IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය


රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුකැලේ ගම්මානයේ ජීවත්වන පවුල් 72ක් විදුලිය බලය නොමැති නිසා අන්ත දුෂ්කර ජීවිතයක් ගත කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. විදුලිය බලය නොමැති හෙයින් එම ගම්මානයේ ජීවත්වන සිඟිති, තුරුණු, වැඩිහිටි සියලු පිරිස්වලට කුදු මහත් අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවත් ලාම්පු තෙල් සොයා ගැනීමට නොහැකි වූ විට මුළු ගම්මානයම අන්ධකාරයෙන් වැසී යන බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

21 වැනි සියවසේ ජීවත්වන ශ්‍රී ලංකාව යනු කොළඹ යැයි සිතන ජනතාවට මෙබඳු ගම්මාන රටේ ඇතැයි සිහිනයෙන් හෝ නොසිතෙන්නකි. එහෙත් ඇත්ත තත්ත්වය නම් සංවර්ධනයේ අරුණලු නොවැටුණු අන්ත දුගී හා දුෂ්කර තත්ත්වයට පත් ගම්මාන තවමත් අප රටේ පවතින බවය. ලංකාදීප පුවතින් එබඳු එක් ගමක් රටට අනාවරණය විය.

විශේෂ ප්‍රණාමය පිරිනැමිය යුතු කතාවක් ද ඇත. එනම් කළුකැලේ ගම්මානය සම්බන්ධ අප ප්‍රවෘත්තිය දුටු විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, එතුමාගේ වචනයටම අනුව ‘ඩලස් ගා’ ක්‍රියාත්මක වීමය. තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව යම් ප්‍රවෘත්තියක් වාර්තා වූ විට ඒ සම්බන්ධයෙන් පිරික්සා බැලීමට කමිටු පත්කර එම කමිටු වාර්තාව එනතුරු මාස ගණන් ගත කර, කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමට තවත් මාස ගණනක් ගත කරන අත්දැකීම් ඇති සමාජයක විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීප පුවත පළවූ දිනයේදීම කළුකැලේ ගමට විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දීම අතිශයින්ම පැසසුම් කටයුතුය.

විදුලිබල ඇමැතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඉතාමත් කෙටි කලක් ඇතුළත කළුකැලේ ගම්මානය විදුලියෙන් ඒකාලෝක වනු ඇති බවය. එම ප්‍රකාශය ඉතාම කෙටි කලක් තුළ ජීවමාන යථාර්ථයක් වනු ඇති බව ද ලංකාදීපයේ ඒකාන්ත විශ්වාසය වේ.

කළුකැලේ ගම්මානයේ විදුලිය නොලැබීමේ සිද්ධිදාමය හරහා මෙරට සංවර්ධනයට අදාළව ඇති ප්‍රායෝගික ගැටලු හා බාධා හඳුනා ගැනීමේ ඉඩක් ද විවර වේ. මෙම ගම්මානයට විදුලිය ලබාදීමේ මුල් පියවර තබා තිබෙන්නේ 2017 වසරේදීය. ඒ ඌව උදානය ව්‍යාපෘතිය යටතේය. එහෙත් විදුලි මාර්ගය ඉදිකිරීමට නියමිත මාර්ගයේ ඇති අවහිර ගස් ඉවත් කිරීමට ඒවා පිහිටි මඩොල්සිම වතු සමාගම අකැමැති වීම නිසා එම ව්‍යාපෘතිය 2018 වසරේදී අතහැර දැමීමට සිදුවී තිබේ. කෙසේ වෙතත් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ඉල්ලීම මත අදාළ වතු සමාගම එම ගස් ඉවත් කිරීමට කැමැත්ත පළ කළ ද වෙනත් ප්‍රායෝගික ගැටලු මතුවීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නැත.

විදුලිබල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව කාර්යාලය) ඉංජිනේරු පී.ඩී.බී. රත්නායක මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම ගම්මානයේ පවුල් 72කට විදුලිය ලබාදීම සඳහා ව්‍යාපෘතියක් මෙන්ම ඇස්තමේන්තුගත වටිනාකම පවා සකස් කර ඇති බවයි.

කළුකැලේ ගම්මානයට ඇති ප්‍රවේශ මාර්ගයේ ඇති අබලන් බව භාණ්ඩ ප්‍රවාහනයට බරපතළ බාධාවකි. විදුලිය කණු ඇතුළු අනෙකුත් උපාංග ප්‍රවාහනය පහසු නැත. ඒ සඳහා සුදුසු මාර්ගයක් තිබිය යුතුය. එහෙත් අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එම පාලම් විදුලිය කණු, ට්‍රාන්ස්ෆෝමර හා අනෙකුත් උපාංග රැගෙන යාමට තරම් සුදුසු මට්ටමක නොමැති බවය. මෙම තත්ත්වය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අවධානයට යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

මෙරට සංවර්ධන ක්‍රියාන්විතයේ ඇති අභියෝග ඉහත පරිදිය. මේවා අස්වාභාවික නොවේ. එක් අතකින් බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. ගම වෙනත් තැනකට රැගෙන යාම ප්‍රායෝගික නොවේ. ඒ වෙනුවට කළ යුතු වන්නේ ගමට ඇති ප්‍රායෝගික අභියෝග ජය ගැනීමය. කළුකැලේ ගම්මානයට විදුලිය ඒමට පෙර ඉතා හොඳ මාර්ග පද්ධතියක් ලැබෙන ලකුණු ඇත. ගමක් දියුණු වන්නේ එසේය. මෙම සංවර්ධන ක්‍රියාදාමය එකිනෙකට සම්බන්ධය.

කළුකැලේ ගමට පාර ලැබී විදුලිය ලැබුණ විට ප්‍රවාහන පහසුකම් සැලැසෙනු ඇත. දැනට රාත්‍රියට අන්ධකාරයේ ගිලෙන කළුකැලේ ගම්මානය රටත් සමග සම්බන්ධ වේ. මේ ආකාරයෙන් මේ රටේ දුෂ්කර ගම්මාන හඳුනා ගනිමින් එම ගම්මාන දියුණු කරමින් එම ගම්මානවල ජීවත්වන පුරවැසියන්ට ද සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ සාධාරණ ඉඩක් සකස් කළ යුතුය. එබඳු මහා සංවර්ධන සංග්‍රාමයකට මුල පිරීමේ අනගිතම අවස්ථාව ඩලස් අලහප්පෙරුම මහතාට විදුලිබල ඇමැතිවරයා වශයෙන් හිමිවී තිබේ. මුළු රටම එදෙස බලා සිටින බව අපි අවධාරණය කරමු.

(***)

 



අදහස් (0)

කුප්පි ලාම්පු එළියෙන් දිවිගතකළ ගමට එළිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1288 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site