IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගමන් බලපත් ගාස්තුව තුන් ගුණයකින් ඉහළ නැංවීම ගැන රට විරුවන්ගේ දැඩි විරෝධය

 

 

ශ්‍රී ලංකා රජයේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකයන් අතර විදේශයන් හි රැකියා කරන්නවුන් විසින් එවනු ලබන අති මහත් මුදල් සම්භාරය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව රහසක් නොවේ. මේ හේතුව නිසාම ඔවුන් රට විරුවන් ලෙස හැඳින්වීමට රජය පියවර ගෙන ඇති බව ද ප්‍රකටය.   


කරුණු කාරණා එසේ තිබිය දී මෙකී රට විරුවනට රජයෙන් ලැබෙන සැලකිල්ල නම් බලු නොවටින බව නොකියා නොහැකිය.   


කාලයක සිටම මෙම රට විරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඔවුන් මෙරටට එවන මුදල් ප්‍රමාණය අනුව ගණන් බලා ඔවුන්ටත් තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙසය. එම ඉල්ලීම පසුගිය සෑම රජයක්ම නොසලකා හැරි අතර රට විරුවන් විසින් එවන ලද මුදල් උපයෝගී කරගෙන රජය කරවන පිරිස් සිතූ සේ අධිසුඛෝපභෝගී වාහන තීරු බදු රහිතව ගෙන්වා ගැනීම නම් ගජරාමෙට සිදු විය.   


තීරු බදු රහිත වාහන පහසුකම එසේ යට ගසද්දී රට විරුවන්ට රජයෙන් එල්ල වී ඇති අලුත්ම හෙණ ගෙඩිය වී ඇත්තේ ගමන් බලපත්‍රය හෙවත් පාස්පෝට් එකට අය කරන මුදල තුන් ගුණයකින් පමණ වැඩි කිරීමයි.   


මෙතෙක් තිබූ ක්‍රමයට අනුව එක් දින සේවය යටතේ රුපියල් 10,000 කින් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබුණ ද රජයේ අලුත්ම දඩ කෙළිය යටතේ එම මුදල තුන් ගුණයකින් පමණ එනම් රුපියල් 27000 කට අධික මුදලක් වැඩි කිරීම සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.   


ගෘහ සේවිකා, ගෘහ රියැදුරු සහ කම්කරු වැනි රැකියාවන්හි යෙදී සිටින සුළු සේවකයින් සේ සැලකෙන ලක්ෂයකට අධික පිරිසක් මැද පෙරදිග රටවල සේවය කරති. මොවුන් එසේ සුළු රැකියා කරමින් ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිතයක් නම් නොවේ. යුරෝපා රටවල සේවය කරන්නන් ලබන වැටුප් හා සසඳා බලන විට අරාබිකරයේ රට විරුවන් ලබන්නේ සොච්චම් මුදලක් බව නොකියාම බැරිය. එසේ තිබියදී ඒ සොච්චම් මුදලින් මෙසේ අධික ගාස්තුවක් අය කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකිය.   


​ෙමවැනි තත්ත්වයක් යටතේ එකී රට විරුවන් ගේ අප්‍රසාදය රජය වෙත එල්ල වීම අරුමයක් නොවේ. රට කරවන අයගේ සුඛවිහරණය වෙනුවෙන් අසරණ රට විරුවන්ට මෙසේ දඩ ගැසීම කෙතරම් දුරට ආචාර සම්පන්න දැයි මහජන නියෝජිතයින් සිතා බැලිය යුතුය. 


පසුගිය ජනවාරි පළමු වැනිදා සිට ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව සෞදියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් තම කනස්සල්ල මෙන්ම විරෝධය රියාද් සහ නැගෙනහිර කලාපයේ තානාපති අංශවලින් වාර්තා විය. 


ශ්‍රී ලංකාවේ දී ඕනෑම රටකට වලංගු ගමන් බලපත්‍රයක් එක දිනක් තුළ දී රුපියල් දස දහසක මුදලකට ලබා ගැනීමට හැකියාව තිබිය දී මැද පෙරදිග වැනි කම්කරු ශ්‍රේණිවල ඉතා සොච්චම් වැටුපකට රැකියාව කරමින් දුක්ඛිත දිවියක් ගෙවන ශ්‍රමිකයින් හට අති විශාල මුදලක් වන සෞදි රියාල් 565 රුපියල් 27,000 කට අධික මුදලක් අය කිරීම කිසිසේත්ම සාධාරණය කළ නොහැකි කරුණක් බව පසුගිය සිකුරාදා නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාවට පැමිණි ශ්‍රී ලාංකිකයෝ එක හඬින් කියා සිටියහ. මේ අවස්ථාවේ දී තානාපති කාර්යාලයේ නිලධාරින් ද ඉතා අපහසුතාවයට පත්වීම ද දැක ගතහැකි විය. 


මෙවැනි අතිවිශාල මුදලක් ගෙවා ගමන් බලපත්‍රයක් ලබාගැනීම සාධාරණ නොවන බව බොහෝ ශ්‍රී ලාංකිකයින් පවසයි. මීට පෙර මැදපෙරදිග සඳහා වලංගු ගමන් බලපතක් ලබා ගැනීමට සෞදි රියාල් 190ක් රුපියල් 9000 පමණක් අය කළ ද එම මුදල තුන් ගුණයකින් ඉහළ දැමීම මගින් තමන්ගේ මාසික සොච්චම් වැටුපට මාරු පහරක් එල්ල වෙන බව ද මැද පෙරදිග රටවල සේවය කරන කිසිවෙකුත් යුරෝපයේ හෝ අනිකුත් කිසිදු රටකට යාමේ අවශ්‍යතාවක් නොමැති බැවින් විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරන කාන්තාවන් ද මෙම අති විශාල මුදල ගෙවා ගැනීමට නොහැකිව විවිධ අපහසුතාවන්ට පත්වනු දුටු අතර ඉතා අඩු වැටුපකට රැකියාවන් කරන බොහෝ ශ්‍රී ලාංකික තරුණයන් ශ්‍රී ලංකා රජය වෙත තම විරෝධය පාමින් පිටව ගියේ කරකියා ගත නොහැකි නිසාය. 


කෙසේ වුවද බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පොදු මතය වූයේ ඉදිරි කාලය තුළ දී හෝ මෙම මුදලින් අඩක් දක්වා හෝ අඩු කර තම ගමන් බලපත් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ කාරුණික අවධානය යොමු විය යුතු බව පසක් කරමිනි. 


මේ අතර අති විශාල ජනතාවක් සේවය කරන ඉන්දියානු ශ්‍රමිකයින් වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටකට ගමන් කළ හැකි ගමන් බලපතක් සඳහා අය කරනු ලබන්නේ සෞදි රියාල් 360 ක් නොහොත් ශ්‍රී ලංකා රුපියල් 17000 ක් පමණක් වන අතර එම ගමන් බලපත්‍රය සෞදි අරාබිය තුළදී දින 5ක් ඇතුළත ලබාදීම සිදු කරයි. ඉන්දියාව හා සාපේක්ෂාව ශ්‍රී ලංකා ගමන් බලපතක් සඳහා අවම වශයෙන් මාස දෙකක් ගතවීම ශ්‍රී ලංකා රජයේ දුර්වල සහ අලස බව මොනවට පැහැදිලි වේ. 


දමාම් නගරයේ පැවැති තානාපති ජංගම සේවයෙන් නව ගමන් බලපත්‍ර ගැනීමට පැමිණි පිරිසක් ඉහළ ඡායාරූපවලින් දැක්වේ.

 


ලලිත් ප්‍රේමලාල් - දමාම්- සෞදි අරාබිය



අදහස් (0)

ගමන් බලපත් ගාස්තුව තුන් ගුණයකින් ඉහළ නැංවීම ගැන රට විරුවන්ගේ දැඩි විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site