IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ග්‍රීෂ්ම ඍතුවේ ඉතාලියේ සිට ලුර්දු වන්දනාවේ ගියෙමු

 

ග්‍රීෂ්ම ඍතුව උදාවත් සමඟ ඊට සමගාමීව ඉතාලියේ සේවා නියුක්තිකයන්ට වාර්ෂික නිවාඩු ආරම්භ වේ. දින පහළොවේ සිට මාසය දක්වා නන් අයුරින් හිමිවෙන මේ කාලය තුළ ඉතාලියානුවෝ, දේශීය මෙන්ම විදේශීය ලෙසින් ද නොයෙක් සංචාරයන් හි නිරත වෙති.  
​ෙමලෙසින් ශ්‍රී ලාංකිකයෝ ද තම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මව් රටට විගමනය වෙති. සමහරු ඉතාලියේ අසල්වැසි රටට, එනම් ප්‍රංශයේ ලූර්දු නුවරට යති. මන්දයත් කතෝලිකයන්ට ලූර්දු සිද්ධස්ථානය වැඳපුදා ගැනීම තම ජීවිතයේ අමරණීය සංධිස්ථානයක් සේ සැලකෙන බැවිනි.  


දිනයේ වැඩිම පැය ගණනක් ඉන්ධන පිරවුම්හලේ සිරවී සිටින මේ මා හට ද වසරකට වරක් ලැබෙන කප්රුක හෙවත් දින පහළොවේ නිදහස ලැබුණි. මේ අතරතුර ඉතාලියේ ශ්‍රී ලාංකික සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා කාණ්ඩයක් රැගෙන ප්‍රංශය, පෘතුගාලය වැනි රටවල සංචාරයකට සූදානම් වන බැව්, මගේ මිත්‍ර ඩිලාන් ප්‍රනාන්දු පියතුමා මාර්ගයෙන් දැනගන්නට ලැබුණු අතර, දොළොස් වසක් ඉතාලියේ සිටියත් සැබෑ නොවූ සිහිනයක් මෙවර සැබෑ කර ගැනීමට හැකි වෙතැයි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මා එම නඩයට එක්වීමි.  


දින හතකින් සමන්විත වූ අප සංචාරයට හතළිහක පමණ පිරිසක් හවුල් වූහ. ගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා සමඟ ගරු ලියෝ පෙරේරා, ගරු වික්ටර් ජයමාන්න, ගරු ලලිත් එක්ස්පරිටස් යන පියවරු ද පිරිස අතර වූහ.  


දෙව් මව් නමැඳ ආරම්භ කළ අප ගමනේ මුල් හෝරාව වෙන් වූයේ එකිනෙකා දැන හඳුනා ගැනීමයි. අප මෙසිනා සිට සහභාගි වූවා සේ අනෙක් පිරිස ද රෝමයේ විවිධ පැතිවලින් එක්වීම ඊට හේතු විය.  

 

 


අප සංචාරය අදියර තුනකින් සමන්විත විය. ප්‍රථම අදියර ආරම්භයේ අප මුලින්ම, ලූර්දු නුවර දේවමාතා දර්ශනය වූ බර්නදෙත් තුමියගේ නොදිරා ඇති දේහය තැන්පත් කර ඇති ප්‍රංශයේ නෙවර්ස්හි දෙව්මැඳුරට ගියෙමු. ඉන්පසු තවත් සුප්‍රසිද්ධ දේවමාතා දර්ශනයක් වූ පුදුම පදක්කමේ ඓතිහාසික දෙව්මැඳුර ද වැඳ පුදා ගත්තෙමු. ඉන්පසු දිවා ආහාරය යුරෝපයේ අතිසුන්දර ප්‍රංශ රටේ පැරිස් නුවර ලාචැපල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික දමිළ සයිවර් කඩයකින් බඩ කට පුරා ලැබිණ. එම ස්ථානයේ කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයට පහන දල්වා තිබුණත් අප ආහාර ගන්නා අවස්ථාවේ සිංහල ගීත ශ්‍රවණය කිරීමට සලස්වා තිබුණි.  


ඉන්පසු ලැබුණු අඩහෝරාවක අවසරයෙන් අප ඒ අවට සිරි නැරඹීමු. එම වටපිටාව කොළඹ වැල්ලවත්ත එසේත් නැතිනම් හෙට්ටිවීදියට නොදෙවෙනි වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සේම ලෝකයේ ඕනෑම රටක වුව ද තම වෙළෙඳ ආධිපත්‍යය පතුරා ගැනීමට ශ්‍රී ලංකා දමිළයන් කොතෙක් ශූරයන් දැයි අවිවාදයකින් තොරව අප කවුරුත් පිළිගත යුතු කරුණකි.  


මුල් දින සැඳෑවේ මෙන්ම පසුදින පෙරවරුවේත් පැරිසියේ ඓතිහාසික ස්ථාන රාශියක් නැරඹූ අප ප්‍රථම අදියර සමාප්ත කරමින් ප්‍රංශයෙන් සමුගතිමු.  


ගමනේ දෙවැනි අදියර වූයේ පෘතුගාලයේ පාතිමා නගරය සහ අගනුවර ලිස්බන් නගරයයි.  


1917 මැයි මස 13 දින සිට හත් මසක් නොකඩවා සෑම මසකම 13 දින ලුසී, ප්‍රන්සිස්, ජසින්තා යන බැටළුවන් බැලූ කුඩා ළමයි තිදෙනාට දෙව් මව් දර්ශනය වූ ස්ථානය වූවේ පාතිමා නගරයයි. එහි තිබූ රූස්ස ගසක දෙව් මව් දර්ශනය වීමත් සමඟ භක්තිය ඉහවහා ගිය අතිභක්තිවන්තයෝ, ගසේ කොළ පොතු වන්දනා කළෙන්, වේළී ගිය ගස පිහිටි තැනක්වත් අද දක්නට නැත.  


එදා දෙව් මව් දර්ශනය වූ දරු තිදෙනාගෙන් ප්‍රන්සිස් සහ ජසින්තෙ කුඩා කලම මිය ගිය අතර පැවිදිවරියක් වූ ලුසියා අදටත් ජීවත් වන්නීය.  
පාතිමාවෙන් පසු ලිස්බන්වලට පැමිණි අපට වසර 500ට ප්‍රථම ඉතිහාසය මතක් විය. ඒ 1505 දී අප රට ආක්‍රමණය සඳහා පෘතුග්‍රීසි යාත්‍රා ගමන් ආරම්භ කළ ලිස්බන් වරාය දැකීමෙනි.  


ශාන්තුවරයන් අතර අග්‍රගන්‍යයේ සාන්තුවරයාණන් ලෙස අතිප්‍රසිද්ධියක් උසුලන ශාන්ත අන්තෝනි මුනිතුමා ඡන්ම ලාභය ලැබූ ස්ථානයට පැමිණීම අප ජීවිතයේ අමරණීය අවස්ථාවක් විය. අතිභක්ත්‍යාදර ශුද්ධවරයාණන්ගේ නිජබිමට පැමිණ එතුමන් ලොවට බිහිවූ ස්ථානය සහ ප්‍රසාද ස්ථාපනය ලැබූ ස්ථානය සියැසින් දැක ගැනීමට ලැබීම අප පිරිස ලැබූ භාග්‍යයක්ම විය.  


එම ස්ථානයෙන් පසු අවසාන අදියර ආරම්භයත් සමඟ පෘතුගාලයේ සිට ස්පාඤ්ඤය හරහා නැවත ප්‍රංශයේ ලූර්දු නුවර දක්වා පෙරදා සවස් යාම​යේ සිට පැය දහ අටක් නොකඩවා අපගේ බස් රිය ධාවනය කරවූ ඉතාලි ජාතික රියැදුරන්ට අප රටේ මෙන් රියැදුරු අසුන ඉදිරිපිට ලොකු අකුරින් ලියා ඇති රියැදුරු දෑතට දෙවි පිහිටයි යනුවෙන් ලියා නැතත් දෙවි පිහිටම ලැබුණි.  


1858 වසරේ දහ අට වතාවක් බර්නදෙත් දැරියට දේව මාතාවෝ දර්ශනය වූයේ ලූර්දු නුවරයි. බර්නදෙත් තමන්ට දේව මාතාවෝ දර්ශනය වූ බව හෙළි කිරීමත් සමඟ ඇයට එරට විසූ ආගමික නායකයන්ගෙන් විවිධ බලපෑම් එල්ල විය. මේ අතර වතාවක් දර්ශනය වූ දෙව් මව්, බර්නදෙත්ට පොළොවෙහි වළක් හාරන ලෙසත් ඉන් ඉනූ ජලයෙන් කොර පුද්ගලයකුට පානය කිරීමට දෙන ලෙසත් පැවැසුවාය. එය එලෙසම ඉටු කළෙන් කොර පුද්ගලයා සුවය ලැබූ පසු සියලු දෙනාම දෙව් මව් දර්ශනය විශ්වාස කළහ.  


එදා බර්නදෙත් හෑරූ වළ දිය උල්පතක් වී නොසිඳී අදටත් විවිධ අසනීපවලින් පෙළෙන්නන් සුව කරයි. ලූර්දු සිද්ධස්ථානය අසල ඉදිකර ඇති රෝහලේ සිටින නේවාසික රෝගීන් ඊට සාක්ෂි දරයි.  


වරෙක භාවනාවෙන් ද වරෙක විනෝදයෙන් ද යුක්ත වූ මෙම චාරිකාව වැනි චාරිකාවන් ඉදිරියේදීත් ගරු නෙවිල් පියතුමා සංවිධානය කිරීමට අපේක්ෂා කරන බැවින් විශේෂයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලිකයන් විසින් අනිවාර්යයෙන් එක් වතාවක් හෝ මෙයට සහභාගි වීම වටී.  


පස්කල් මිල්රෝයි  
මෙසිනා, ඉතාලිය



අදහස් (0)

ග්‍රීෂ්ම ඍතුවේ ඉතාලියේ සිට ලුර්දු වන්දනාවේ ගියෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 104 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site