ලංකාව අවට මුහුදු තීරයේ සිටින ජෛවදීප්තතාව සහිත සත්ව ප්ලවාංග හඳුනාගැනීමේ පර්යේෂණයක් මට්ටක්කුලිය නාරා ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරයි.
ජෛවදීප්තතාව යනු ජීවීන් තමන් විසින්ම නිපදවා ගන්නා අලෝකයයි. කණාමැදිරි එළිය ස්වාභාවික සංසිද්ධියක් සේම තමන්ගේම ආලෝකයක් නිපදවීමේ හැකියාවැති මුහුදු ජීවීන් සුලභව සාගරයේ දැකිය හැක. මෙම ආලෝකය ඔවුන්ගේ සෛල තුළ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවක ප්රතිඵලයකි. ලංකාව අවට මුහුදේ මෙම සත්වයන් පිළිබඳව මීට පෙර කිසිඳු පර්යේෂණයක් සිදුකර නොමැති අතර මෙවැනි පර්යේෂණයක් සිදුකරන ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) ප්‍රධාන විද්‍යාඥ එස්.යූ.පී. ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂිකා උදේශිකා විමලසිරි මෙනවියගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදුකරයි.
බැක්ටීරියා වැනි ඒක සෛලික ජීවීන්ගේ සිට මාළුන් වැනි සංකීර්ණ ජිවීන් දක්වා එකිනෙකට වෙනස් ජීවීන් තුළ ජෛවදීප්තතාව දක්නට ලැබෙනවා. සමහර අවස්ථාවලදී මාළු තමන්ගේම එළි නිපදවීමට නොහැකි වුවත් බැක්ටීරියාවන්ගේ උදවුවෙන් ජෛවදීප්තතාවය ඇති කර ගන්නවා. උදාහරණයක් ලෙස ගැඹුරු මුහුදේ ජීවත් වන ඇන්ග්ලර් මාළු ඔවුන්ගේ හිසෙන් ඉහළට විහිදෙන වුම්බැට්ස් හෙවත් පැසක බැක්ටීරියා රඳවා ගන්නා අතර එම බැක්ටීරියාවන්ගේ ආලෝකයේ ආධාරයෙන් ගැඹුරු මුහුදේ දී ආහාර සොයා ගන්නවා. බොහෝවිට ජෛවදීප්තතාව දැකිය හැක්කේ මුහුදේ දීය.
ජෛවදීප්තතාවය සතුන්ට ආහාර සොයා ගැනීමට, විලෝපිකයන් පළවා හැරීමට හා විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීමට යොදාගන්නවා. මුහුද මතුපිට ඇතිවන ජෛවදීප්තතාවය අතීතයේ ධීවරයන්ට මාළු වැඩිපුර ගැවසෙන තැන් සොයා ගැනීමට උපකාරී වී තිබුණා. බොහෝ විට මෙම ජෛවදීප්තතාවය මුහුදේ ඇති වන චලනයන් නිසා උද්දීපනය වෙනවා.
මාළු වැඩිපුර ගැවසෙන තැන්වල චලනය වැඩි නිසා එම ස්ථාන ඈතට පැහැදිලිව දැකගන්න පුළුවන්. ධීවරයන් හා නාවිකයන් කිරි මුහුද ලෙසින් හදුන්වන අහඹු සංසිද්ධිය ද මෙම ජෛවදීප්තතාවය සහිත බැක්ටීරියා විශේෂයක් නිසා ඇති වෙනවා. එය තවමත් නිශ්චිත විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදුකර නැහැ. ඒ හැරුණු කොට නවීන විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගෙන ජෛවදීප්තතාවය ඇති කරන රසායනික ද්‍රව්‍ය ඉතා පිරිසිදු ලෙස වෙන්කර ගෙන තිබෙනවා. එම රසායනික ද්‍රව්‍ය නූතන වෛද්‍ය විද්‍යාවේදී ඉතා බහුලව යොදා ගන්නවා. මෙම රසායනික ද්‍රව්‍යයන්ගේ ආලෝකය නිපදවීමේ හැකියාව පිළිකා සෛල හඳුනාගැනීමට, ලේ කැටි පිහිටි තැන් හඳුනාගැනීම ආදී වු ඉතා විශාල පරාසයක් තුළ විද්‍යාඥයන් අත්හදා බලමින් පවතීනවා.
ජෛවදීප්තතාවෙන් නිපදවන ආලෝකය සෞම්‍ය එළිය ලෙස හඳුන්වන අතර එම ආලෝකය විදුලි බල්බ වලින් නිපදවන ආලෝකය හා සැසදීමේදී ඉතා අවම තාපයක් නිපදවනවා. විද්‍යාඥයන් එම සංකල්පය යොදා ගනීමින් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව ආලෝකය නිපදවීමේ උත්සාහයකද නිරත වෙනවා.
මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව අවට මුහුදේ ජෛවදීප්තතාව සහිත සත්ව ප්ලවාංග හඳුනාගෙන ඒ ඔස්සේ වෛද්‍ය විද්‍යාත්මක හා වානිජ වටිනාකමක් සහිත ජීවීන් හදුනා ගැනීමයි. අප අවට මුහුදේ දැනට ජෛවදීප්තතාව සත්ව ප්ලවාංග 15 ක් පමණ හදුනා ගෙන තියෙනවා. ලංකාව අවට මුහුදේ ඔවුන්ගේ ඉතා සුලභ ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර එය වර්ෂාව සමඟ පැහැදිලි වෙනසක් පෙන්වනවා. මෙම සත්ව ප්ලවාංග ව්‍යාප්තිය විශේෂ උපකරණයක් මගින් ලබා ගන්නා අතර මෙම ජීවීන් මුහුදේ මීටර් 80 ක් පමණ දක්වා සුලභ ව්‍යාප්තියක් දක්වෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර සහ දකුණු මුහුදු තීරවල දත්ත දැනට අපි ලබාගෙන තියෙනවා. මුහුදේ ජෛවදීප්තතාවේ තීව්‍රතාව මැනීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික සහාය ඇමරිකාවේ නෝටර්ඩෑම් විශ්ව විද්‍යාලය හා ඇමරිකා නාවික පර්යේෂණ ආයතනය මගින් අපට ලබා දෙනවා යැයි ජිනදාස මහතා පැවැසීය.
නාරා ආයතනයේ විද්‍යාඥ එස්.යු.පී.ජිනදාස මහතා
ජපුර පශ්චාත් උපාධි අපේක්ෂිකා උදේශිකා විමලසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
හොඳ වැඩක්.සුභ පැතුම්(සඳු)
පර්යේෂණය සාර්ථකවේවායි පතමි (නි)
කිරි මුහුද යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිළි කර දෙන්නේනම් මැනවි. (අ)
කිරි මුහුද යනු ජෛවදීප්තතාවය සහිත බැක්ටීරියා නිසා ඇතිවන සංසිද්ධියකි. මෙහිදී ජෛවදීප්ත බැක්ටීරියා විශාල ප්‍රමාණයක් එකවර ඇති වන අතර එයට පැහැදිලි හේතුවක් තවමත් සොයා ගෙන නැත. (අ)
ඔබට සුබ පැතුම්!
අපේ තාත්තා කී විදියට මම නම් හිතුවේ කිරි මුහුද කිරි වලින් පිරුණු ආකරයක් කියලා. . බලාගෙන ගියාම බැක්ටීරියා වලින් පිරුණු වාකරයක්..... (නි)
අබය, මේ වගේ ලිපි කියවන එක ඔයාගේ මොළයට හොඳයි. (නි)
පැහැදිළි කිරීමට ස්තූතියි. ඔබ ඇතුළු නව සොයා ගැණීම් කරන සියළු ශ්‍රි ලාංකිකයන්ට හදවතින්ම සුභ පතමි (හේ)