IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


සංචාරකයන්ට හිරිහැරකරන නරුමයන් දඬුකඳේ ගහන්න

රුසියානු ජාතික තරුණියකට ලිංගිකව හිරිහැර කොට ඇය සමඟ සිටි රුසියානු ජාතික පෙම්වතාට පහරදීමේ සිද්ධිය රටේ අභිමානය පිළිබඳ හැඟීමක් ඇති සියලු‍ වැසියන්ගේ සිත් කම්පාවට හේතුවකි. ඒ සම්බන්ධ තරුණයන් පස්දෙනා මේ වන විට අධිකරණය හමුවට පමුණුවනු ලැබ සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිසියේ මහත්වරුන්ට ද ඒ ගැන ප්‍රශංසා කළ යුතු වෙයි. රටට ඇතිවූ ලොකුම කළු පැල්ලමක් යන්තමින් හෝ මකා දැමීමට නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වීම හේතුවන බැවිනි.

අදාළ සිද්ධිය මේ රටේ ප්‍රතිරූපයට දරුණු පහරක් එල්ල කළ අවස්ථාවක් වශයෙන් අපි සලකමු. අතවරයට පත් තරුණ කාන්තාව තමන් මුහුණදුන් සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම හේතුවෙන් රටට සිදුවූ අවමානය වඩාත් බරපතළ තත්ත්වයට හරවා තිබේ.

කොළඹ ගාලු‍ මුවදොර සවස් යාමයක සෑහෙන පිරිසක් බලා සිටියදී සුදු ජාතික කාන්තාවට ලිංගික බලපෑමක් සිදුවන ආකාරයට උසුළු විසුළු කිරීමත් එයට එරෙහි වූ ඇයගේ පෙම්වතාට අසභ්‍ය වචනයෙන් බැණවැදී පහරදීමත් තමන්ගේ ලොකුකම ප්‍රදර්ශනය කිරීමක් ලෙස මේ නරුමයන් කිහිප දෙනා සිතුවාදැයි අපි නොදනිමු. එහෙත් මොවුන් කළ වරදේ ස්වභාවය අනුව ඔවුන්ට රජ කාලේ දඬුවම් දුන්නත් කමක් නැත. ගාලු‍ මුවදොර පිටියේම දඬුකඳේ ගසා ජනතාව හමුවේ මේ නරුමයන් ප්‍රදර්ශනය කොට උසාවියට දැම්මා නම් වඩාත් හොඳ බව කීමට තරම් අපේ සිත් දැඩි වෙයි. ඔවුන් රටට සිදුකර ඇති අවමානය ඒ තරම්ම බරපතළ ය. ලජ්ජා සහගතය.

අපේ රටට සංචාරකයන් යනු විදේශ විනිමය උල්පතකි. එසේ ම සංචාරකයන් උණුසුම් අන්දමින්, හෘදයාංගම සිනහවකින් පිළිගන්නා රටක් වශයෙන් අපි ලෝක ප්‍රසිද්ධව සිටිමු. වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව සැලකෙන්නේ සංචාරකයන් සඳහා ලෝකයේ හොඳම ගමනාන්තය වශයෙනි. කොම්පඤ්ඤවීදියේ කොල්ලන් පස්දෙනකු විසින් කාබාසිනියා කර දැමීමට උත්සාහ කර ඇත්තේ අප විසින් අත්කරගෙන සිටින එම මහත් වූ අභිමානයයි. ඔවුන්ට රජ කාලේ දඬුවම් ලබාදීම වුවද සුදුසු යැයි අප කල්පනා කරන්නේ එබැවිනි.

ඇතැම් තරුණයන්ට මහ මඟදී, මුහුදු වෙරළේ දී පමණක් නොව සංචාරක නිවස්නයක දී වුවද සුදු ජාතික සංචාරක කාන්තාවන්ගේ ඇඟපත දැකීම තම සිරුරේ කහඹිලියා ගෑවුණාක් මෙන් දැනීමකි. එවැනි ඇසකින් කතුන් දෙස බැලීම මෙවැනි අපරාධවලට මුලපුරන බව පෙනී යයි. මෙවැනි වරදවලට හසුවන තරුණයන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ද දඬුවමේ ම කොටසක් වශයෙන් දක්වා ඔවුන් පුනරුත්ථාපනයට යැවීම ද සුදුසු බවත් කිව යුතු ය. සංචාරක කතුන් හෝ දේශීය කතුන් හෝ වුවද ඔවුන් සිටින්නේ නරුමයන්ගේ උසුළු විසුළුවලට අඩන්තේට්ටම්වලට ලක්වීමට නොවේ. කාන්තාවන්ගේ ගෞරවය රැකීම රටේම ගෞරවය රැකීමට සමාන වන බව සියලු‍ දෙනා වටහාගත යුතු සත්‍යයයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 43 ක් කාන්තාවන් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. දිගින් දිගටම කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මේ ආකාරයට ලිංගික අතවර සහ හිරිහැර කිරීම්, දූෂණය සහ ඝාතනය කිරීම් සිදුවන්නේ නම් එහි බලපෑම රටටත් මහත් ආර්ථික සම්පතක් වන සංචාරක ව්‍යාපාරයටත් එල්ල කරනු ඇත්තේ තදබල පහරකි. 2010 වසරේ සිට මෙරට සිදුව ඇති සංචාරකයන්ට එරෙහි පහරදීම් සහ හිරිහැර කිරීම් මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සංචාරක කාන්තාවන්ට ක්ෂේම භූමියක් නොව මරු කතරක් වී ඇති බවකි. 2017 වසරේදී ලෝක ප්‍රසිද්ධ ගල්කිස්ස මුහුදු වෙරළේ රැඳී සිටි රුසියානු කාන්තාවකට ලිංගික බලපෑම් එල්ල කිරීමේ චෝදනාවට ලක්වූ රාජකාරියෙන් මිදුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිද්ධිය මේ ක්‍රියාවලියේ බරපතළකම පෙන්වූ එක් උදාහරණයකි. අලු‍ත්ම සිද්ධිය ද සංචාරක ආකර්ෂණය දිනූ ලෝක ප්‍රසිද්ධ ගාලු‍ මුවදොරදී සිදුවීම රටටම මහත් කනස්සල්ලක් බවද සඳහන් කළ යුතුය.

මෙවැනිම තවත් සිදුවීමකට වැරැදිකරු වූ පුද්ගලයකුට 2019 වසරේ අගෝස්තු මාසයේ දී පස් වසරක සිරදඬුමක් හිමි විය. එහිදී ස්කයිප් හරහා පටිගත වූ වීඩියෝ සාක්ෂි හේතුවෙන් බ්‍රිතාන්‍ය තරුණියන් දෙදෙනකුට ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයාට කටඋත්තර නැති විය.

 මෙවැනි ඓතිහාසික නඩු තීන්දු පිළිබඳව රට පුරා ප්‍රබල ජනමතයක් ඇතිකළ යුතු බව ගාලු‍ මුවදොර සිද්ධිය දැඩිව රටට පෙන්වා දෙයි. මෙරට කාන්තාවන්ට සහ සංචාරක කාන්තාවන්ට එරෙහිව මුදාහරින ලිංගික ප්‍රචණ්ඩත්වයේ සහ හිංසනයේ භයානකකම පෙන්වා දෙන එවැනි නඩු තීන්දු හරහා රටම දැනුම්වත් කළ හැකි ය.

සංචාරක කාන්තාවන්ට එරෙහි, රටේ කීර්තිනාමයට කිසිදු හිරිකිතයකින් තොරව හානි සිදු කරන හිංසන කටයුතුවලදී දැනට වඩා සංවිධානාත්මක ලෙස කටයුතු කිරීම අවශ්‍ය වෙයි. එහිදී රටේ නීතිය හා සාමය රකින පොලීසිය පමණක් නොව සංචාරක අමාත්‍යාංශයේ අධිකාරීන් සහ යුක්තිය පසිඳලන අංශවල සහයෝගය ද එක මිටට ගැනීම වැදගත් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. ශ්‍රී ලංකාව කාන්තාවන්ට සුරක්ෂිත රටක් වශයෙන් තහවුරු කළ හැකි නම් එය සංචාරක ව්‍යාපාරයේ විශාල ඉදිරි පිම්මකට හේතුවන බව අවිවාදිත ය.

අතවරයට සහ හිංසනයට ලක්වන කාන්තාවන්ට තමන්ට සිදුවූ අයුක්තියට එරෙහි සාධාරණ විනිශ්චයක් නොපමාව ලබාදීමට කටයුතු කිරීමෙන් රටේ බලධාරීන්ට ද ඒ සඳහා සහාය දැක්විය හැකි ය. මේ කටයුතු නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතුව සිදුකෙරෙන්නේ නම් එවිට ශ්‍රී ලංකාව වඩාත් යහපත් රටක් සහ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට නිතැතින් ම පත්වනු ඇත.



අදහස් (4)

සංචාරකයන්ට හිරිහැරකරන නරුමයන් දඬුකඳේ ගහන්න

Pradeep Thursday, 09 July 2020 06:30 AM

තංගල්ල හිටපු නගරාධිපති කළෙත් මේ වගේ අපරාධයක් තමයි. එදා එතන තරුණයා මරලා දැම්මා. එදා රටේ ජනාධිපති වෙලා හිටියේ අද අගමැති. හැබැයි එදා එයාලා මේක වහන්න හැදුවා. අපරාධකරුවන් බේරාගන්න දඟලපු විදිහ අපි දැක්කා.

:       0       138

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 07:03 AM

ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කළ සමහර සංචාරක කාන්තාවන් සිටිනවා.. මෙවන් අයට හිරිහැර කරන්නට ගොස් හොඳ හැටි ඉල්ලන් කාපු දේශීය තරුණයන් සිටිනවා.. ඒ නිසා බොහෝ තරුණයින් සංචාරක කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීමට යාමට බියක් දක්වනවා. මේ කාන්තාවත් එවැනි කෙනෙකු වූවා නම් මේ තරුණයන් ටිකට හොඳහැටි ලැබෙන්නට ඉඩ තිබුණා. එපමණක් නොවෙයි සංචාරකයින්ගේ බෑග්, කැමරා, මුදල් සොරාගෙන දුවන නරුමයන්ද සිටිනවා.. එහෙත්, ඒවා ගැන සංචාරක ව්‍යාපාරය මෙහෙයවන අය එතරම් උනන්දුවක් ගන්නේ නැහැ. තවත් බොහෝ දේ ඇත. මෙවැනි අහිතකර දේ පාලනය නොකොට කෙරෙන සංචාරක ව්‍යාපාරයෙන් රටට වනුයේ අවැඩක්මය. ගොඩක්ම වාහන කරුවන්, ත්‍රීරෝද කරුවන් හා කඩවල, සංචාරකයන් සඳහා මිල ගණන් අය කරනුයේ දෙතුන් ගුණයකින්ය. ඇතැම් සංචාරක මග පෙන්වන්නන් සාප්පු හා කඩවලට ගියවිට අධික මුදලක් කොමිස් ලෙස ඉල්ලීම නිසා වෙළෙඳ සල් හිමියන්ද පත්වනුයේ බලවත් අසීරුතා වලටය. සංචාරකයන් ගසාකන මෙවන් දේ එහි ප්‍රගමනය වෙනුවෙන් වහා නතර කළ යුතුයි. දුම්රියේදී සංචාරකයන් රවටන කාක්කන් රංචු ගණනින් සිටිනු පෙනේ. එහෙත්, ඔවුන් නවතන ක්‍රම නැත්තේය. එහෙත්, සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය ගැන කෙරෙන සුරංගනා කතා නිතර ඇසේ..

:       0       207

upali Thursday, 09 July 2020 12:19 PM

එයාගේ පෙම්වතා ශ්‍රී ලාංකික තරුණයෙකි. බොහෝවිට රුසියාවේ ඉගෙනගන්න ශිෂ්‍යයින් විය හැක. කොරෝනාවලින් බේරෙන්නට ලංකාවට පැමිණියා විය හැකිය. කෙසේනමුත් වැඩේ වැරැදිය.

:       0       2

චමින්ද කුමාරFriday, 10 July 2020 01:17 AM

උපාලි හරි, මොහුගේ පෙම්වතා ලංකාවේ කෙනෙකි. මෙවැනි වැරදි 2015සිට ටික කලක් නැවතී තිබී ආයෙත් පටන්ගෙන තියෙනවා කියලා ඉතාම පැහැදිලියි. පසුගිය කාලයේ ඉතාම අඩුවී තිබූ කසිප්පු වෙළඳාමද දැන් ප්‍රසිද්ධියේම මහාමාර්ග ආසන්නයේම කූඩාරම් ගසාගෙන සිදුකරනවාත් පේනවා. මේක බෞද්ධ රටක් කියමින් පන්සිල් පද දෙකක්ම කැඩීමටද බලධාරියෙක් පසුගිය කාලයේ නයි නැටවීම කලේ කියා අහන්න හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 640 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 832 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site