දේශපාලනයේදී සදා සතුරන් හෝ මිතුරන් නැත. මොන වාදයෙන් ස්ථාපිත වුවත් දේශපාලනය ක්‍රියාත්මක වන යම් කාල පරිච්ජේදයක් ඇද්ද. දේශපාලකයන් ආරම්භයේ සිටම අනුගමනය කෙරුණු හා කෙරෙන ගෙඹි ප්‍රතිපත්තිය නොතකා සුපුරුදු දේශපාලන පිමි දේශපාලනය ලොවින් තුරන් වෙන තුරුම නතර වෙතැයි කිසිසේත්ම සිතිය නොහැක.


සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඩොමීනියන් තත්ත්වයෙන් දේශපාලනමය නිදහස ලැබූ මෙරට මහ මැතිවරණවලින් ආණ්ඩු පිහිටුවාගෙන බලයේ සිටි ඩී. ඇස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ යන රජයන්වලින් සමහර ඇමැති හා මැතිවරුන්ගේ මෙම ගෙඹි පිම්ම සමහරුන්ට ශෝක ජනක මෙන්ම තව සමහරුන්ට ප්‍රිති ජනක සෙල්ලමක් වූ අතර පක්ෂ අනුව ඔවුන් බලයට පත් කළ ඡන්ද දායකයින්ට එය මහම පිළිකුලක් හා පාවාදීමක් විය. එකම මල්ලේ එකට ලුණු කා ඇතිවී ඇඹුල් සොයා ගිය ඇඹුලන්ට එම දෙකින්ම කෙරෙන්නේ රස නහර පිණවීමට වඩා දිව හාරා යෑමක් බවට අවබෝධවන්නේ අලුත් තැන පැළපදියම් වීමෙන් පසුව කෙණෙහිලිකම් විඳින්නට සිදුවූ තැනේදීය.


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නවසිය පනස් එකේදී ඩී. ඇස්. ගේ කරට උඩින් ගෙඹි පිම්ම පැන විරුද්ධ පක්ෂයේ වාඩිවෙද්දී විපක්ෂය සිතුවේ ඩී. ඇස්. ගේ රජය බිඳවැටෙන්නට තරම් වන සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ඔහු අනුගමනය කරනු ඇත කියාය. එහෙත් ජයවීර කුරුප්පු, ඩී. ඇම්. රාජපක්ෂ, බර්නාඞ් අළුවිහාරේ යන එක අතක ඇඟිලිවලින් ගණන් කළ හැකි ඉස්ගෙඩියන් අතළොස්සක් හැරෙන්නට සැලකිය යුතු පිරිසක් එහි නොවීය.


සමාන ආසන සංඛ්‍යාවක් ඇතුව සිටියද නවසිය පනස් දෙකේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, විරුද්ධ පක්ෂයේ නායක කම බණ්ඩාරනායකට පැවැරුවේ තමන්ට වඩා මුවහත් කමක් ව්‍යක්ත කථිකත්වයක් ඔහු සතුව පැවැති බැවින් ඩඞ්ලි මේඞ්න් ඕවර් කිහිපයක් යවා ඔහුව දේශපාලන පිටියේ අසරණ තත්ත්වයට පත් කරවමින් දැවී යන්නට සැලැස්වීමටය. එහෙත් බණ්ඩාරනායකගෙන් එවන් තදබල වාග් ප්‍රහාරයක් එල්ල වූයේ නැත. ලංකා ජාතික සංගමය සමග එක්වී ඩී. ඇස්. ගේ සහජ දේශපාලන බුද්ධියෙන් තමා ලැබූ දේශපාලන පන්නරය පිළිබඳව යම්තාක් දුරට හෝ කෘතගුණ සැලකීමක් තියා එසේ වීමටද බැරි කමක් නැත. එකට කෑ ලුණුවල රසය අලුතින් දිව ගෑ ඇඹුල් රසයෙන් එක්වරම දියවී නොයෑම ද ඊට බලපාන්නට ඇත. සෙවල ප්‍රතිපත්තිවලින් ගහන බවට ඇතැමුන් හැඳින්වුවත් බණ්ඩාරනායකගේ පෙනුණු එම ප්‍රතිපත්තිය නම් සෙවල නැති අරටු ප්‍රතිපත්තිය කැයි සමහර ගුණ ගරුකයෝ පවසති.
බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිබඳව විවේචනාත්මක නව විග්‍රහයක යෙදෙන ලේඛක සිසිර කුමාර මාණික්ක ආරච්චි සඳහන් කරන්නේ බණ්ඩාරනායක මුල සිටම හර්තාලය වැනි ගැටුම්වලට හිත යටින් අකමැති බවත් හැලහැප්පෙන කලබල ඇතිවන එවැනි දේශපාලන ගැටුම්වලින් හැකි තරම් ඇතිවී නිවී සැනසිල්ලේ ඉන්නට කැමැති බවත්ය.


1953 අගෝස්තු 12 වැනිදා රට පුරා හර්තාලයක් පැවැත්වී ආණ්ඩුව දෙදරා ගොස් එවකට සිටි අගමැතිවරයා (ඩඞ්ලි සේනානායක) අස්වී හර්තාලය නිමවී හරියටම දෙමාසයක් පිරුණු දවසේ එනම් 1953 ඔක්තෝබර් 12 වැනිදා ඩඞ්ලි සේනානායක අස්වීමෙන් පසු සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය පදවිය භාර ගත් බව කාටත් මතක ඇත. එදා සර් ජෝන් කොතලාවල තම ඇමැති මණ්ඩලය තෝරා අවසන් කර එය ප්‍රකාශයට පත් කරනතුරු බණ්ඩාරනායක මහතා සිය නිවසෙන් පිට නොගොස් ගෙදරම රැඳී සිටියේ යැයි සිසිර කුමාර මාණික්ක ආරච්චි සාගරයක් මැද අමන රටක් ඇත යන තම කෘතියෙන් තවදුරටත් අනාවරණය කර ඇත.


දේශපාලනයට බට පුද්ගලයෙකු ලද දෙයින් පමණක් සෑහීමකට පත් වන්නේ නැත. තමා හාපුරා කියා අඩිය තැබුවේ පහළම අඩියට බැව් අවබෝධ කර ගන්නා ඔහු පෙරට තබා ඉස්සූ පය නැවත ඔසවන්නේ ඉහළින් ඇති පඩිය මත තබන්නටය. එය ඉටුකර ගැනීමට නොගන්නා වෙහෙසක් නොමැති අතර තම මුළු සේසතම ඒ සඳහා වැය කිරීමට වුවද ඔහු පසුබට වන්නේ නැත. එම ඉලක්කය සපුරා ගැනීමට ඇතිවන ඕනෑම බාධකයක් වෙතොත් එය මග හරවා හෝ විනාශ කර හෝ ප්‍රස්තුත ඉලක්කය කරා යෑම ඔහුගේ එකම අභිප්‍රායය.


එයද පෘථග්ජන ආශාවකි. මෙදෙස පමණක් නොව විදෙස පවා බොහෝ පාලකයන් සිංහාසනාරූඪවී ඇත්තේ බොහෝ විට ඒ සඳහා ලේ ගංගා තරණය කිරීමෙනි. රාජාණ්ඩු කාලයේ සිටම ඉතිහාසය පුරා දිවෙන එවැනි වෘත්තාන්ත බොහෝය.


මෑත කාලයේදී ද රාජාණ්ඩු බිම හෙළා සාමාන්‍ය පුද්ගලයන් බලයට ඒමත් ජන සම්මතවාදී ආණ්ඩු පෙරළා ඒකාධිපතියන් බලයට ඒමත් ඉතිහාසගතවී ඇත.


බණ්ඩාරනායක අගමැති වී වසර තුනක් පමණ ගිය තැන අපේ රටේද එවන් රහස් දේශපාලන කුමන්ත්‍රණයක් ඇතිවිය. කැබිනට් රැස්වීමකදී මුලසුන හෙබවූ අගමැති බණ්ඩාරනායකට එවූ අධිපෝෂිත කිරි වීදුරුව, වෙනත් ඇමැති සගයෙකුට මාරාන්තික පානයක් වූයේ හාවාට නොවැදී හීය කොහේ දෝ තිබූ පඳුරට වැදීම නිසාය. ඊට පාදක වූයේ නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඇමතීම සඳහා යෑමට නියමිත බණ්ඩාරනායක මහතා වෙනුවට වැඩ බලන නායකයා වශයෙන් පත් කිරීමට කතිකා කරගෙන තිබූ පුද්ගලයා එම පදවිය ස්ථිරවම තමා සතු කර ගැනීමට තිබූ ආශාව යයි කියති.


තනතුරු ලබා ගැනීමට දැරීමට ඇති ලෝභකම මීට වඩා නිදසුන් අවශ්‍යද?
දේශපාලන පක්ෂවලට බෙදීම කුමක් වුවත් මතවාද පරස්පර වුවත් පරාජය වූ පුද්ගලයන්ට අවශ්‍ය වුවහොත් පවතින රජයේ පදවි පට්ටම් පිරිනැමීම ඇමෙරිකා, බි්‍රතාන්‍ය වැනි රටවල බොහෝ දුරට දක්නට ලැබේ.


එහි ඉතා මෑත සිදුවීම නම් ඉකුත් ජනාධිපතිවරණයක අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වැදුණු බැරක් ඔබාමා හා හිලරි ක්ලින්ටන් දෙදෙනාගෙන් බැරක් ඔබාමා ජයගත් ඉක්බිති, තම ප්‍රතිමල්ලව හිලරි ක්ලින්ටන් තම රජයේ රාජ්‍ය ලේකම්වරිය වශයෙන් පත් කර ගැනීමය.


අපේ රටේ ද සිරිමා රජය සමග එක්වී කටයුතු කරන ලෙසට එජාප උපනායක ජේ. ආර්. ජයවර්ධන ඩඞ්ලි සේනානායකගෙන් ඉල්ලීමක් කර තිබුණි.


මෙනයින් බලන කල 1953 සර් ජෝන් අගමැති වශයෙන් දිවුරුම් දී කැබිනට් මණ්ඩලය සකස් කිරීමේදී දේශපාලන වශයෙන් මතභේද ඇති වුවත් තම අභිමතය පරිදි ඕනෑම ප්‍රතිපාක්ෂිකයෙකු ඇමැති සගයෙකු කර ගැනීමේ බාධාවක් ඔහුට නොතිබුණි.
දේශපාලන ක්ෂේත්‍රයේ රජ කකුලක් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රටේ එවකට පැවැති දේශපාලන නැම්ම හා හුළං හමන අත පිළිබඳ අවබෝධයකින් ඇස් කන් යොමා හුදකලාවී විමසිල්ලෙන් පසුවූයේ යටිසිත එක්තරා අරමුණකට යොමුවී තිබූ බැවිනි.


එහෙත් සිංහලේ පත්‍රයේ උප කතුවරයෙකු වශයෙන් එහි අයිතිකරු වන බණ්ඩාරනායක මහතා සමග සමීපව සේවය කරන්නට ලැබුණු සිසිර කුමාර මාණික්ක ආරච්චි බණ්ඩාරනායකගේ හුදකලා කල්පනාව එළියට ඇදගත්තේ මෙසේය.


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එදා ගෙදරටම වී සිටියේ අලුත් ආණ්ඩුවේ ඇමැති පදවියක් භාර ගන්නා මෙන් සර් ජෝන් කොතලාවල මහතා තමාට ආරාධනා කරනු ඇතැයි ඔහු බලාපොරොත්තුව සිටි නිසාය.


සෑහෙන කලක් ඉතා ළඟින් යමෙකු ඇසුරු කිරීමේදී ඔහුගේ සිතුම් පැතුම්, ගති පැවතුම්, කියුම් කෙරුම් පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමට බුද්ධිමතෙකුට අපහසුවක් නැත. මෙම ලේඛකයාද බණ්ඩාරනායක කවුද? කොහොම කෙනෙක්ද? යන්න හරිහැටි අවබෝධ කරගෙන ඇති සේය.


මෙවැනි සිතිවිල්ලක් බණ්ඩාරනායකට ඇතිවීමෙන් ගම්‍ය වන්නේ ඔහු එජාපයෙන් වෙන්වී ගියද එය පක්ෂය ගැන කලකිරීමකින් නොව තමන්ට උරුම තැන ඩී. ඇස්. පුතාට හිමිකර දීමට මුල සිටම කර ඇති කුමන්ත්‍රණය හෙළිවීම නිසා ඇති වූ සිත් වේදනාවය.
කෙසේ වෙතත් බණ්ඩාරනායකගේ අපේක්ෂාව සර් ජෝන් දැන සිටියා නම් හෝ තම සගයෙකු මගින් බණ්ඩාරනායක, සර් ජෝන්ට තම අපේක්ෂාව දන්වා සිටියේ නම් හෝ පනස් හයේ විප්ලවයක් ඇති නොවී විපක්ෂයේ වාග් ප්‍රහාර මධ්‍යයේ වුව සර් ජෝන් ඇවෑමෙන් බණ්ඩාරනායකට නිව්ටල් එකේ එජාප රජයක අගමැති පදවියට පත් වන්නට බොහෝ ඉඩකඩ තිබුණි.


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර