IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පොහොර නැති හේතුව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී හෙළිවෙයි

සිකුරාදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කෙරෙන බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඉකුත් බ්‍රහස්පතින්දා උදේ රැස්විය. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද ජනාධිපතිවරයාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නව වසරේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ පළමු අවස්ථාව එය විය. සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වෙන නිසා පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ සංවිධායක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පත්කර ගැනෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඒ පිළිබඳ කතාබහක් හෝ ඇති නොවූයේ කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් යම් තීන්දුවකට පැමිණ තිබුණු බැවිනි. පක්ෂ නායකයන් තීරණය කර තිබුණේ සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පවරන්නටය. සභානායක ධුරයට නිමල් සිරිපාල අමැතිවරයා පත් කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්වී තිබුණු නමුත් නිමල් සිරිපාල ඒ සඳහා එතරම් කැමැත්තක් නොදැක්විය. ඒ අනුව අගමැතිවරයා තීරණය කර තිබුණේ සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාත් පත් කිරීමටය.   


සිකුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කෙරෙන බැවින් 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටින්නැයි ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. 

 
මේ දිනවල කතාබහට ලක්වෙන පොහොර හිඟයක් පිළිබඳව විමසා සිටියේ කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයාය. ඔහු කීවේ පොහොර හිඟයෙන් ගොවීන් පීඩාවට පත්වන බවය. ඒ ගැන අගමැති මහින්ද පැහැදිලි කළේය. ‘පසුගිය කාලෙ පොහොර ගෙනාපු සමාගම්වලට ආණ්ඩුව සල්ලි ගෙවල නැහැ. ඒ අය පොහොර ගේන්නෙ නැහැ. පොහොර සමාගම්වලට රුපියල් බිලියන 6කට වැඩිය ගෙවන්න තියෙනවා. ඒකෙන් ටිකක් ඉක්මනින් ගෙවන්න බිලියන 2ක් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කරන්න කියලා මම භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා යැයි අගමැතිවරයා කීවේය.   


මේ අතර පාසල්වල ගුරු හිඟයක් පිළිබඳව ද මන්ත්‍රීවරු ප්‍රශ්න කරන්නට වූහ. පසුගිය ආණ්ඩුව එයාලට ඕනැ විදියට ගුරුවරුන් මාරු කළා. සමහර අයට උසස්වීම් දුන්නා. පාසල්වල විදුහල්පතිවරු හිඟයි. ගුරුවරුත් නැහැ. යැයි මන්ත්‍රීවරු කියන්නට වූහ. ඒ ගැන බලන්නැයි අගමැතිවරයා කීවේ අධ්‍යාපන ඇමැති ඩලස්ටය. ඩලස් කීවේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය ගැන දැනටමත් අධ්‍යයනය කර ඇති බවය. පළාත් සභා පාසල්වල ජාතික පාසල්වල ඇති විදුහල්පතිවරුන්ගේ හිඟය ගැන මෙන්ම ගුරුවරුන් පිළිබඳ ගැටලු ද ඩලස් පැහැදිලි කළේය. ඔහු කීවේ මේ ගැටලු ටික ඉතා ඉක්මනින්ම විසඳීමට පියවර ගන්නා බවය.   


මොනරාගල මන්ත්‍රී විජිත බෙරුගොඩ සහ රත්නපුර ජානක වක්කුඹුර මන්ත්‍රීවරුන් දෙදෙනාට තිබුණේ ගමේ ඡන්ද දායකයන් මුහුණ දෙන ප්‍රශ්නය. රත්නපුරයේ මැණික් පතල්වලට එස්ටීඑෆ් එකෙන් පනින බව ජානක වක්කුඹුර කියද්දී විජිත බේරුගොඩ කිව්වේ වැලි හා මැටි ප්‍රශ්නය තම ප්‍රදේශයටත් බලපා ඇති බවය. මැණික් පතල් පිළිබඳව පැහැදිලි ක්‍රමවේදයක් සකස් කරන බව කී ජනපති තුමා මෙම කටයුත්තට විශේෂ කාර්ය බළකාය නොයොදන්නැයි උපදෙස් දී ඇති බව කීවේය.   


මම සෝමාවති චෛත්‍ය වැඳ පුදා ගන්න ගියාම නායක හාමුදුරුවෝ කීවා දිගටම ගංවතුර ඇවිත් සෝමාවතිය යටවෙන්නෙ ගඟේ වැලි එකතු වෙන නිසා කියලා. සුදුසු තැන්වලින් වැලි ඉවත් කරන්න ඕනෑ. මේ ගැන සුදුසු පියවර ඉදිරියේ දී හඳුන්වා දෙනවා’ ජනපති කීවේය.   


කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කීවේ වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ඇති විශාල පිරිසක් සිටියත් ඔවුන්ට එම අවස්ථාව නොලැබී ඇති බවය. පසුගිය දවස්වල මට විශාල පිරිසක් මේ ගැන කීවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට තුන්සියයක් විතර තමයි දැනට දෙන්නේ. මේ ප්‍රතිලාභය ලැබෙන පිරිස වැඩි කරල දෙන්න ... ‘ඒ වගේම රණවිරු බිරියන්ට දුන්න දීමනාව මව්පියන්ටත් යළි ලබා දෙන්න ...’ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.   


‘ඒ අයට ඒ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි’ ජනපති සඳහන් කළේය. අගමැති මහින්ද එම දීමනාව දැනට නැවතී ඇති බව කීවේය. අපි අලුත් අයවැයක් ගෙනෙනකම් රජයට මුදල් ප්‍රශ්න තිබෙනවා. අපි මහ මැතිවරණයෙන් අලුත් ආණ්ඩුවක් හදලා මුදල් පාස් කරගෙන මව්පියන්ට යළි දීමනාව දෙනවා.’ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.   
කණක හේරත් රාජ්‍ය ඇමැතිවරයා විමසුවේ අලුතෙන් පටන් ගැනීමට යන ජාතික පාසල් සඳහා තෝරා ගන්නා ක්‍රමය පිළිබඳවය.   


‘දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124කට එකම ජාතික පාසලක්වත් නෑ. ඒ 124ටම එක ගානෙ අපි පටන් ගන්නවා. ඒ වගේම අගමැතිතුමා උපන්ගම වන පාලටුවටත් ජාතික පාසලක් දෙනවා. ඒ අනුව පාසල් 125ක් ජාතික පාසල් තත්ත්වයට උසස් කෙරෙනවා.’ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා උත්තර දුන්නේය.

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින විශේෂිත කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසිනි. ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීම හේතුවෙනි.   
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ගෙන ඒම සඳහා පසුගිය ආණ්ඩුව දැඩි වෙහෙසක් ගත්තේය. ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහතා විසිනි.   


 ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව දැඩි විරෝධයක් ද එල්ල විය. වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු ද එකල ඒකාබද්ධ විපක්ෂය ලෙස සිටිමින් පනතට එරෙහිව දැඩි සටනක් ගෙන ගියහ. විවිධ සංවිධාන ද පනතට එරෙහිව සටනට බැස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ පනත ගෙන එන බව කියමිනි.   


දිනේෂ් ගුණවර්ධන ගිය බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩලයට සංදේශය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීමට අනුමැතිය ඉල්ලමිනි. ඒ අනුව පනත ඉවත් කර ගන්නට කැබිනට් මණ්ඩලය එ්කමතිකව තීරණය කළේය.

 

විවිධ ඉල්ලීම් ඉදිරියට දමමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට එන ශිෂ්‍ය සංගම්වලට වැඩිපුරම සිදුවූයේ කඳුළුගෑස්, වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර ආදියට මුහුණ දෙන්නටය. එය පසුගිය සෑම ආණ්ඩුවක් යටතේම දකින්නට ලැබුණ පොදු ලක්ෂණයක් ද විය. ගිය සතියේ බ්‍රහස්පතින්දා ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට රැස්වූයේ ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමිනි. ඒ සමඟම පොලිසිය ද වෙනදා මෙන් පැමිණ සිටියේ වැඩේ දුරදිග ගියහොත් සුපුරුදු කඳුළු ගෑස් එල්ල කිරීමේ පෙර සූදානම ද ඇතිවය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යාබදව පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත එද්දි සිසුන් එහි රැස්ව සිටිනු දැක නිලධාරීන්ට උපදෙස් දුන්නේ සියලු දෙනාටම ඇතුළට එන්නැයි දන්වන ලෙසය. ඒ සමගම ඔහු අමාත්‍යංශ ලේකම්වරයාට ද කීවේ පොලිස්පතිවරයාට ද කතාකර එහි සිටි පොලිස් නිලධාරීන් ආපසු ගෙන්වා ගන්නා ලෙස දන්වන ලෙසය.   


ඇමැතිවරයා රැස්ව සිටි සිසුන් සිය කාර්යාලයට කැඳවා නිලධාරීන් ද ගෙන්වාගෙන සාකච්ඡාවට වාඩි වූයේ ප්‍රශ්නය කුමක්දැයි විමසමිනි. මීට පස්සෙ ඔයාලා මෙහෙම ඇවිත් කෑ කෝ ගහල කඳුළු ගෑස් ප්‍රහාරවලට මුහුණදෙන්න ඕන නෑ. මම එහෙම ගහන්න දෙන්නෙත් නෑ. ප්‍රශ්න තියෙන ඒවා කතා කරමු. මේ ප්‍රශ්න ටිකත් මම සාකච්ඡා කරල විසඳලා දෙන්නම් යැයි බන්දුල ශිෂ්‍ය නියෝජිතයන්ට කියා තිබුණේ තමන් සමඟ ඕනෑම දෙයක් කතාකර විසඳාගත හැකි බව කියමිනි.  



අදහස් (0)

පොහොර නැති හේතුව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site