1948 නිදහස ලැබී විදේශිකයන් ඉවත්වීමෙන් ස්වදේශිකයන්ට පාලන බලය හිමිවිය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ලංකාවේ පාලකයින් තෝරා ගනු ලැබුවේ කලින් කලට පැවැත්වූ මැතිවරණවලිනි. රටේ පාලනයට පාර්ලිමේන්තුව තිබූ අතර පළාත් පාලනයට නගර සභා හා ගම්සභා ක්‍රියාත්මක විය. 


පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගනු ලැබුවේ කේවල ඡන්ද ක්‍රමයෙනි. ලංකාව මැතිවරණ කොට්ඨාසවලට බෙදා ඒ ඒ මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරයකු තෝරා ගනු ලබයි. මැතිවරණ කොට්ඨාසයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරෙන් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා මන්ත්‍රීවරයකු වශයෙන් පත්වෙයි. 


1948 සිට මන්ත්‍රී 96 දෙනෙක් තෝරා පත්කර ගත් අතර 1960 දී එය 151 දක්වා වර්ධනය විය. 1977 වනවිට එය 168 වශයෙන් සංශෝධනය කරන ලදී. 


වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා මන්ත්‍රීවීම සාමාන්‍ය සිද්ධියක් වූ අතර විරුද්ධ අපේක්ෂකයන්ගේ ඡන්ද බෙදීයාම නිසා මන්ත්‍රීධුර හිමිවූ මන්ත්‍රීවරුන් ද සිටින අතර ඔවුන් වාසනාවන්ත මන්ත්‍රීවරු වශයෙන් හැඳින්වීම සුදුසුය. මේ ඒ පිළිබඳව සටහන් තැබීමකි. 


කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනය 1965 මැතිවරණයේදී එජාපයේ එස්. බී. හේරත් ජනප්‍රියතාව පහළ බසිමින් පැවතිණි. 1966 දී හිරියාල ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ලෙස ප්‍රදේශයේ  ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ මොහාන්ලාල් ගුණතිලක මහතා පත් කරන ලදී. ඒ මහතා ප්‍රදේශයේ වැදගත් පවුල් පසුබිමක් ඇති ව්‍යාපාරික පවුලක යහපත් කෙනෙක් වූ බැවින් හිරියාල ග්‍රාමීය ජනතාව එතුමා වටේ එක්රැස් වූහ. ඔහු පැරණි ශ්‍රීලනිප  සාමාජිකයකු වන අතර අභාවප්‍රාප්ත අගමැති බණ්ඩාරනායක මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ද විය. 
කරුණු එසේ වුවද 1970 මැතිවරණයට මාස දෙක තුනකට කලින් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් පලිපාන වලව්වේ අයිවර් පලිපාන මහතා හිරියාල ශ්‍රීලනිප සංවිධායක වශයෙන් නම් කළාය. 


මෙම පත් කිරීම හිරියාල ආසනයේ ශ්‍රීලනිප සාමාජිකයන් කලකිරීමේ සිද්ධියක් විය. යහපත් ගුණගරුක පාක්ෂිකයකු වූ මොහාන්ලාල් ගුණතිලක මහතා කලකිරී දේශපාලනයෙන් ඉවත්වීමට සිතුව ද හිරියාල ශ්‍රීලනිප පාක්ෂිකයෝ පක්ෂයේ එම තීරණයට අභියෝග කරමින් ගුණතිලක මහතාව ස්වාධීනව හිරියාල ආසනයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. 


1970 මැතිවරණයේ දී හිරියාල ආසනයට එජාපයෙන් එස්. බී. හේරත් මහතා ද ශ්‍රීලනිපයෙන් අයිවර් පලිපාන මහතා ද ස්වාධීනව මොහාන්ලාල් ගුණතිලක මහතා ද ඉදිරිපත් වූහ. 1970 මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන විට උතුරු - නැගෙනහිර හැර බොහෝ ග්‍රාමීය ආසන ශ්‍රීලනිප ප්‍රධාන සමගි පෙරමුණ විසින් දිනා ගන්නා ලදී. නමුත් පසුදින උදේ නවයට පමණ හිරියාලේ ප්‍රතිඵලය ප්‍රකාශ කරන විට එය එජාපය විසින් ජයග්‍රහණය කර තිබිණි. සැමටම එය පුදුමයට හේතුවක් වූ අතර ස්වාධීන අපේක්ෂකයා සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම නිසා ශ්‍රීලනිපයට පහසුවෙන් දිනාගත හැකිව තිබු හිරියාල ආසනය අහිමි විය. එජාපය ඡන්ද දහතුන් දහස් ගණනක් ගන්නා විට ශ්‍රීලනිපය අටදහස් ගණනක් ද ස්වාධීන අපේක්ෂක හත්දහස් ගණනක්ද ගැනීමෙන් ශ්‍රීලනිප ඡන්ද බෙදී යාමෙන් එජාපයේ එස්.බී. හේරත් මහතා වාසනාවන්ත මන්ත්‍රීවරයෙක් විය. මුළු වයඹ පළාතෙන්ම (කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්) එජාපයට ජයගත හැකි වූයේ හිරියාල පමණි. පසුව එස්. බී. හේරත් මහතාව හඳුන්වනු ලැබුවේ වයඹ තනි අලියා නමිනි. 


1970 මැතිවරණයේදීම ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇළ ආසනයේ එජාප මන්ත්‍රී ජී. ජේ. පාරිස් පෙරේරා මහතා ද වාසනාවන්ත මන්ත්‍රී කෙනෙක් විය. 1965 මැතිවරණයේ දී ජා-ඇළ ආසනය දිනා ගන්නා ලද්දේ පාරිස් පෙරේරා මහතා විසිනි. 1967 දී පමණ  ශ්‍රීලනිපයෙන් පීටර් මෙන්දිස් මහතා ජා-ඇළ ආසනයේ සංවිධායක වශයෙන් පත් කරන ලදී. ඒ මහතා රාගම ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ අතර ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් ද විය. නමුත් 1970 මැතිවරණයට මාස කිහිපයකට ප්‍රථම රාගම අමරසේකර වලව්වේ කිංස්ලි අමරසේකර මහතාව ජා-ඇළ ශ්‍රීලනිප සංවිධායක වශයෙන් ශ්‍රීලනිප  විසින් පත් කෙරිණි. 


1970 මැතිවරණයේදී ජා-ඇළට එජාපයෙන් පාරිස් පෙරේරා මහතාද ශ්‍රීලනිපයෙන් කිංස්ලි අමරසේකර මහතා ද ස්වාධීනව පීටර් මෙන්ඩිස් මහතා ද ඉදිරිපත් වූහ. 


එජාපය ඡන්ද පහළොස් දහස් ගණනක් ගත් අතර ශ්‍රීලනිපය දාහතර දහස් ගණනක් ගන්නා ලදී. ස්වාධීන අපේක්ෂකයා ඡන්ද දෙදහස් ගණනක් ගැනීමෙන් ශ්‍රීලනිපයේ ඡන්ද බෙදීම නිසා ඡන්ද එක්දහස් ගණනකින් එජාපයේ පාරිස් පෙරේරා මහතා වාසනාවන්ත මන්ත්‍රීවරයකු විය. 


1970 ගම්පහ දිස්ත්‍රික්කයක් නොතිබූ බැවින් එම ප්‍රදේශය අයත් වූවේ කොළඹ දිස්ත්‍රික්කයටය. එකල ඡන්ද ගණන් කිරීමේදී මුළු ආසනයේම ඡන්ද එක් කාමරයක ගණන් කරන ලදී. ජා-ඇළ ආසනයට අයත්වූ බටුවත්ත, රාගම, කඳාන, ජා-ඇළ, දඬුගම යන ප්‍රදේශවලින් පිළිවෙලින් ඡන්ද ගණන් කෙරිණි. බටුවත්ත රාගම ශ්‍රීලනිපයට බරවූ අතර ජා-ඇළ කඳාන දඬුගම එජාපයට වැඩි වාසි ප්‍රදේශ විය. බටුවත්ත සහ රාගම කොටසක ඡන්ද ගණන් කිරීමේ දී ශ්‍රීලනිප අපේක්ෂක ඉදිරියෙන් සිට ඇත. මෙයින් කම්පනයට පත්වූ හිටපු මන්ත්‍රී එජාප අපේක්ෂක පාරිස් පෙරේරා මහතාට පපුවේ අමාරුවක් සෑදී අසනීප විය. 


අල්ලපු කාමරයේ වත්තල ආසනයේ ඡන්ද ගණන් කිරීම සිදු කරන ලදී. එජාපයේ පාරිස් පෙරේරා මහතා අසනීප වූ බැව් දැනගත් වත්තලට ශ්‍රීලනිපයෙන් තරග කළ දොස්තර ඒ. ඩී. ජේ. එල්. ලියෝ මහතා තමාගේ ඡන්ද ගණන් කිරීම පසෙකට දා පාරිස් පෙරේරා මහතාට ප්‍රථමාධාර දී වහාම ඔහුව කොළඹ ජාතික රෝහලට පිටත් කරන ලදී. ශ්‍රීලනිප ඡන්ද බෙදීයාම නිසා එජාප අපේක්ෂක පාරිස් පෙරේරා මහතා ජයග්‍රහණය කළ අතර එතුමා තම ජයග්‍රහණය දැන ගත්තේ ද දින ගණනකට පසුව රෝහලේදීය. 


වත්තල ආසනය ශ්‍රීලනිපයේ දොස්තර ඒ. ඩී. ජේ. එල්. ලියෝ මහතා ජයගත් අතර තමාගේ තීරණාත්මක මොහොතේ එම කාර්යය ද අමතක කරමින් ප්‍රතිපාක්ෂිකයකු වූ පාරිස් පෙරේරා මහතාගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ මහත්මා දේශපාලනයේ නියුතු වූ දොස්තර ඒ. ඩී. ජේ. එල්. ලියෝ මහතාට ප්‍රණාමය පුද කළයුතු වෙමු. 


එජාප මන්ත්‍රීවරයකු වශයෙන් කැස්බෑව අසුනට 1972 දී පත්වූ ධර්මසේන ආටිගල මහතාද තවත් වාසනාවන්ත මන්ත්‍රීවරයෙකි. 1960 කැස්බෑව අසුන ආරම්භ වූ දින සිටම කැස්බෑව මන්ත්‍රීවරයා වූයේ ශ්‍රීලනිපයේ සෝමවීර චන්ද්‍රසිරි මහතායි. ප්‍රදේශයේ අතිශයින් ජනප්‍රිය පුද්ගලයකු වූ ඒ මහතාට අභියෝග කිරීමට කිසිදු ප්‍රබල ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එජාපයට නොහැකිවිය. 1970 මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගනිමින් සෝමවීර චන්ද්‍රසිරි මහතා ශ්‍රීලනිපයෙන් කැස්බෑව අසුන ජයග්‍රහණය කළේය. කෙසේ වුවද 1971 අවසානයේ සෝමවීර චන්ද්‍රසිරි මහතා මිය ගියෙන් අතුරු මැතිවරණයක් මගින් කැස්බෑවට නව මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීමට සිදුවිය. 


කැස්බෑව ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ඉල්ලීම වූයේ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ පුත් සුභාෂ් චන්ද්‍රසිරි මහතා ඉදිරිපත් කිරීමටයි. නමුත් ශ්‍රීලනිපය තීරණය කරනු ලැබුවේ ඩික්සන් ජේ. පෙරේරා මහතා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමටයි. පක්ෂයේ එම තීරණයට අභියෝග කරමින් සුභාෂ් චන්ද්‍රසිරි මහතා ස්වාධීනව ඉදිරිපත් විය. මේ අනුව එජාපයෙන් ධර්මසේන ආටිගල මහතා ද ශ්‍රීලනිපයෙන් ඩික්සන් ජේ. පෙරේරා මහතා ද සුභාෂ් චන්ද්‍රසිරි මහතා ස්වාධීනව ද 1972 පැවැති කැස්බෑව අතුරු මැතිවරණයට ඉදිරිපත් වූහ. 


කවුරුත් බලාපොරොත්තු වූයේ කැස්බෑව ශ්‍රීලනිපයේ ප්‍රබල ආසනයක් සහ පාලන බලය ද ශ්‍රීලනිපයට තිබූ බැවින්  ශ්‍රීලනිප අපේක්ෂක ජයග්‍රහණය කරාවි යන්නයි. නමුත් එවර එජාපය වැඩි ඡන්ද පන්දහස් ගණනකින් කැස්බෑව ජයග්‍රහණය කරන ලදී. පළමු ස්ථානය එජාපය ඡන්ද දහඅට දහස් ගණනක් ගත් අතර ස්වාධීන අපේක්ෂක සුභාෂ් චන්ද්‍රසිරි මහතා ඡන්ද දහතුන් දහස් ගණනක් ගනිමින් දෙවැනි ස්ථානයට ද ඡන්ද දොළොස් දහසක් ලැබූ ශ්‍රීලනිපය තෙවැනි ස්ථානයට ද පත්විය. විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ශ්‍රීලනිපයට හිමිවීමට තිබූ කැස්බෑව ආසනය ශ්‍රීලනිප ඡන්ද බෙදීමෙන් එජාපයේ ධර්මසේන ආටිගල මහතාට හිමිවිය. 


තවත් වාසනාවන්ත මන්ත්‍රීවරයකු වූයේ 1974 ද කලාවැව අසුනට තේරී පත්වූ ඒ. එම්. එස්. අධිකාරී මහතාය. 1970 දී කලා වැව අසුනට තේරී පත්වූයේ ශ්‍රීලනිපයේ ආර්. බී. රත්නමලල මහතාය. 1974 දී රත්නමලල මහතා මිය ගියෙන් කලාවැවට අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය. ප්‍රදේශයේ ජනප්‍රිය ශ්‍රීලනිප පාක්ෂිකයකු වූ යසපාල හේරත් මහතා ශ්‍රීලනිපයෙන් අපේක්ෂකත්වය ඉල්ලීය. නමුත් ශ්‍රීලනිප තීරණය කළේ හිටපු මන්ත්‍රී ආර්. බී. රත්නමලල මහතාගේ පුත් කනිෂ්ඨ රත්නමලල මහතා ඉදිරිපත් කිරීමටයි. යසපාල මහතා ස්වාධීනව තරග කිරීමට තීරණය කිරීමෙන් 1974 පැවැති කලාවැව අතුරු මැතිවරණයේ දී එජාපයේ ඒ. එම්. එස්. අධිකාරී මහතා ද ශ්‍රීලනිපයේ කනිෂ්ඨ රත්නමලල මහතාද ස්වාධීනව යසපාල හේරත් මහතා ද ඉදිරිපත් වූහ. ස්වාධීන අපේක්ෂක යසපාල හේරත් මහතා ශ්‍රීලනිපයට ලැබිය යුතුව තිබූ ඡන්ද දෙදහසක් කඩා ගැනීම හේතුවෙන් ශ්‍රීලනිප අපේක්ෂක වැඩිඡන්ද දාහකින් එජාප අපේක්ෂකයාට පරාද විය. මේ අනුව වැඩි ඡන්ද දාහකින් එජාපයේ ඒ. එම්. එස්. අධිකාරී මහතා කලාවැව මන්ත්‍රීවිය. මෙම ස්වාධීන අපේක්ෂක යසපාල හේරත් මහතා පසුව එජාපයට බැඳී 1977 මැතිවරණයේදී නැගෙනහිර අනුරාධපුර ආසනයේ එජාප මන්ත්‍රී වශයෙන් තේරී පත්විය.


කලාවැව අතුරු මැතිවරණයේදී සිදුවූ තවත් සිද්ධියක් වනුයේ එජාපයේ දෙදරීමයි. කලාවැව අතුරු මැතිවරණයට ශ්‍රීලනිපයෙන් අනුර බණ්ඩාරනායක ඉදිරිපත් කරන්නේ නම් එජාප අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා තීරණය කරන ලදී.


ජේ. ආර්ගේ අදහස වූයේ ශ්‍රීලනිප දක්ෂිණාංශික නායකයකු වූ අනුර බණ්ඩාරනායක  මහතා පාර්ලිමේන්තුවට ගෙනවිත් ශ්‍රීලනිප වාමාංශික කොටස් දුර්වල කොට රජය පෙරළීමයි. ශ්‍රීලනිපය ජේ. ආර්. ගේ මෙම උපක්‍රමයට හසුනොවීම නිසා අනුර බණ්ඩාරනායක මහතාට කලාවැව අසුනේ නාම යෝජනා නොලැබුණි. කලාවැව අසුනට එජාප අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමේ තීරණයට විරුද්ධව එවකට නායකත්වයට විරුද්ධවීම නිසා ඩඞ්ලි පෙරමුණේ ප්‍රබලයන් පක්ෂයෙන් නෙරපා හැරීමේ දැඩි තීන්දුක් ජේ. ආර්. විසින් ගන්නා ලදී. රුක්මක් සේනානායක, ජිනදාස නියතපාල, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ආර්. පී. විජේසිරි වැනි අය මෙම කණ්ඩායමට අයත් වූහ. 
තවත් වාසනාවන්ත මන්ත්‍රීවරයකු වූයේ 1977 මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් කොත්මලේ අසුනට තරගකොට ජයගත් ආනන්ද දසනායක මහතායි. කොත්මලේට පත්කොට සිටි එජාප සංවිධායක ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු විය. නමුත් කොත්මලේට නාමයෝජනා දීමේ දී මෙම එජාප සංවිධායක ඉවත්කොට නුවරඑළිය එජාප ප්‍රබලයකුගේ ඥාතියකුගේ ඥාතියකුට එජාප නාම යෝජනා දුනි. පෙර සිටි එජාප සංවිධායකවරයා ස්වාධීනව ඉදිරිපත් වූයෙන් එජාප ඡන්ද දෙකට කැඩී ශ්‍රීලනිප අපේක්‍ෂකයා එම අසුනට පත්විය. 


1977 සහ ඊට පෙර පැවැති කේවල ඡන්ද ක්‍රමයේ දී පක්ෂයකින් තමන්ට අසාධාරණයක් සිදුවුවහොත් තමන් අයිති ඡන්ද කොට්ඨාසයෙහි තමන් ජනප්‍රිය නම් තමන්ට ස්වාධීනව තරගකොට පක්ෂ තීරණයකට අභියෝග කළ හැකිව තිබිණ. 1977 පසු පැමිණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමයෙන් ගමේ ජනප්‍රිය පුද්ගලයන්ට පාර්ලිමේන්තු යාමේ ඉඩකඩ අවහිර වූ අතර මුදල් හා බලය ඇති පුද්ගලයන්ට පමණක් පාර්ලිමේන්තුවට යාමට අවකාශය හිමිවිය.


කැපුන්ගොඩ
ආනන්ද ජයකොඩි