IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ජනතා සහායක් නැත්නම් සංචරණ නීතිවලින් වැඩක් නෑ

මේ දිනවල රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වෙනවාදැයි සැකයක් මතුවන බවත් එයට හේතුව එම සැකය මතුවන තරමට මිනිස්සු මහ පාරේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ජනතාව අවශ්‍ය කැප කිරීම් නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍යවන කාලය තවත් දීර්ඝ විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

නිර්භය බව හා මුග්ධ බව අතර ඇත්තේ කෙස් ගසක පරතරයකි. නිර්භය බව හා මුග්ධ බව වෙන වෙනම හඳුනා ගැනීමට සියල්ලන්ටම නොහැකිය. ඒ සඳහා දියුණු කළ මනසක් තිබිය යුතුය. අප සමාජයේ එක් පිරිසකට මෙම දියුණු කළ මනස නැත. එහෙයින් ඔවුන්ට නිර්භය බව හා මුග්ධ බව වෙන වෙනම හඳුනා ගත නොහැකිය. එපමණක් නොව මුග්ධ බවම නිර්භය බව ලෙස හඳුනා ගනිති. ලෝක වසංගතයක් ඉදිරිපිට  අවිචාරවත් ලෙස හැසිරෙන්නෝ මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති.

කොරෝනා මාරාන්තික වයිරසයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන්නේ වයිරසයට බිය වීමය. වයිරසයට ප්‍රමාණය ඉක්මවා යන තරමට බිය විය යුතුය. ආරක්ෂා විය හැක්කේ එමගින් පමණි. ආසාදිතයකු නොවී සිටීමට නම් ආරක්ෂා විය යුතුමය. සංචරණ සීමා පනවනු ලබන්නෙත් ඒ වෙනුවෙන්ම විනා අන් යමකට නොවේ. එහෙත් මුග්ධ බව නිර්භය බව ලෙස සලකා කටයුතු කරන පිරිස් සංචරණ සීමා පැනවීමේ අරමුණ හඳුනා නොගනිති. රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන පරිසරයක් නිර්මාණය වී තිබෙන්නේ එහෙයිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ආසාදිතයන් දෙදහසකට ආසන්න  සංඛ්‍යාවක් දිනකට වාර්තාවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය පද්මා  ගුණරත්න මහත්මිය මෙම කොරෝනා රැල්ලෙන් පසුව තවත් රැල්ලක් ඇතිවිය හැකි හෙයින් ජනතාව වගකීම් සහගත ලෙස හැසිරීම වැදගත් බවද අවධාරණය කරන්නීය.

ජනතාවගේ තියුණු අවධානය එම  තත්ත්වය කෙරෙහි යොමුවිය යුතුය. කොරෝනා මාරක වසංගතය පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වීමට අපි සමත්වීමු. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට රජයට හා ජනතාවට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදය පිරිනැමිය යුතුය.  එහෙත් කවර හෝ හේතුවක් මත දෙවැනි රැල්ලක් නිර්මාණය විය. එය නොසැලකිල්ල නිසා හෝ අත් වැරදීමක් නිසා විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් මුළු රටටම වන්දි ගෙවීමට සිදුවිය. දැන් තුන්වැනි රැල්ලක් ඇරැඹී තිබේ. තුන්වැනි රැල්ලට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මරණ බිය රැගෙන ඒමට සමත්ය. මෙම භයානක තත්ත්වය කවදා තුරන් කළ හැකිදැයි කිව නොහැකිය. එමෙන්ම තුන්වැනි රැල්ලෙන් පසුව හතරවැනි රැල්ලක් නොපැමිණේවි යැයි ඒකාන්ත සහතිකයක් නැත. ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි.

කොරෝනා මාරක වසංගතය මෙරට ආක්‍රමණය කර වසර එක හමාරක කාලයක් ගතවී තිබේ. මෙම කාලයට සාපේක්ෂව තමන්ගේ හැසිරීම් කෙසේ  සකසා ගත යුතු දැයි අවබෝධ කර ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත. එහෙත් ඇතැම් අශිෂ්ට පුරවැසියෝ තමන්ගේ ජීවිතයත් තම සමීපතමයන්ගේ ජීවිතත් අනතුරට හෙළමින් කටයුතු කරති. අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා මහ පාරට පිවිසෙන්නෝ ඔවුහු වෙති. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ මුළු රටේම අනාගතය සමගය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අපොස උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි විය. මෙම විභාගවලට දරුවෝ ලක්ෂ ගණනින් ඉදිරිපත් වූහ. එහෙත් ‘‘ශිෂ්‍යත්ව පොකුරක්’’ හෝ ‘‘උසස් පෙළ පොකුරක්’’ බිහි නොවීය. එයට හේතුව එම විභාග විධිමත් ලෙස හා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව පැවැත්වූ හෙයිනි. එම විභාග සාර්ථකව පැවැත්වීම අසිරිමත් ජයග්‍රහණයකි. එමගින් පැහැදිළි වන්නේ විධිමත් ලෙස හා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව කටයුතු කරන්නේ නම් අනවශ්‍ය ප්‍රශ්න මතු නොවන ලෙස එම කටයුතු ජයග්‍රාහීව අවසන් කළ හැකි බවය.

රජයකට කළ හැක්කේ කොරෝනා මාරක වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, උපදෙස් ලබාදීම හා එයට අදාළ යාන්ත්‍රණය සකස් කිරීමය. ජනතාවගේ වගකීම වන්නේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් වලට යටත්ව ක්‍රියා කිරීමය. ජනතාව එම වගකීම නිවැරැදිව ඉටු කරන්නේ නම් මෙම මාරක වසංගතය තුරන් කළ දිනය නුදුරේදීම උදාවනු ඇත.

(***)



අදහස් (0)

ජනතා සහායක් නැත්නම් සංචරණ නීතිවලින් වැඩක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 249 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1128 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site