1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපමතය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.


1971 අප්‍රේල් 05 දින අලුයම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිසියට එල්ල කරන ලද ප්‍රහාරයත් සමග ඊනියා නිදහසින් පසු ලංකාවේ සිදුවූ පළමු සන්නද්ධ නැගිටීම ආරම්භ විය. එය ලංකාවේ ධනේශ්වර පාලනයට එරෙහිව එල්ල කළ පළමු නිර්ධන පංතික සන්නද්ධ ප්‍රහාරය ලෙසද ඉතිහාස ගතව ඇත. 71 සන්නද්ධ නැගිටීම ආරම්භ වූයේම දුර්වලතා රැසක් සමගය. සමහර දුර්වලතා එදා පැවති තත්ත්වය තුළ නොවැළැක්විය හැකි ඒවා වූ අතර සමහර දුර්වලතා කල්ලිවාදයන් විසින් නිර්මාණය කළ ඒවා විය. 1971 අප්‍රේල් 05 දින අලුයම වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරය සන්නිවේදන දුබලකමේ ප්‍රතිඵලය විය. අප්‍රේල් 05 දින අලුයම වැල්ලවාය පොලිසියට පහරදීමත් සමග රටේ පොලිස් ස්ථාන සීරුවෙන් තැබීමට ආණ්ඩුවට අවස්ථාව ලැබුණි. ඒ නිසා 05 වැනිදා රාත්‍රි රට පුරා අනෙක් ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ගිය අයට සිදුවූයේ ප්‍රහාරයකට සූදානමින් සිටි පොලිසියේ ප්‍රතිප්‍රහාරයන්ට මුහුණදීමටය. මෙය නැගිටීමේ ආරම්භයේදීම ව්‍යාපාරය බරපතළ දුෂ්කරතාවකට පත් කිරීමට හේතුවිය.

 

1971 සන්නද්ධ නැගිටීම පිළිබඳවත් එකී නැගිටීම් තුළ සිදු වූ විවිධ සිදුවීම් හා ක්‍රියාකාරකම් පිළිබඳවත් එම නැගිටීමේදී පුද්ගල දායකත්වයන් සිදුවූ ආකාරය ගැනත් විවිධ කතා පැතිර තිබේ. ඉන් බොහෝමයක් එක් එක් පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික දෘෂ්ටිවල සිට සිය පෞද්ගලික ප්‍රතිරූප රැකගැනීම සඳහා පැවසූ හා පවසන කතාය. තම වගකීමෙන් නිදහස්වීම සඳහා පැවසූ අසත්‍යයන් හා අර්ධ සත්‍යයන්ගෙන්ද මේ තොරතුරු පිරී පවතී. ඊට අමතරව රජයේ බලධාරීන් හා විරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් එකතු කළ අසත්‍ය කරුණු හා විකෘති කිරීම්වලින්ද අප්‍රේල් අරගලය ගැන පළවූ තොරතුරු පිරී පවතී. එම ඕපාදූප හා විකෘති කළ තොරතුරු පසෙක තබා අරගලයේ පොදු කරුණු වෙත මාක්ස්වාදී දෘෂ්ටියකින් බැලීම අපේ වගකීම වී තිබේ.


1971 අප්‍රේල් සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ පිරිස ක්‍රමවත් අවි පුහුණුවක් හෝ දිගුකාලීන සටන් පුහුණුවක් ලැබූ අය නොවූහ. එවැනි ක්‍රමවත් අවි පුහුණුවකට එම වකවානුවේ ඉඩක්ද නොවීය. එබැවින් ප්‍රහාරය සඳහා සම්බන්ධ වූ බොහෝ දෙනාට තිබුණේ අවි හැසිරවීම පිළිබඳ සරල දැනුමකි. එමෙන්ම යුද විද්‍යාව ගැන හෝ යුද්ධයේ කලාව පිළිබඳව ද ඔවුනට දැනුමක් තිබුණේ නැත. එසේම මෙම තරුණයන් ප්‍රහාරය සඳහා භාවිතා කළ අවිද ඉතාම ප්‍රාථමික වර්ගයේ ඒවා විය. එකතුකරගත් පතොරම් තුවක්කු හා තමන් විසින් නිමවා ගත් අත්බෝම්බ ඔවුන්ගේ අවි විය. ඒවා ක්‍රියාකාරිත්වය අතින් ඉතාම දුර්වල බව අරගලයේ සිදුවීම්වලින් සනාථ විය.
ඒ කෙසේ වෙතත් ඔවුන් සතුව තිබූ ධෛර්යය, අධිෂ්ඨානය, සටන්කාමීත්වය හා කැපකිරීම ඉතාම ඉහළ මට්ටමක පැවතිණි. පටු අරමුණු තිබූ ලොකු අතුල වැනි කීපදෙනෙක් හැර අන් සියල්ලෝම පොදු අරමුණක් වෙනුවෙන් එනම් මානව වර්ගයාට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා දිවි පිදීමට ඉදිරිපත්වූ සැබෑ මිනිස්සු වූහ. මනා යුද පුහුණුවකින් තොරව ප්‍රාථමික අවි අත දරා සිටියද පළමු ප්‍රහාරයෙන්ම සටන තුළ වීරත්වයේ හා පරිත්‍යාගයේ සලකුණු තැබීමට ඔවුහු සමත් වූහ. මනාලෙස පුහුණුවූ හොඳින් ආයුධ සන්නද්ධව සිටි රාජ්‍ය යන්ත්‍රයට එරෙහිව සටන් වදිමින් ඔවුහු සිය සටන්කාමීත්වය හා ධෛර්ය ප්‍රදර්ශනය කළහ. එය සතුරා විස්මයට පත්කිරීමට තරම් සමත් සටන්කාමීත්වයක්, කැපකිරීමක් හා වීරත්වයක් විය.


රජයේ නිල වාර්තාවලට අනුව 1971 අප්‍රේල් 05 ප්‍රහාරය ආරම්භ කරමින් තරුණ පිරිස් රට පුරා පොලිස් ස්ථාන 92 කට පහරදී තිබිණි. ඉන් 57කට හානි සිදුවූ අතර පොලිස් ස්ථාන 05ක් යටත්කර ගැනීමට සටන්කාමීහු සමත්වූහ. ඒවා නම්, දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම හා වරකාපොල පොලිස් ස්ථානයන්ය. එක් දිනක රට පුරාම එකවිට එල්ලවූ ප්‍රහාරය බරපතළ වූයෙන් සිය ආරක්ෂාව පතා උපක්‍රමිකව පසුබැසීමට සමහර පොලිස්ථානවලට සිදුවිය. ඒ අනුව පොලිස් ස්ථාන 43 ක් අතහැර තාවකාලිකව පසුබැසීමට පොලිසියට සිදුවිය.


රටපුරා පොලිස් බලප්‍රදේශ 35 ක පාලනය සටන්කාමී තරුණයන් අතට පත්විය. විශේෂයෙන්ම කතරගම, දෙනියාය, වරකාපොල, ඇල්පිටිය වැනි ප්‍රදේශ දින කිහිපයක් සටන්කාමීන් අතට පත්ව පැවතිණි. ඉනුත් විශේෂය වූයේ ඇල්පිටියයි. ඇල්පිටිය ප්‍රදේශය සතියක පමණ කාලයක් සටන්කාමීන්ගේ පාලනය තුළ පැවති අතර ගස් කපා දමා මාර්ග හරස්කර පවත්වාගෙන ගිය මෙම පාලනය එකල හැඳින්වූයේ කොටං ආණ්ඩුව නමිනි.
බරපතළ දුර්වලකම් මැද වුවද අප්‍රේල් අරගලයේ පළමු ප්‍රහාරය විසින් ආණ්ඩුව බරපතළ අභියෝගයකට ලක්කරන ලදී. සමහර ස්ථානවල ප්‍රහාරය අසාර්ථක වුවත් බොහෝ පොලිස් බල ප්‍රදේශවල පාලනය සටන්කාමී තරුණයන් අතට පත්වීමත් සමඟ සිය ප්‍රාදේශීය පොලිස් ස්ථාන අතහැර මූලස්ථානවලට පසු බැසීමට සමහර පොලිසිවලට සිදුවිය. මෙය ආණ්ඩුවේ තත්ත්වය අභියෝගයට ලක් කිරීමක් විය. තත්ත්වයේ බරපතළකම වටහාගත් ආණ්ඩුවට මෙම නැගී සිටීමට තනිව මුහුණදිය නොහැකි නිසා ලෝකයේ වෙනත් රටවලින් ආධාර ඉල්ලා සිටියේය. සිරිමා බණ්ඩාරනායක අගමැතිවරියගේ සමගි පෙරමුණු ආණ්ඩුව තරුණ නැගිටීම මුළුමනින්ම මැඩපැවැත්වූයේ විදේශවලින් ලැබුණු යුදමය ආධාරවල පිහිටෙනි.


නැගිටීම ඇරඹීමත් සමඟ ආණ්ඩුව ලොව සෙසු රටවලින් කළ ඉල්ලීමට අනුව රටවල් 14 ක් පමණ ලංකාවට යුද ආධාර දීමට ඉදිරිපත් විය. එම රටවල් අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, ඉන්දියාව, පකිස්ථානය, චීනය, යුගෝස්ලෝවියාව, මිසරය, බි්‍රතාන්‍යය වැනි රටවල් පෙරමුණේ විය. ඇමෙරිකා එක්සත් ජනපදය ලංකාවේ ආණ්ඩුවට බෙල් හෙලිකොප්ටර් යානා ලබාදුන් අතර සෝවියට් දේශය මිග් ප්‍රහාරක යානා ලබාදුණි. චීනය අවි රැසක් හා ීඋඎඊ යන අකුරු සහිත යුද බෝට්ටු 5 ක් ලබාදුන් අතර යුගොස්ලෝවියාව මවුන්ටන් ආටිලරි නම් කාලතුවක්කු ලබාදුණි. ඉන්දියාව විසින් අවි රැසක් ලබාදුන් අතර ඉන්දියානු ගුර්කා සේනාංකයක් ලංකාවට එවීමට සූදානම් කර තබන ලදී. මෙසේ විදේශවලින් ලද යුදමය, මූල්‍යමය හා දේශපාලනමය ආධාර වලින් ශක්තිමත් වූ ආණ්ඩුව 1971 අප්‍රේල් නැගිටීම මුළුමනින්ම පරාජය කිරීමට කටයුතු කළේය.
1971 අප්‍රේල් නැගිටීම දින කිහිපයක් ඇතුළත පරාජය වන විට පොලිසිය හා හමුදාව තරුණ තරුණියන් 10,000 ක් පමණ මරා දමා තිබුණු අතර 20,000 ක් පමණ සිරගෙවල්වල ගාල් කරන ලදහ. මෙලෙස මරා දැමුවන්ගෙන් සටනේදී මියගොස් තිබුණේ. ඉතාම සුළු ප්‍රමාණයකි. සාතිශය බහුතරය මියගියේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විවිධ හිංසාවලට භාජනය කොට මරා දැමීම නිසාය. මෙහිදී ආණ්ඩුව අත්අඩංගුවට පත්වූවන් ඝාතනය කොට පොදුවේ යුද නීතිය ද උල්ලංඝනය කළ අතර මරා දැමූවන් ගංගාවල පා කර හරිමින් හා මහමග පුලුස්සා දමමින් තම ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කළේය. ටයර් එකයි, තෙල් ගැලුමයි, දර සෑය ලංකාවට හඳුන්වා දුන්නේ, සමගි පෙරමුණු ආණ්ඩුවය.


අත්අඩංගුවට පත්වූවන්ට වධදී මරා දමමින් තරුණියන් දූෂණය කරමින් ආණ්ඩුව එහි ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරද්දී අරගලයට දායක වූ ජවිපෙ තරුණ පිරිස් සටන තුළ සිය වීරත්වය ප්‍රදර්ශනය කළහ. මරණය ඉදිරියේ නොසැලී හඬා නොවැටී, ජනතාව වෙනුවෙන්, තමන් විශ්වාස කළ දේශපාලන දර්ශනය වෙනුවෙන් භක්තියෙන් මරු වැලඳගත් සැබෑ මිනිසුන්ගෙන් 71 අරගලය පිරී ඇත්තේය.

 

 

1971 අප්‍රේල් 05 දින වැනි ඇරඹි තරුණ නැගිටීම දින කීපයක් තුළ මුළුමනින්ම පරාජය කර දැමීමට පාලක පංතිය සමත්විය. ඒ සියලුම දෙස් විදෙස් ප්‍රතිගාමීන්ගේත් අවස්ථාවාදීන්ගේත් සහයෝගය සහිතවය. මෙම අරගලය අගනා පාඩම් රැසක් ජනතාවට උගැන්විය. 71 අප්‍රේල් නැගිටීම මර්දනය කිරීමේදී එවකට විපක්ෂයේ සිටි එජාපය සමගි පෙරමුණු ආණ්ඩුවට තම උපරිම සහාය පුද කළේය. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ නායකයාව සිටි ජේ. ආර්. ජයවර්ධන එහිදී ප්‍රමුඛත්වය ගත්තේය. තම පංති පාලනයට නිර්ධන පංතිය පැත්තෙන් එල්ලවන ඕනෑම අභියෝගයකදී තාවකාලික ප්‍රතිවිරෝධයන් පසෙකලා ධනේශ්වර පංතිය සමගි වන්නේ කෙසේද යන්න මෙහිදී කදිමට පැහැදිලි විය.


එසේම මෙම අරගලයේදී ලංකාවේ පැරණි වමේ අවස්ථාවාදී පක්ෂ ද තරුණ නැගිටීම මර්දනය කිරීම සඳහා ධනේශ්වර ආණ්ඩුවට උපරිම සහාය ලබාදුන්නේය. එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එහි සාමාජිකයින්ගෙන් සමන්විත රෙඞ් බි්‍රගේඞ් නම් ස්වේච්ඡා කණ්ඩායම් ගොඩනගා පොලිසි ආරක්ෂා කිරීමටත් ගම්වල සිටින ජවිපෙ සාමාජිකයින් පොලිසියට අල්ලා දීමටත් යෙදෙව්වේය. ලංකා සම සමාජ පක්ෂය ද භීඍ (හංස හමුදාව) නමින් ස්වේච්ඡා කණ්ඩායම් ගොඩනගා ආණ්ඩුව රැකීමට යෙදවිය. රතු පොරවාගෙන වමේ සටන්පාඨ කියමින් සිටියද තීරණාත්මක මොහොතේදී අවස්ථාවාදය තම නියම ස්ථානය වූ ධනපති ක්‍රමය තෝරාගන්නා බවට වන ලෝක අත්දැකීම් සමුදායට ලංකාවෙන්ද අත්දැකීම් එකතු කෙරිණි. මෙය යළිත් අපට 1988 - 1989 කාලයේදී දැකගත හැකිවිය.


පාලක පන්තියත් අවස්ථාවාදීනුත් එක්ව අරගලය පොඩිපට්ටම් කරනවිට, අරගලය පරාජයට පත්වන විට ඕනෑම පරාජයකදී මතුවන දේශපාලන යථාර්ථය මෙහිදීද මතුවිය. ඒ පාවාදෙන්නන් හා ද්‍රෝහීන් බිහිවීමය. ජීවිතය තෝරාගැනීමේ ආශාව, විප්ලවය පිළිබඳ විශ්වාසය බිඳවැටීම වැනි හේතු මත මෙම ප්‍රවණතාවය බිහිවේ. 1971 දීද ලොකු අතුල ඇතුළු විශාල පිරිසක් දැනුවත් ද්‍රෝහීහු හා පාවාදෙන්නෝ බවට පත්වූහ.


ඒ අතරම මෙම අරගලය විසින් වීරයන්ද බිහිකරන ලදී. 1971 අරගලයේදී සටන් වැද දිවිපිදූ බොහෝදෙනා අදහාගත නොහැකි තරමේ සටන්කාමීත්වයක්, නිර්හිතබවක් හා වීරත්වයක් පෙන්වූහ. ඒ සඳහා ඔවුනට උපකාරී වූයේ ඔවුන්ගේ ආධ්‍යාත්මය තුළ තිබූ අචල විශ්වාසයයි. මරණය ඉදිරියේ දණින් නොවැටී සැබෑ වීරයන් ලෙස දිවි පිදූ අය අතර කිහිපදෙනෙකුගේ නම් අපට සිහිපත් කළ හැක.


1971 අරගලයෙන් පසු පැවති නඩු විභාගයේදී රෝහණ විජේවීර සහෝදරයා විසින් ඉදිරිපත් කළ ලිඛිත සාක්ෂිය පාදක කර ගනිමින් පසු කලෙක මුද්‍රණය කරන ලද අප මරා දැමුවද අප නගන හඬ සදා නොමියෙනු ඇත නම් කෘතියේ මේ පිළිබඳව රෝහණ විජේවීර සහෝදරයා සිය වචනවලින්ම මෙසේ විස්තර කර තිබේ. කිරින්ද ගොවිපොළේ සිටම මා සමග ළඟින් ඇසුරු කළ දොඩංගොඩ කමල බන්දු සහෝදරයා බද්දේගම පොලිසිය විසින් දැව ඉරන විදුලි කියතකින් ටිකින් ටික ඉරමින් පාපෝච්චාරණයක් කරන ලෙස බල කරද්දී මරණය තෝරාගත් බව තවදුරටත් රහසක් නොවේ. උණගස්වෙල අනුර සහෝදරයා වැල්ලවාය පොලිසියේ අලුගෝසුවන් ඉදිරියේ සදාචාරාත්මක වැහැරීම ප්‍රතික්ෂේප කර වධ වේදනා විඳ මරණය තෝරාගත් බව තවදුරටත් රහසක් නොවේ. නොච්චියාගම රත්නායක සහෝදරයා පාපෝච්චාරණය ප්‍රතික්ෂේප කරමින් බාගෙට මරණ ලදුව පොලිස් ජීප්රියේ බොනට්ටුව මත වෙඩිවැදී දිගාවී සිටගෙන ජනතා විමුක්ති පෙරමුණේ ගීතය දුබල හඬින් ගයමින් සදාචාරාත්මක වැහැරීම ප්‍රතික්ෂේප කර මරණය තෝරාගත් බව අනුරාධපුර වාසීහු හොඳින් දනිති. තෙල්දෙනියේ සිසිර වීරකෝන් සහෝදරයා පොලිස් මිනීමරුවන් ඉදිරියේ පාපෝච්ඡාරණයන් ප්‍රතික්ෂේප කරමින් නත්තරම්පොත පාලම උඩින් වෙඩිකා ගඟට වැටී මරණය තෝරාගත් බව උඩරට වැසියෝ දනිති. වැලිගම ගමගේ සහෝදරයා පාපෝච්ඡාරණය ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට වැලිගම පොලිසිය පිටුපස සිය දෑතින්ම හාරන ලද මිනී වළක අවසන් නින්දට යාම තෝරාගන්නා ලදී. 

 

 

දික්වැල්ලේ පොල්ගහමුල්ලේ සුරවීර සහෝදරයා ඔහුගේ ඇටකටු කුඩුකර තිබියදීත් සදාචාරාත්මක වැහැරීම ප්‍රතික්ෂේප කර මරණය තෝරාගත් බව දික්වැල්ල ප්‍රදේශවාසීන් නොදන්නවා නොවේ. තංගල්ලේ ගොඩවාන්ගොඩ සනී ආරියතිලක සහෝදරයා බළංගොඩ පොලිසියේ මිනීමරුවන් හමුවේ සදාචාරාත්මක වැහැරීම ප්‍රතික්ෂේප කර වචනයක්වත් කථා නොකර සියලු වධවේදනාවලට පසුව ඇල්ලෙපොළගේ සටන් පාඨයක් කියමින් වෙඩිකෑ අයුරු බළංගොඩ ප්‍රදේශයේ ජනතාව හොඳින් දනී. ඒ සටන තුළ වීරත්වය පෙන්වූ තම සගයින් ගැන රෝහණ විජේවීර සහෝදරයා පැවසූ වදන්ය. කතරගම ප්‍රේමවතී මනම්පේරි සොයුරියද මෙලෙස මරාදැමූ අය අතර වූවාය.


1971 අප්‍රේල් නැගිටීම මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඝාතනයන්ගෙන් පසු ඇරඹුණේ, සිරගත කිරීම් හා දියකර හැරීමේ ක්‍රියාවලියයි. මෙම අරගලයේදී 10,000 ක් පමණ ඝාතනයට ලක්වූ අතර 20,000 ක් පමණ සිරගත කරනු ලැබූහ. ඔවුනට ද බොහෝ වධ හිංසා පමුණුවා තිබිණි. තරුණියන්ට ලිංගික වධ හිංසා පමුණුවා තිබිණි. අත්අඩංගුවට ගනු ලැබූ මේ පිරිස රටපුරා සිරගෙවල්වලටත් ඒවා ඉඩ මදි නිසා එළිමහන් සිරකඳවුරුවලටත් ගාල් කරන ලදහ. විද්‍යෝදය, විද්‍යාලංකාර ආදී විශ්වවිද්‍යාල එළිමහන් සිරකඳවුරු බවට පත්කරන ලදී. ඉන්පසු දුර්වලයින් දිනාගැනීමේ දියකර හැරීමේ මතවාදී යුද්ධය කඳවුරු තුළ දියත් කරන ලදී. ඒ සඳහා අනුර බණ්ඩාරනායක හා කුමාර් රූපසිංහලා මැදිහත් වී ජන වේගය නම් සංවිධානයක්ද ගොඩනගා ඒ මගින් සිරගෙවල් තුළ සිටි අය ජවිපෙන් ඉවත්කර වෙනත් මතවාදයන්ට ඇද ගැනීමට කටයුතු කරන ලදී. සිරගෙවල් තුළම සිටි ඒ වන විටත් කණ්ඩායම්වාදය හා පාවාදීම් නිසා ජවිපෙට හතුරු වූවෝද මේ සඳහා ආණ්ඩුවට විශාල සේවයක් කළහ. එය ඉතාම සංකීර්ණ තත්ත්වයක් විය.


විශේෂයෙන්ම අරගලයේ පරාජයෙන් පසු පරාජය පිළිබඳ විවිධ නිර්මාක්ස්වාදී මත පැතිරෙන්නට විය. එය සංවිධානයට විශාල හානියක් කරන ලදී. මෙම තත්ත්වය අප්‍රේල් අරගලයට විශේෂ වූවක් නොවේ. විප්ලවීය අරගල හා විප්ලවවාදී ව්‍යාපාර ලබන ඕනෑම පරාජයකදී ඕනෑම පසුබෑමකදී මෙවන් කාලපරිච්ජේදයන් උදාවේ. ඒ ගැන වරක් ලෙනින් පවසා තිබුණේ “විප්ලවය ජයග්‍රහණයන්ගේ සිට පරාජයන් දක්වා හදිසි නැම්මක් ගත් සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව ව්‍යාජ වාක්‍යාංශ පිළියෙල වීමේ කාලපරිච්ජේදයක් පැමිණෙන්නේය. එය විප්ලවීය ව්‍යාපාරයන්ට ඉමහත් හානියක් ගෙන දෙන්නේය” යනුවෙනි. ඒ අනුව 71 පරාජයෙන් පසු වකවානුවේ පක්ෂය තුළ මතුවූ විවිධ මතවාදී හා සංවිධානමය ප්‍රවණතා කල්ලි කණ්ඩායම්, පාවාදීම්, හැරයාම්, අකර්මණ්‍යවීම් ආදී සමස්තය පක්ෂයට හානිකළ අතර පක්ෂය යළි පන්නරය ලබා හැදී වැඩුණේද එම දුෂ්කරතාවයන් තුළමය.

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්