IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අනවශ්‍ය ගැටලු හදාගත් සහල් මිල ප්‍රශ්නය

සහල් මිල, රජයේ මිල පාලනය, වී මෝල් හිමියන්ගේ මාෆියාව ඇතුළු සහල් මිලට සම්බන්ධ සියලු‍ කතා පසුගිය සති කිහිපය තිස්සේ මෙරට දේශපාලන කරළියේත්, මාධ්‍යවලත් සැර කටගැසුම් බවට පත් වී තිබිණි. හදිසි නීති ප්‍රතිපාදන යටතේ සහල් මෝල් වටකර ගබඩාවල තිබූ සහල් තොග රජයේ භාරයට ගැනීම හේතුවෙන් එම කටගැසුම් තවදුරටත් තෙම්පරාදු විය. එහෙත් අවසානයේ ඒ සියල්ල වෙනස් කරමින් සහල් මිල පාලනයට රජය මගින් ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍රය හකුලාගනු ලැබීය. ඊට පසුව පැය 24ක් ගතවෙද් දී මහා පරිමාණ සහල් මෝල් හිමියෝ වෙළෙඳපොළේ සහල් අලෙවි කරන මිල ගණන් ප්‍රකාශයට පත් කළහ.

සහල් මිල සහ පොහොර මේ රටේ ආණ්ඩු බලයට පත්කළ එසේම බලයෙන් නෙරපා දැමූ ප්‍රධාන සාධක අතරට ගැනෙයි. වෙළෙඳ පොළේ සහල් මිල ගණන් ඉහළ යනවිට ඕනෑම රජයක ඉහමොළ රත්වෙන්නේ මේ හේතුවෙනි. ඉහළ මිල ගණන් යටතේ හෝ වෙළෙඳපොළේ සහල් මිලට ගත නොහැකි තත්ත්වයකට රට පත්වුවහොත් එය දරාගත නොහැකි අර්බුදයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ නිසා මිල කුමක් වුව ද වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වීම වැළැක්වීමට ඕනෑම රජයක් කටයුතු කරයි. සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමට රජය පෙළඹුණේ ඒ හේතුවෙන් බව සිතා ගැනීම අපහසු නැත.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මිල ගණන් අනුව ඉදිරියේදී සහල් මිල ඉහළ යන බව පැහැදිලිය. කෙසේ වුවද පාරිභෝගිකයන් සහ ගොවීන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන අයුරින් තමන් කටයුතු කරන බව ද සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට කිසිදු ඉඩක් නොතබන බවද එම සහල් මෝල් හිමියන්ගේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඉදිරියේ දී පාරිභෝගික ජනතාවට වෙළෙඳුන් තීන්දු කරන මිලට සහල් මිලදී ගැනීමට සිදුවන බව යථාර්ථයයි.

සති ගණනාවක් තිස්සේ ඇදීගිය සහල් මිල ප්‍රශ්නය එතැනින් අවසන් වනු ඇතැයි අපි විශ්වාස කරමු. සහල් නිෂ්පාදකයන්ගේ පාර්ශ්වයේ අදහස් සහ වුවමනා එපාකම් නොසලකා හරිමින් දේශපාලන වශයෙන් පමණක් තීන්දු ගැනීමේ ආදීනව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. සහල් මෝල් හිමියන්ට තම නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳපොළේ මිල තීරණය කිරීමට තිබෙන අයිතියට රජය අත්තනෝමතික ලෙස අභියෝග කිරීම අනවශ්‍ය ගැටලු‍වකට මග පෑදුවේය. රටක සියලු‍ නිෂ්පාදනවල මිල ගණන් තීරණය කිරීමේ වගකීම රජය භාරගන්නේ නම් එවැනි රටක කිසිදු කර්මාන්තයක් වර්ධනය කර ගැනීමට ඉඩක් තිබිය නොහැක. රජය කළ යුත්තේ මිල පාලනය වැනි යල් පැනගිය ආර්ථික පරඬැල්වල එල්ලී සිටිම නොව වෙළෙඳුන් අයුතු ලාබ ලබා ගැනීමක් සිදුකරනවා නම් එය වළක්වා ගැනීමට මැදිහත් වීමය. වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇතිකිරීම මගින් ඕනෑම රජයකට පහසුවෙන් වෙළෙඳපොළ පාලනය කළ හැක.

තමන් සිටිනතුරු හාල් ඇටයක් හෝ පිටරටින් ගෙන්වීමට ඉඩ නොතබන වැනි කතා කියමින් ඇතැම් ඇමැතිවරුන් පාර්ලිමේන්තුව තුළදීත් මාධ්‍ය ඔස්සේත් සිදුකළ ප්‍රකාශ හරසුන් බොල් ප්‍රකාශ බවට පත්ව තිබේ. මහපොළොවේ යථාර්ථය අමතක කර පාරිභෝගික ජනතාවගේ වීරයන් බවට පත්වීමට වෙර දරන එවැනි දේශපාලනඥයන් සරල ප්‍රශ්න පවා සංකීර්ණ ගැටලු‍ බවට පත්කරන බවට ඉතිහාසය පුරාම පෙන්වා දී තිබේ. එහෙත් ලොකුම කරුමය වී ඇත්තේ ඒ ඉතිහාසය වෙනස් කොට නව පාලන ක්‍රමයකට යන බවට ශපථ කර ආණ්ඩුබලය ලබාගැනීමෙන් පසුවද ඇතැම් ඇමැතිවරුන් ඒ පරණ පාරේම යාමට උත්සාහ දැරීමය. වෙනස මෙයදැයි ප්‍රශ්න කරන තරමට මේ ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවද පෙන්වාදීම අවශ්‍යය.

රජය තමන් යා යුතු ගමන්මග මුලින්ම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුකර ඇත්නම් ඒ මග ඔස්සේ යනවා හැර රජයේ මැති ඇමැතීන්ට වෙනත් විකල්පයක් නැත. රටේ පැවැතිය යුත්තේ විවෘත ආර්ථික ක්‍රමයද?, සංවෘත ආර්ථික ක්‍රමයද? යන්න මුලින්ම හඳුනාගත යුතුය. විවෘත, සංවෘත ක්‍රම දෙකට එක මගක යා නොහැක. රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය විවෘත වෙළෙඳපොළ ක්‍රමය නම් මිල පාලන ගැසට් නිකුත් කිරීම ඊට පටහැනි ක්‍රියාවකි. විවෘත ක්‍රමය යටතේ වෙළෙඳුන්ට කතා කර භාණ්ඩ මිල ගණන් අඩුකිරීම කළ නොහැකිය. මේ කිසිවක් පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව කට වචනයෙන් වෙළෙඳපොළ හැසිරවීමට තැත් කිරීම විහිලු‍වකි.

මේ කුමන තත්ත්වයක් යටතේ වුවද වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙන්නේ රටේ පොදු මහජනතාවය. මෙහිදී තමන්ගේ නිෂ්පාදනවලින් මහජනතාව ගසා කමින් විශාල ලෙස ලාබ ගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ යුතුකමය. එය ඔවුන් අතින් ඉටු නොවන්නේ නම් අවශ්‍ය පියවර ගැනීම රජයේ වගකීමකි. සහල් වෙළෙඳුන් මාෆියාවක් ඇතිකර රටේ ජනතාව ගසා කන බවට චෝදනා නැගීමෙන් පමණක් ගැටලු‍ විසඳෙන්නේ නැත. සහල් මිල ප්‍රශ්නය විසඳී ගිය ආකාරය පෙන්වා දෙන්නේ එම කටුක යථාර්ථයයි.

(***)



අදහස් (0)

අනවශ්‍ය ගැටලු හදාගත් සහල් මිල ප්‍රශ්නය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site