපයේ සෙසු ඇමැතිවරුන් ඡන්දය විමසද්දී පාර්ලි​මේන්තුවේ නොසිටි අතර වාර්තාවට පක්ෂව ඡන්දය දෙන බව කලින් දිනයේද එළිපිට කී ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්දය විමසද්දී කර ඇර සිටියේය. ඒකාබද්ධ විපක්ෂයත්, එජාපයත්, දෙමළ ජාතික සන්ධානයත් වාර්තාවට විරුද්ධව ඡන්දය දී, ඡන්ද 139කින් වාර්තාව පරාජය කළේය. විශේෂත්වය වූයේ එකම ඡන්දයක් හෝ වාර්තාවට පක්ෂව නොලැබීමය.



අදහස් (0)

මෛත්‍රී නේපාලයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site