IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජාතික ආණ්ඩුව වෙනත් ක්‍රමයකින්

අගමැතිවරයා - සභානායක ඇතුළු ආණ්ඩු පක්ෂ කණ්ඩායම මේ සතියේ දැඩි අවධානය දැක්වූයේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට එකඟව යළිත් ජාතික ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටය. ඊට අදාළ යෝජනාව සභානායක කිරිඇල්ල පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මහා ලේකම්වරයා අතට පත් කළේය.


බදාදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාව පසුදාම සභාගත කර ඡන්ද විමසීමකින් අනුමත කරගත යුතු බව සභානායක කිරිඇල්ල කීවේ සෙසු පක්ෂ නායකයින්ගේ විරෝධතා මධ්‍යයේය.


කිරිඇල්ල එහිදී ජය ගෙන බ්‍රහස්පතින්දා අදාළ යෝජනාව ගැන විවාද කර ඡන්ද විමසීමට සියළු කටයුතු සූදානම් කෙරිණ. ආණ්ඩු පක්ෂයේ සියළු දෙනාට එදින පාර්ලිමේන්තුව අනිවාර්ය වූයේද එවැනි පසුබිමකය.


අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණියේ ඊට අදාළ අවසන් විධි විධාන ගැන කතා කිරීමටය.


“අප හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුවය කියා කියනවාට වඩා ශක්තිමත් ආණ්ඩුවයයි හැඳින්වීම වඩාත් නිවැරදියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්ෂ විරුද්ධ නම් අප ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව දින 5ක් කල් දී සාමාන්‍ය ක්‍රමයට යෝජනාව සම්මත කරමු” අගමැතිවරයා යෝජනා කළේය.
“යෝජනාව සම්මත වෙන්න 113ක් ඕනෑ නේද?. ටී.එන්.ඒ. එකත් මෙතෙන්දි ටිකක් අදින හැඩයි. එයාලගේ ශක්තිය අඩුවේවි කියා එයාලට පොඩි බයකුත් ඇති”, මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.


“යෝජනාව සම්මත වෙන්න 113ක් ඕනෑ නැහැ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය තිබුණාම ඇති. ජනාධිපතිත් කියන්නේ හැමදේම දීර්ඝ ක්‍රමයට කරන්න කියලනේ?. ඒ නිසා අප ඒ ක්‍රමයට ළඟදීම යෝජනාව සම්මත කර ගනිමු.” ලක්ෂ්මන් කිරිඇල්ල විස්තර කළේය.


“ජාතික දින උත්සවයේදී හා බදාදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා කළ කතා ගැන මිනිස්සු විවිධ මත දරනවා. පෙබරවාරි 04 වැනිදා විදේශ රාජ්‍ය නායකයෙකු වගේම තනාපතිවරුන් හා විදෙස් ජනමාධ්‍යත් ළඟ තියාගෙන පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැහීමයි, ජාතික ආණ්ඩුයි ගැන රටේ අභ්‍යන්තර ප්‍රශ්න කතා කිරීම පුදුම බවයි, හුඟදෙනෙකු කියන්නේ.


“මහින්ද රාජපක්ෂ මහත්තයටත් ගැහුවා. කතාවෙදි එයාගෙන් අවසර ගත්තෙත් නැහැ. ජනාධිපතිතුමා මහින්ද මහත්තයට ගෝල්ෆේස් එකේදි පාර්ලිමේන්තුවටත් වඩා සැර මිරිස් කුඩු ප්‍රහාරයකුයි දුන්නේ”, හේෂා විතානගේ කීවේ සිනාසෙමිනි.


”බදාදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කතානායකට-අගමැති හා විපක්ෂනායකට ආපසු දොස් කිව්වා. මේකේ කෙළවරක් නැහැ. ජනාධිපති යටතේ තිබෙන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මත කර ජනපති වැය ශීර්ෂය අනුමත නොකර හිටියොත් මොකද වෙන්නේ? කියන මතය ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන් අතර ශීඝ්‍රයෙන් වර්ධනය වීම එච්චර හොඳ දෙයක් නොවෙයි.”, එජාප නීති නිලධාරියෙක් කීවේය.


”නොයෙක් දෙනාට විවිධ අදහස් ඇති. ගැටුම් ඇති කරන්න ඕනෑ කෙනෙකුට ලෙහෙසියි. අප ක්‍රියා කරන්න ඕනෑ ගැටුම් සංසිඳවා රාජ්‍යතාන්ත්‍රිකවයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කැපීම ගැන කතා කළයුතු නැහැ.


හැබැයි සියල්ල අවුල් නොකිරීමේ ස්ථාවරයට ජනාධිපතිතුමා ඉක්මනින් පැමිණීමත් අත්‍යවශ්‍යයි. අවුල් හදන්න කාටවත් අයිතියක් නැහැ”, අගමැති මෙන්ම සභානායක කිරිඇල්ලගේද මතය එය විය.


”රට බංකොළොත් වෙන්නයි යන්නේ කියා රවී ඇමතිතුමා කියපු කතාව ඔක්සිජන් නැතුව හිටපු විපක්ෂයට ලොකු චාන්ස් එකක් වෙලා”, රංජිත් අළුවිහාරේ කීවේ අගමැති දෙස බලාය.


“රවී ඕක කිව්වේ ඔක්තෝබර් 26 ඉඳලා දින 52 ගැන වෙන්න ඕනෑ. මොකද, ඒ කාලෙ ඩොලර් බිලියනයකට වඩා අපේ විදේශ සංචිත හොර ආණ්ඩුව දියකර හැරියා. ඒත් දැන් ඒ අඩුපාඩු නිවැරදි වෙලා ආර්ථිකය ඉක්මනින් හරි පාරට ආව”, අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


“රේගු අධ්‍යක්ෂ ජනරාල් මාරු කරන්න ගිහින් නැති ගැටළු ඇතිකර ගත්තා. ගිය ආණ්ඩුව හිටියානම් ප්‍රශ්නය විස​ෙඳන්නේ වෘත්තීය සමිතිවල අයගේ ගෙවල්වලට සුදු වෑන් ගිහිල්ලයි. ඒත් කාගෙත් මතයට ඉඩදී ප්‍රජාතන්ත්‍රවාදීව රිවස් එකට ගිහින් ප්‍රශ්නය බේරා ගැනීම මේ ආණ්ඩුවේ හොඳ ලක්ෂණයයි.” නවීන් දිසානායක කීවේ එවැන්නකි.
“හොඳටම නාලා ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න විසඳනවාට වඩා හොඳයිනේ, නාන්නේ නැතුව හිටියානම්”? අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමඟිනි.


”ජනාධිපතිතුමා මතට තිත තියන්න කරන උත්සාහය වැදගත්. ඒත් මත්පැන් බෝතල් කෝටි 22ක් රටේ මිනිස්සු ගිය අවුරුද්දෙ බීලා. හැබැයි, කුඩු අල්ලන එක නම් ලොකුම දෙයක්” චමින්ද විජේසිරි කීවේය.


”රුපියල අවප්‍රමාණ වීම අතින් අල්ලා නවත්තන්න පුළුවන්දැයි හොර ආණ්ඩුව කාලෙ බන්දුල ගුණවර්ධන ඇහුවා. ඒත් දැන් රුපියල ශීඝ්‍රයෙන් ශක්තිමත් වීම මේ ආණ්ඩුව කළේ අතින් අල්ලා නොව නිසි ආර්ථික උපාය මාර්ග හරහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම තුළයි”, නවීන් දිසානායක කී දේට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.


“අර කුඩු මුදලාලි හා පාතාලයා ඩුබායිවලදී අල්ලපු එක ලොකු ජයයි. එයාලා ලංකාවට ගේනවද? ඩුබායි වලම නඩු අහනවද?” හේෂා විතානගේ ඇසුවේ අගමැතිගෙනි.
”ඔය මිනිහා අල්ලන්න අප 2017 ඉඳලා දැළ එළලා-මොනිටර් කළා. කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. වැඩපිළිවෙළ ලීක් වුණෙත් නැහැ. අල්ලලා කුදලා ගෙන ලංකාවට ගේන්නයි ප්ලෑන් කර තිබුණේ.


“නමුත් ඔවුන් ඩුබායිවලදී අත්අඩංගුවට ගත්තු ප්‍රවෘත්තිය කොහෙන් හරි ලීක් වූ නිසා වැඩේ ටිකක් අවුල් වුණා.”, අගමැතිවරයා විස්තර කළේය.


“මේ කට්ටිය අල්ලපු ප්‍රවෘත්තිය මුලින්ම ඇවිත් තිබෙන්නෙ පොලිස් මුලස්ථානේටයි, ඉහළ රාජ්‍යතාන්ත්‍රික තැනකටයි. පොලීසිය සහතික වෙනවා නිව්ස් එක එයාලගෙන් පිටවුණේ නැහැ කියලා.


එහෙමනම් කොහෙන්ද මේක පිටවුණේ.? සමහරුන් තමන්ට ලකුණු දාගන්න මේක ලීක් කළා කියලත් මතයක් යනවා”, එජාප නීති නිලධාරියෙක් එළි කළේය.


“සාගලල-රංජිත් මද්දුමබණ්ඩාරලගේ කාලේ වැදගත් ප්‍රවෘත්ති ලීක් වුණේ නැහැ. අනික අගමැතිතුමා නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ස්තුති කිරීමත් ඉතා වටිනවා.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


”කුඩු අල්ලන එකත් අද හොඳින් කෙරෙනවා. 2017දියි, අප ඒකත් පටන් ගත්තේ. ගිය ආණ්ඩු කාලෙ එයාලට විරුද්ධ කුඩු මුදලාලිලාගේ කුඩු විතරයි ඇල්ලුවේ. ඒ ආණ්ඩුවට සම්බන්ධ කුඩු මුදලාලිලට ආරක්ෂාව දී බිස්නස් එකේ ලාභ බෙදා ගත්තා කියලත් කියනවා.


“මතකනේ ඒ කාලේ වහාම හෙළිකොප්ටරෙන් මීගමු ගිහින් කුඩු මුදලාලි කෙනෙකු බේරගත්ත හැටි”, රංජිත් අළුවිහාරේ කීවේ සිනාමැදය.



අදහස් (0)

ජාතික ආණ්ඩුව වෙනත් ක්‍රමයකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site