IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය

විදේශීය අධිරාජ්‍යවාදීහු සහ බලයෙන් පහ කරන ලද ධනේශ්වර පංතිය හා ඉඩම් හිමියෝ රුසියාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කළෝය. ආරම්භ වී ඇති විප්ලවීය අග්නි ජාලාව අනෙකුත් රටවලට ද පැතිරී යනු ඇතැයි ඔවුහු වටහා ගත්තෝය. බි්‍රතාන්‍යයේ, ප්‍රංශයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනපතියන් විසින් රුසියාවේ සාර්ට ඉඩම් හිමියන්ට සහ ධනේශ්වර පංතියට ණයට දී තිබූ කෝටි සිය ගණන් මුදල් අහිමි කර ගැනීමට ඔවුන්ට උවමනා නොවීය. රුසියාවේ ස්වභාවික ධන සම්පත් සූරා කෑමෙන් ඔවුන් ලැබූ දැවැන්ත ලාභය අහිමි කර ගැනීමට උවමනා නොවීය.


1918 වසන්තයේ ඇමෙරිකානු, බි්‍රතාන්‍ය සහ ප්‍රංශ හමුදා මුර්මන්ස්ත් නගරය අල්ලා ගත්හ. ජපන් සහ බි්‍රතාන්‍ය භටයෝද, පසුව ඇමෙරිකානු භටයෝද ව්ලැඩිවොස්ටොක් නගරයට ගොඩ බැස්සෝය. අධිරාජ්‍යවාදීහු හමුදා බලයෙන් විනාශ කිරීමේ ප්‍රයත්නයක යෙදෙණු වස් සෝවියට් දේශයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළෝය. බලයෙන් පහ කරන ලද ඉඩම් හිමියෝ සහ ධනපතියෝ විදේශ ආක්‍රමණිකයන් සමග හවුල් වී සිවිල් යුද්ධයක් ආරම්භ කළෝය. 


කොමියුනිස්ට් පක්ෂය සහ සෝවියට් ජනතාව සිය සමූහාණ්ඩුව ආරක්ෂා කර ගැනීමට නැගී සිටියෝය. සෝවියට් සමූහාණ්ඩුව පැත්තෙන් බලන විට මෙම ආරක්ෂාව සැලසීම විප්ලවීය ව්‍යාපාරයට ඉටු කරන උසස්ම ජාත්‍යන්තර යුතුකම වශයෙන් ලෙනින් සැලකීය. 


විදේශීය හමුදා ආක්‍රමණ සහ සිවිල් යුද සමයේ ලෙනින් කොතරම් වෙහෙසී වැඩ කළේ ද යත් විස්තර කිරීම උගහටය. කෙළින්ම ඔහුගේ නායකත්වය යටතේ යුද්ධෝපක්‍රම සැලසුම් සකස් කරන ලද අතර රතු හමුදාව සටන්වලින් පන්නරය ලැබීය. හමුදා ශක්තිය තර කිරීම ඔවුන්ගේ සටන් කාර්යක්ෂමතාව සහ කෑම ඇඳුම් සහ ආයුධ සැපයීම වැනි ගැටලු ඔහු නිරාකරණය කළේය. 


නිර්ධන පංති හමුදාවට තමන්ගේම අණ දෙන්නන් උවමනා විය. ලෙනින්ගේ යෝජනාවක් පරිදි විශේෂ පාඨමාලා සංවිධානය කරන ලද අතර අණදෙන නිලධාරීන් සඳහා යුද පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කෙරිණි. අණ දෙන පිරිස් වල අරටුව සකස් වූයේ කම්කරුවන් හා විප්ලවවාදී ගොවීන්ගෙනි. කොමියුනිස්ට් පක්ෂය සහ එහි ශ්‍රේෂ්ඨ නායකයා ලෙනින් විසින් එම්. වී. ප්රෑන්සේ, කේ. වයි. වොර්ෂිලොවේ, එස්. එම්. බුද්යොන්නි, වී. කේ. බ්ලුහෙර්, එම්. එන්. තුහචෙවිස්කි, ජී. අයි. කතොව්ස්කි, ඒ. වයි. පර්හමෙන්කො, වී. අයි. එපායෙව්, එන්. ඒ. ඝෝර්ස් සහ තවත් බොහෝ සිවිල් යුද වීරයන් වැනි කීර්තිමත් රතු හමුදා අණ දෙන්නන් බිහි කෙරිණි. 
එසේම පැරණි යුද විශේෂඥයන් සේවයෙහි යොදවා ගැනීමට ලෙනින් එකඟ වූයේය. යුද කටයුතුවලදී ඔවුන්ගේ පොහොසත් අත්දැකීම් උපයෝගී කර ගත යුතු බව ඔහු විශ්වාස කළේය. තරුණ සෙන්පතිවරු පැරණි විශේෂඥයන්ගෙන් සිය පුහුණුව ලැබූහ. පක්ෂය හමුදාව ඇතුළත දේශපාලන වැඩ කටයුතු කිරීම සඳහා යොදා ගනු ලැබූ හමුදා කොම්පාර්වරු රතු හමුදාවට භටයින් පුහුණු කිරීමෙහි දී අගනා සේවයක් ඉටු කළේය. 
රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සියලුම ප්‍රධාන ගැටලු ලෙනින් සවිස්තරාත්මක ලෙස අධ්‍යයනය කළේය. ක්‍රෙම්ලිනයේ තමා වැඩ කළ කාමරයේ සිට ඔහු රටෙහි සෑම ප්‍රදේශයකටම නියෝග උපදෙස් සහ ආඥා යැවීය. බොහෝ විට ඔහු මහ රෑ විධායක නිලධාරියෙකුට දුරකථනයෙන් කතා කරයි. අසවල් අසවල් සේනාංකය යුධ පෙරමුණට යැවී දැයි විමසයි. නැතිනම් ඊට කෑම ආයුධ සහ අවශ්‍ය අනෙක් සෑම දෙයම යැවී දැයි විමසුවේය. සිය විවේකය හා නින්ද ප්‍රතික්ෂේප කරමින් ඔහු යුද්ධ කටයුතුවල ප්‍රගතිය සොයා බලමින් ජයග්‍රහණය සහතික කිරීම් වස් සියලු පියවර ගත්තේය. ඔහු හමුදා අණ දෙන නිලධාරීන් සිය කාර්යාලයට කැඳවීය. යුද පෙරමුණේ තත්ත්වය හා හමුදාවේ අවශ්‍යතා පිළිබඳ ඔවුන්ගෙන් විමසීය. හමුදාවට හැකි සෑම ආධාරයක්ම කරන ලෙස ලෙනින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ රාජ්‍ය ආරක්ෂා කිරීම  සඳහා සිය රුධිරය වගුරවමින් සිටින රතු හමුදා භටයාගේ තත්ත්වය හා සසඳා බලන විට අපේ දුෂ්කරතා හා අඟහිඟ කම් ගණන් ගත නොහේ යැයි ඔහු ලිවීය. 


අධිරාජ්‍යවාදීන් ශක්තියෙන් ප්‍රබලවීම හා ආහාර ඇඳුම්, ආයුධ හා වෙඩි උණ්ඩවල දැඩි හිඟය වැනි ඇදහිය නොහැකි දුෂ්කරතා මධ්‍යයේ වුවද නව සමාජ ක්‍රමය ජය ගනු ඇතැයි ලෙනින් තුළ දැඩි විශ්වාසයක් තිබුණි. එසේම ඔහු සිය විශ්වාසය ජනතාව තුළට කා වැද්දීය. දිනපතාම පාහේ නැතිනම් දිනකට කීප වතාවක්ම ඔහු කම්කරුවන්ගේ හා රතු හමුදා භටයන්ගේ ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීය. සම්මේලනවල, කම්හල්වල හා මෝල්වල කථා පැවැත්වීය. 
සෑම කොමියුනිස්ට්වාදියෙක්ම, මුළු මහත් රටම ලෙනින්ගේ අයෝමය චිත්ත ධෛර්යය සහ පැහැදිලි විප්ලවීය චින්තනය පිළිබඳ අවබෝධයකින් සිටියෝය. නායකයාගේ කථා සාධාරණ සටනෙහි ජයග්‍රහණය පිළිබඳ ඔහුගේ අචල විශ්වාසය කම්කරුවන් හා ගොවීන් දිරිගැන්වීය. ඔවුන් ඒකරාශි කළේය. එසේම අවසාන ජයග්‍රහණය කෙරෙහි ඔවුන් කුළුගැන්විය. 


මොස්කව් හි ඩයිනමෝ කම්හලෙහි කම්කරුවකු වූ ඒ. වී. පනියුනින් ලෙනින්ගේ කථාවල ප්‍රබල ශක්තිය විස්තර කරයි. ඔහුගේ ප්‍රබෝධමත් වචන ඇසීමෙන් පසු වහාම ගොස් සටන් වැදීමට මට සිතුණි. කුසගින්නෙන් දැවෙමින් පාවැසුම් රහිතව වැරහැලි හැඳ සිටි නමුත් උද්ඝෝෂණයෙන් හා විශ්වාසයෙන් පිරී ඉතිරි ගිය අපි ඔහුගේ සෑම වචනයක් ම ආශාවෙන් ඇසීමු යයි ඔහු ලිවීය. 


ලෙනින් ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනය ඔවුන්ට සංස්කෘතිය වෙත ප්‍රවේශ වීමට ඉඩ කඩ සැලසීම පිළිබඳ අවධානය යොමු කළේය. 1918 ජනවාරියේ තෙවන සමස්ත රුසියා සෝවියට් සභා සමළුව අමතා කතා කරමින් අතීතයේ ධනවාදය යටතේ තාක්ෂණයේ හා සංස්කෘතියේ සියලුම ප්‍රයෝජන ලැබුණේ පොහොසතුන්ට පමණක් යයි ද, ඒ අතර වැඩ කරන ජනතාවට යම්තමින් කියවීමට හෝ ලිවීමට තවත් නොහැකි වී යයිද පැවසීය. අද සිට ඉදිරියට විද්‍යා තාක්ෂණයේ සංස්කෘතියේ පල ප්‍රයෝජන ද මුළුමහත් ජාතියටම අයත් වී ඇතැයි ඔහු කීය. 


අලුත බිහි වූ සෝවියට් සාහිත්‍යයේ ප්‍රගතිය පිළිබඳව කෙතරම් අවධානයක් ඔහු යොමු කළේද යන්න ලෙනින්ගේ මිතුරෝ සහ නෑයෝ පවසති. ඩී. බෙද්නි, ඒ. එස්. සෙරපීමවිච් සහ මක්සිම් ගෝර්කි ගේ කෘතීන් ලෙනින් නැවත නැවතත් කියවූ අතර ඔවුන්ගේ යෙදුම් ඔහුගේම කෘතීන් සහ කථාවල දී භාවිතා කළේය. ඔවුන්ගේ කෘතීන් ජනතාව අතර පුළුල් ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඔහු සෑම උත්සාහයක්ම දැරීය. 


ලෙනින් වැඩ කළේ කාර්ය බහුල තත්ත්වයක් යටතේය. ඔහුගේ එකම විවේකය වූයේ ක්‍රෙම්ලිනය අවට ඇවිදීම හා සිය බිරිය හා සොහොයුරිය මාරියා සමග කලාතුරකින් ඉරිදාවක පරෙව් කඳුවලට හෝ මොස්කව් අසල වෙනත් ස්ථානයක ඇවිදීමට යාමයි. 


මේ අතරතුර අධිරාජ්‍යවාදීන් විසින් මුදල් සපයනු ලැබූ මා පොලඹවනු ලැබූ දේශීය ප්‍රතිවිප්ලවාදිහු සෝවියට් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් ද, ලෙනින් සහ ඔහුගේ සගයින් ඝාතනය කර දැමීම සඳහා සැලසුම් සකස් කරමින් ද සිටියෝය. 1918 අගෝස්තු 30 වැනිදා කප්ලාග් නමැති සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ කතක් ලෙනින්ගේ ජීවිතය හානි කිරීමට නිවට උත්සාහයක යෙදුණාය. ඈ ඔහුට එක එල්ලේම වෙඩි තබමින් දරුණු තුවාල සිදු කළාය. වෙඩි උණ්ඩ විස කවා තිබුණි. ලෙනින්ගේ ජීවිතය ඉතාමත්ව අවදානම් විය. වෛද්‍යවරු ක්‍රෙම්ලිනයේ ඔහුගේ යහන අසල දිවා රෑ දෙකේහි නිදි වර්ජිතව ප්‍රතිකාර කළහ. 


පක්ෂය හා මුළු රටම සිය නායකයාගේ සෞඛ්‍ය ගැන තොරතුරු ලැබෙන තෙක් ආශාවෙන් බලා සිටියෝය. දිවා රෑ දෙකෙහිම රටේ සිව් කොනෙන්ම මොස්කව් නුවරට විමසීම් ගලා ආවේය. ලෙනින්ට සුවය ලැබෙන්නට පටන් ගත් විට මිනිසුන්ට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය. කම්කරුවන්ගෙන් හා ගොවීන්ගෙන් දහස් ගණන් සුබපැතුම් පණිවුඩ ඔහුවෙත ගලා ආවේය. 1918 සැප්තැම්බරයේ ප්‍රව්දා පුවත්පත, ලෙනින් සිය අසනීපයට එරෙහිව සටන් කරමින් සිටී යයි ලිවීය. ඔහු එය පරාජය කරනු ඇත. නිර්ධන පංතිය එය එසේ බලාපොරොත්තු වන හෙයිනි. ඉරණම කෙරෙහි එහි බලපෑම එපමණය. පන්කවො වොලස්ට්හි ගොවීහු මෙසේ ලියූහ. ලෙනින් සහෝදරයා අපි ඔබට අපේ සහෝදරාත්මක සුබපැතුම් එවමු.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site