ඩෙංගු වාහක ගැහැනු මදුරුවන්ට නිස්සාරක වොල්බැචියා බැක්ටීරියාව එන්නත් කර ඩෙංගු මෙරටින් තුරන් කිරීමේ ක්‍රමවේදයක් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ විද්‍යාඥයන් පිරිසක් විසින් හදුන්වාදී තිබේ.
වොල්බැචියා බැක්ටීරියාව කෘමි සතුන් තුළ ජීවත්වන අතර මිනිසාට අහිතකර බලපෑම් ඇති නොකරයි. පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව වොල්බැචියා බැක්ටීරියාව විශේෂිත ක්ෂුද්‍ර විදිනයක් භාවිත කර මදුරු ගැහැනු සතාට එන්නත් කිරීමෙන් එම ගැහැනු මදුරුවාගෙන් බැක්ටීරියා ආසාදිත වඳ සුහුඹුල් පිරිමි මදුරුවන් අභිජනනය වෙයි. එය වැඩිදුරටත් තහවුරු කිරීම පිනිස පිරිමි සහ ගැහැනු මදුරු කීටයන් වෙන්කර විකිරණ ශක්තියෙන් වන්ධීකරණය සිදුකෙරේ. පසුව මිනිසාගේ ලේ උරා නොබොන පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහැරීම සිදුකරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍යපීඨයේ පරපෝෂවේදී අධ්‍යයන හා අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්ෂිකා ආශා විජේගුණවර්ධන මහත්මියගේ උපාධිය වෙනුවෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. ජාතික පර්යේෂණ සභාවේ වසර 5 ක මෙගා ව්‍යාපෘති යටතේ මෙම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සපයයි.
‘මෙය පරිසර හිතකාමී තිරසාර ජෛව පාලන ක්‍රමයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මෙම ක්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල් අත්හදා බලමින් පවතිනවා. වොල්බැචියා බැක්ටීරියාව පරිසරයට අහිතකර නොවන බැක්ටීරියාවක්. මොවුන් සමහර කෘමි සතුන් තුළ ජීවත්වෙනවා. මෙම බැක්ටීරියාව විශේෂිත ක්‍රමවේදයක් යටතේ ඩෙංගු ගැහැනු මදුරුවාට එන්නත් කර එම ගැහැනු මදුරුවා සංසේචනයෙන් පසුව බිහිකරන පිරිමි සුහුඹුලන් වඳ භාවයෙන් යුක්තවෙනවා. එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා ගැහැනු සහ පිරිමි සුහුඹුලන් වෙන්කර විකිරණ ශක්තිය යොදාගෙන වන්ධීකරණය කරනවා. ඉන්පසුව පිරිමි මදුරුවන් පමණක් පරිසරයට අපි මුදාහරිනවා‘
‘එම මුදාහැරි පිරිමි මදුරුවන් පරිසරයේ ජීවත්වන ගැහැනු මදුරුවන් සමඟ සංසේචනය සිදුකළද ගැහැණු මදුරුවන්ට බිත්තර දැමීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සංසේචනයවීමෙන් පසුව එම ගැහැනු මදුරුවන්ටද වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය වෙනවා. එවිට පරිසරයේ ජීවත්වන වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය නොවූ පිරිමි මදුරුවන්ට ආසාදනයවී ඔවුන්ද වඳ භාවයට පත්වෙනවා. මේ අයුරින් ඩෙංගු මදුරුවන් විශිෂ්ට ලෙස මර්දනය කර මෙරටින් තුරන් කිරීමේ හැකියාව මේ ක්‍රියාදාමය තුළ තියෙනවා. එමගින් ඩෙංගු මර්දනය සඳහා වසරකට රජය දරන විශාල මුදලක් ඉතිරිකර ගැනීමේ හැකියාව තියෙනවා‘
‘ඊට අමතරව මෙම පර්යේෂණ කණ්ඩායම විසින් ජීව විද්‍යාත්මක කෘමි නාශක භාවිතය, මදුරු ජාන සංයුතිය වෙනස් කිරීම, රෝග ව්‍යාප්තිය භූගෝලීය වශයෙන් හඳුනාගැනීම, නව උපාංග සහ නවීන මදුරු දැල් සහ විකර්ශක වැනි ක්‍රමවේද යොදාගැනීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතිනවා‘
‘කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් දසනායක, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, හෝමාගම ස්ලින්ටෙක් ආයතනයේ වේරන්ජ කරුණාරත්න, ආචාර්ය හරීන් විජේරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ මහචාර්ය එන්.වී. චන්ද්‍රසේකරන්, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන, මහාචාර්ය නිල්මිණී චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයන ගුණතිලක, උප ප්‍රධාන පරීක්ෂිකා ආචාර්ය මේනකා හපුගොඩ, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ආචාර්ය ජීවනී හරිස්චන්ද්‍ර, ආචාර්ය කුසුමාවතී පහළගෙදර, කාර්මික තාක්ෂණික ආයතනයේ ආචාර්ය මහේෂි අතපත්තු සහ ආචාර්ය ලක්මාල් ජයරත්න යන මහත්ම මහත්මීන් මෙම කර්තව්‍ය සඳහා සහයෝගය දක්වනවා‘ යැයි මහාචාර්ය අබේවික්‍රම මහතා පැවැසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථක වුනොත් වැඩේ නම් හොඳයි. කකුලෙන් අදින අය ඉන්න බැරි නෑ. . (හේ)
මේකවත් සාර්ථක වේවා කියලා ඉතසිතින් පතනවා. (නි)
ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියා පතනවා. (නි)
ඩෙංගු මර්ධනය කරන්න මේක හොද ක්‍රමයක්. ඩෙංගු වලට විතරක්ම නැතුව ඔක්කොම මදුරුවෝ මේ විදියටම නැති කරලා දාන්න පුළුවන්නම් ඒක අපේ සමාජයට කරන ලොකුම උදව්වක් වේවී. මොකද ඩෙංගු වලින් විතරක්ම නෙමෙයි අපේ දරුවන්ව අපි හැම මදුරුවෙක්ගෙන්ම බේරගන්න කොච්චරනම් කියලා දේවල් කරනවද? ඒ ගැනත් සලකලා බලන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. (බ)
බැසිලස් තුරෙන්ජිටිස් වලට වුන දේ මේකට නොවේවා කියල පතනවා (බ)
ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියා පතනවා. (ම)
බෙහෙත් නිෂ්පාදන සමාගම් හරස්වෙයි බලාගන. (ර)
කවද්ද පලවෙනි මදුරුවා නිදහස් කරන්නේ.? (ර)
ඉමේෂ්, හෙට වෙන්නත් පුලුවන්. ඉක්මනට හැංගෙන්න
මහජනයාගේ ලේ බීලා හොදට තරවුණ මදුරුවෝ ඉන්නවා දියවන්නාව පැත්තේ. පළමුව එතැනින් පටන්ගන්න (නි)
ඉතාමත් සාර්ථක ප්‍රතිපල ලැබේව කියා පතනවා ජීවනී සරච්චන්ද්‍ර වෛද්‍ය තුමිය මගේ ළමය ඉපදිලා මාසෙන් සෙම සනිපකළා (අ)
මදුරු කොයිල් මාෆියාව මේකත් ගිලගනීවිද? මේවගේ වටිනා දේවල් කොපමණ සොයාගත්තද? කෝ ඒවා ඉදිරියට අරන් ගියාද? අපට ආණ්ඩු ඔක්කොම හොරු කියලා පේනවනේ. (නි)
මෙවැනි අත්හදා බැලීම් වලින් වෙනස් වූ මදුරුවන් මුදාහැරිමට ඉතාමත් හුදකලා පරිසරයක් තෝරගත යුතුයි. මෙය පරිසර හිතකාමී තිරසාර ජෛව පාලන ක්‍රමයක් බව තවම ස්තිර වශයෙන් කිසිවෙක් නොදනී. (ර)