IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අධීක්ෂණ මන්ත්‍රීන් ගැන එජාපයේ කතාබහ

අගමැතිවරයා සතිය ආරම්භ කළේ මුස්ලිම්වරුන්ගේ ඉස්තාර් උත්සවයට අදාළ නිල භෝජනය අරලියගහ මැදුරේ දී සංවිධානය කරමින් ඊට එක්වෙමිනි. ඒ සඳහා පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් සියලු දෙනා මෙන්ම මෙරට මෙන්ම විදෙස් මුස්ලිම් ආගමික නායකයන් හා මුස්ලිම් ප්‍රජා නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


‘‘ඔබතුමා ආණ්ඩුවේ ද?, විපක්ෂයේද? කියා නැහැ. හැමදාම අපට ආරාධනා කර ඉස්තාර් උත්සවය පැවැත්වූවා. සමහර දේශපාලකයෝ වගේ ඡන්ද බලාගෙන සුළු ජාතීන් රවටා ගන්න ඔබතුමා උත්සාහ නොකරන බව මුස්ලිම්වරුන් දන්නවා’’ මුස්ලිම් ප්‍රජාවේ බොහෝ දෙනකු අගමැතිට කීවේ එවැන්නකි.


‘‘සමහරුන් ඡන්ද කාලෙට මුස්ලිම්වරුන්ට හා දෙමළ ජනතාවට ආදරෙයි. ඊට පස්සෙ ඒකෙ අනිත් පැත්තයි. මමත්, එජාපයත් හැමදාම සිංහල වගේම රටේ සියලු සුළු ජාතීන්ට නිසි ගෞරවය දෙනවා. අප ජාතීන් ලෙස බෙදිලා නොව ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව රට ගොඩ නගන්න කැපවෙමු’’ අගමැතිවරයා එහිදී කීවේය.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවීමට යුද හමුදාපති මහේෂ් සේනානායක අරලියගහ මැදුරට පැමිණියේ අගෝස්තු මස පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා දිනයට අදාළ උත්සවයේ ප්‍රධාන දේශනයට අගමැතිවරයාට ආරාධනා කිරීමටය.


‘‘මෙතෙක් මේ උත්සවයේ ප්‍රධාන දේශනය කර තියෙන්නෙ පිටරට කෙනෙකුයි. මෙවර උත්සවයට අප ඔබතුමාට ආරාධනා කරන්නේ ජාතීන් අතර සංහිඳියාවටත් එය වටිනා නිසයි’’ හමුදාපති මහේෂ් සේනානායක කී විට අගමැතිවරයා අදාළ ආරාධනාව භාර ගත්තේය.


අනතුරුව දෙදෙනා අතර උතුරු නැගෙනහිර ඉඩම්, යටිතල පහසුකම් ඇතුළු සංවර්ධනයට අදාළව ද අදහස් රැසක් හුවමාරු විය.


අගමැති හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග ඔහු කතාබහ කළේ ඉන් අනතුරුවය.


‘‘විදුලි සංදේශ නියාමන කොමිසම දැන් ආණ්ඩුවේ නිදහස් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අභියෝග කිරීම විශාල කැළලක් වෙලා. මුලින් වෙබ් අඩවි බ්ලොක් කළා. දැන් ඔබගේ සහෝදරයගේ ටී.එන්.එල්. එකට පොලිසියත් එක්ක බලෙන් ඇතුළු වෙලා පොල්ගහවෙල ටවර් එකෙහි බඩු ටික ගලවාගෙන ගිහිල්ලා. ජනාධිපතිතුමාට මේ ගැන කතා කළේ නැද්ද?’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.


‘‘නැහැ. නැහැ. පවුලේ දේවල්වලට මා මැදිහත් වෙන්නේ නැහැ.’’ යයි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.


‘‘ශාන් වික්‍රමසිංහ මේකට මැදිහත් වෙන්න කියා ඉල්ලීමක් කළෙත් නැද්ද?’’ දයා ගමගේ විමසීය.


‘‘මා පාර්ලිමේන්තුවේ ඉන්න විට ශාන් මට කතා කර විස්තරේ කිව්වා. මැදිහත් වෙන්න කියා කිවුවේ නැහැ. මැදිහත් වෙන්නෙත් නැහැ කියා එයා දන්නවා. ප්‍රශ්නය අපම විසඳාගන්නම් කියා එයා මට කිව්වා.’’ අගමැතිවරයා කීය.


‘‘පොල්ගහවෙල කුලුනේ සංඛ්‍යාත තුනෙන් දෙකකට මුදල් ගෙවා තිබිලා තිබෙන්නේ. ඉතිරි එකෙහි ප්‍රශ්නය ටී.එන්.එල්. එකට කලින් දන්වලා කොමිසමට ප්‍රශ්නය විසඳගන්න තිබුණාලු. ඒත් එහෙම නොකර පොලිසියත් එක්ක ඇවිත් බඩු ගලවා ගෙන ගිහින් තිබෙන්නේ’’ නවීන් දිසානායක කීය.


‘‘ජනමාධ්‍ය ඇමැතිටත් නොදන්වා මේක කර තිබෙන්නේ. පනත අනුව එහෙම කරන්නත් බැහැ. ඇමැතිතුමාත් දැනගෙන තිබෙන්නේ බඩු ගලවාගෙන ගියාට පස්සෙයි.’’ විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නකි.
‘‘කරන්දෙණිය හා අනික් කුලුනුවලටත් ගේම දෙන්නලු හදලා තිබෙන්නේ. නොහිතපු විදියට විපක්ෂය පවා පාර්ලිමේන්තුවේදී මේ වැඩේට විරුද්ධ වීම නිසා අකුළා ගත්තා කියලත් ආරංචියි’’ වජිර අබේවර්ධන කීය.
‘‘විදුලි සංදේශ නියාමන කොමිසම කරන මේ වැඩේ ජනාධිපතිතුමාටත් හොඳ නැහැ. අපටත් මේ වැඩේ කරාවි කියා බයවෙලා අනිත් ටීවී චැනලුත් කොමිසමට විතරක් නොවෙයි ජනාධිපතිතුමා හා ආණ්‍ඩුවටත් එරෙහිව තවත් වැඩ කරන්න බැරි නැහැ. මාධ්‍ය ප්‍රහාර දෙන්නත් බැරි නැහැ’’ නවීන් දිසානායක කීය.


‘‘ආණ්ඩුවේ සංවර්ධන වැඩ වේගවත් කරන්න අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම ගැන ඒකාබද්ධය හා 16 කල්ලිය කැමති නැහැ. එතන තියෙන්නේ පටු දේශපාලනයයි. ඒ වගේම ශ්‍රීලනිපය තුළත් ඒ ගැන මත දෙකක් තිබෙන බව පේනවා. දුමින්ද කැමතියි, අමරවීරගේ ස්ථාවරය ඊට වෙනස්’’ විජයදාස රාජපක්ෂ කීය.


‘‘සංවර්ධනය වේගවත් කරන්න මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමයි මෙතනදී කරන්නේ. අය-වැයෙන් එවැනි කටයුතුවලට මුදල් වෙන්කර තිබෙනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් විතරයි, දෙන්නේ.


අමාත්‍යාංශ වැඩවලට යන විට එහි වාහනයක් පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා. මුදල් දීමක් කරන්නේ නැහැ යන කතා බොරුයි. කරන වැඩවලට යම් දීමනාවක් දීම සාධාරණයි. ඒ ගැන සලකා බලන්න වෙනවා’’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘‘රටේ සංවර්ධනය වේගවත් කරන මේ වගේ වැඩ පිළිවෙළකට ජනාධිපතිතුමා විරුද්ධ වේවි කියා මා හිතන්නේ නැහැ. විරුද්ධ වුණොත් මන්ත්‍රීවරුන්ගේ කටවල් පරිස්සම් කර ගන්න බැරි වේවි’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා සෙමිනි.


‘‘මහින්දගේ කාලේ මේ වගේ අධීක්ෂණ මන්ත්‍රීලා දුසිම් කීයක් හිටියද? හොඳම නිදසුන ඒ කාලේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී වෙලා හිටියේ දුමින්ද සිල්වායි’’ රන්ජන් රාමනායක මතක් කළේය.
‘‘දයාසිරි ඇලෝසියස්ගෙන් ලක්ෂ 10ක් ගත්ත එක හංගගෙන ඉඳලා ඒක එළි වුණාට පස්සේ තවත් අය සල්ලි ගත්තා කියා ඇඟ බේර ගන්න හදා තවත් නෝන්ඩි වුණා. සල්ලි ගත්ත ඇමැතිවරුන් හා මන්ත්‍රීලාගේ එහෙම ලැයිස්තුවක් නැහැ කියා නීතිපතිත් කියා තිබෙනවා’’ පී. හැරිසන් කීය.


‘‘ඒකාබද්ධය ඇතුළේ බෙදීම එයාලා කොච්චර වහන්න හැදුවත් නියෝජ්‍ය කතානායක තෝරන ඡන්දයට එයාලගෙන් කට්ටියක් මඟ ඇරීම තුළ රණ්ඩුව එළියට ආවා.


16 දෙනාගේ කල්ලියත් සම්පූර්ණයෙන්ම දෙකට බෙදිලා ඉන්න බවත් එතනදී පැහැදිලි වුණා’’ විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය සියලු දෙනා පිළිගත්හ.


‘‘වසර දෙකක් තුළ අපේ මිනිස්සු රාජපක්ෂ රෙජිමයේ පහත් වැඩ අමතක කර ඒ අයම පළාත් පාලන ආයතනවලට පත් කර ගත්තා. ඒ මන්ත්‍රීවරුන් දැන් පරණ වැඩ මේ ටික කාලෙටම හොඳටම පටන් ගත්තා.
ගොවීන්ගේ වතුර මෝටර් හොරකම් කරනවා, ළමයි විකුණනවා, ස්ත්‍රී දූෂණ කරනවා, කප්පම් ගන්නවා, ස්ටේෂන් මාස්ටර්ලට ගහනවා, තව හොඳ සෙල්ලම් ඉස්සරහට බලා ගන්න ලැබේවි’’ රන්ජන් රාමනායක කීය.
‘‘සිංගප්පූරු ගිවිසුම ගැන ප්‍රශ්න අහලා බන්දුල ගුණවර්ධනත් අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේදී හොඳට අහ ගත්තා. අපරාදේ කියන්න බැහැ හැම ටීවී චැනල් එකක්ම ඒවා ඔක්කොම ප්‍රචාරය කළා’’ චමින්ද විජේසිරි වැඩිදුරටත් කීය.


‘‘ගෝඨාට විරුද්ධ බව වාසුදේව තමයි ඉස්සෙල්ලාම කිව්වේ. නියෝජ්‍ය කතානායක ඡන්දයෙන් පසු ගෝඨාට විරුද්ධ තවත් කට්ටිය එළියට ඒවි වගෙයි පේන්නේ’’ රන්ජන් රාමනායක කීවේ සිනාසෙමිනි.



අදහස් (0)

අධීක්ෂණ මන්ත්‍රීන් ගැන එජාපයේ කතාබහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site