රතු සහෝදරවරුන්ගේ ගැටුම් පුරාණයෙන්-2

වමේ කඳවුර අතර මහත් විවාදයකට ලක් වූ කාරණයක් විය. සම සමාජය පැරණි මතයේම සිටි අතර සුළුතරයක් වූ යුද්ධයට පක්‍ෂපාත වූවන් ස්ටාලින්වාදීන් යැයි නම්කර සම සමාජ පක්‍ෂයෙන් නෙරපා හරින ලදහ. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස්, ආරියවංශ ගුණසේකර, ඩබ්ලිව්. ආරියරත්න සහ කේ. රාමනාදන් යන මහතුන් සමසමාජ පක්‍ෂයෙන් නෙරපා හරින ලදී. දීර්ඝ ක්‍රියාවලියකින් පසු 1943 ජූලි මස 3 වැනි දින ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගනු ලැබුවේ මෙම නායකයන් සහ ඔවුන්ට සහාය දුන් 70ක්වූ සමසමාජ අනුගාමික පිරිසකගේ මූලිකත්වයෙන් බව එම පක්‍ෂ ඉතිහාසයේ දැක්වේ. එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය නිම කර පැමිණි පීටර් කෙනමන්, ඒ. වෛද්‍ය ලිංගම් සහ පී. පොන්නම්බලම් යන උගත් තරුණයින්ගේ සහායද එම පක්‍ෂයට ලැබුණි.

කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රථම මතභේදය ඇති වූයේ 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් ඉතා ආසන්න වකවානුවකදීය. එවකට මාතර මන්ත්‍රීවරයාව සිටි කොමියුනිස්ට් පක්‍ෂයේ හැරී අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ පිරිසක් එකහෙළාම කියා සිටියේ ලංකාවේ සමාජවාදී විප්ලවය සිදුකිරීමට අවශ්‍ය සියලු සාධකයන් සම්පූර්ණව ඇති බැවින් නොපමාව ආයුධ සන්නද්ධව විප්ලවය ආරම්භ කළ යුතු බවයි. නොපමාව පක්‍ෂයේ තුන්වැනි සම්මේලනය කැඳවා පක්‍ෂය දැනුම්වත් කළ නායකයෝ ලාංකේය ජන සමාජය විප්ලවීය අවධියක් දක්වා මෝරා නැති බවත්, ලෙනින්ගේ ආදර්ශ අනුව නිර්ධනපන්ති විප්ලවය සාර්ථක කර ගැනීමට මෙය අවස්ථාව නොවන බවක් තීරණය කළහ. මෙය අතිධාවනකාරී ළදරු වලිප්පුවක් බව ප්‍රකාශ කරමින් මාතර මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් නෙරපා හැර විල්ලව කුලප්පුව පරාජය කර දැමීය.


1962 පමණ අවධිය වන විට, ලෝක විප්ලවය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ දැඩි සංවාදයක් හට ගත්තේය. එවකට සෝවියට් නායකයාව සිටි නිකිතා කෘෂෙප් මහතා සාමකාමී සහජීවනය මගින් බටහිර කඳවුර සමග සංහිදියාවක් පවත්වාගෙන යමින් ආසියාවේ - අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල පවතින ජාතික විමුක්තිය සඳහා වූ අරගලය සහ නිර්ධන පන්ති විප්ලවය සාර්ථක කර ගැනීමට උපකාර කළ යුතු යැයි මතයක් ඉදිරිපත් කළේය. එවකට චීන නායකයා වූ මාඕ සේතුං ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි.” එය විනාශ කිරීම ඉතා පහසුය. එනිසා තුවක්කු බටය තුළින් හැර විප්ලවය සඳහා වෙනත් විකල්පයක් නැත. සාමකාමී සහජීවනය යනු අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නැමීමකි.” මෙම මත භේදය දැඩි විවාදයකට හේතු වූ අතර ලොව පුරා සියලුම කොමියුනිස්ට් පක්‍ෂ දෙකඩ විය. නැගෙනහිර යුරෝපයේ ඇල්බේනියාව පමණක් චීන පිල ගත් අතර බටහිර යුරෝපයේ බොහෝ රටවල පක්‍ෂද සෝවියට් පාර්ශ්වය ගත්තේය. ජනතා වරමින් බලය අල්ලා ගැනීමට තරම් ප්‍රබල සාමාජික හා අනුගාමික පිරිසක් සිටි පැල්ම්රෝ ටෝග්ලියාටි නමැති දක්‍ෂ නායකයා මෙහෙය වූ ඉතාලි කොමියුනිස්ට් පක්‍ෂය මෙන්ම එපමණටම බලවත්ව පැවති, මොරිස් තේරේගේ නායකත්වයෙන් පැවති ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයද සෝවියට් පිල ගත්තේය. කෝටි සංඛ්‍යාත සාමාජික පිරිසක් සිටි බව කියැවුණ ප්‍රබල ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ පක්‍ෂය ගත්තේය.


මෙම අර්බුදය ශ්‍රී ලංකාවට බලපෑවේ අමුතුම ආකාරයකටය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධානම නිලතල දැරූ පිරිස වූ නායක ඇස්. ඒ. වික්‍රමසිංහ, ප්‍රධාන ලේකම් පීටර් කෙනමන්, තරුණ සංවිධාන සභාපති සරත් මුත්තෙට්ටුවගම එම ලේකම් එච්. ජී. ඇස්. රත්නවීර කම්කරු සමිති නායක ඇම්. ජී. මැන්ඩිස් ඇතුළු විශාල පිරිසක් සෝවියට් පිලට අනුකූලතාව දැක්වූහ. ලංකා කම්කරු සමිති සම්මේලනය නමින් විශාල සාමාජික සංඛ්‍යාවකින් යුතුව පැවති ශක්තිමත් සංවිධානයේ ප්‍රධාන ලේකම් ඇන්. ශන්මුගදාසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ද්වි භාෂා උගතෙකු හා ප්‍රකට ලේඛකයෙකුද වූ ප්‍රේමලාල් කුමාරසිරි, වොට්සන් ප්‍රනාන්දු, තරුණ සංවිධානයේ ප්‍රාදේශීය නායකයෙකු වූ වැ. අ. ධර්මදාස ආදීහුද එවකට ගම්පහ මන්ත්‍රීව සිටි ඇස්. ඩී. බණ්ඩාරනායක මෙන්ම සෝවියට් රුසියාවේ ඉගෙනුම ලබමින් සිටියදී වීසා නොලැබීමෙන් අධ්‍යාපනය කඩාකප්පල් වූ රෝහණ විජේවීර නම් ශිෂ්‍යයෙක්ද මෙම පිලේ ක්‍රියාකාරීහු වූහ.


මෙම ආරවුල මත මේ දෙපිරිස අතර ගහ මරා ගැනීම්ද බහුලව දක්නට ලැබුණි. මෙම බෙදීම මත අර්බුදයට ලක්වුණු ලංකා කම්කරු සමිති සම්මේලනයේ බලය අල්ලා ගැනීමට දරණ ලද ප්‍රයත්නයේදී කොළඹ නව නගර ශාලාවේදී පැවති සම්මේලනවාරයේදී එම නියෝජිතයන්ට එක පිලක සාමාජිකයන් විසින් එල්ල කළ ප්‍රහාර නිසා බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. එහිදී කම්කරු නායකයන් කීප දෙනෙකු පොලු පහරවලින් තුවාල ලබා ලේ වැගිරෙමින් සිටි ආකාරය මම දුටිමි. ලංකා කම්කරු සමිති සම්මේලනය ශාන්මුගදාසන් මහතා අතට පත් වූ අතර ඇම්. ජී. මැන්ඩිස් මහතා ලංකා වෘත්තීය සමිති සම්මේලනය ගොඩනගා පක්‍ෂයට දායාද කළේය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය වෙනුවෙන් අද ද නියෝජනය කරනු ලබන්නේ එම සංවිධානයයි.


පක්‍ෂය තුළ විශාලම අර්බුදයක් ඊළඟට මතු වූවේ 1970 සමගි පෙරමුණු රජය තුළ කටයුතු කරද්දී 1973 පමණ මතු වූ ගැටුමයි. කොමියුනිස්ට් පක්‍ෂයේ ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් ජයග්‍රහණය කළේ 1970 මහා මැතිවරණයේදීය. ඒ හය දෙනෙකි. අකුරැස්ස දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, කඹුරුපිටිය - ඊලියන් නානායක්කාර, මාතර - බී. වයි. කුඩාව රත්ගම - ඇම්. ජී. මැන්ඩිස්, මැද කොළඹ - පීටර් කෙනමන්, කලවාන - සරත් මුත්තෙට්ටුවගම එම ජයග්‍රාහකයෝ වූහ. ඒ අතරින් පීටර් කෙනමන් මහතාට නිවාස ඇමති ධූරයත් බී. වයි. තුඩාවේ මහතාට අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ධූරයත් පිරිනැමුණේ සමගි පෙරමුණු රජයේ කොමියුනිස්ට් පක්‍ෂය නියොජනය කරමිනි. නිවාස හිමියන්ට අයත්ව තිබුණු දහස් ගණන් කුලී නිවාස එහි පදිංචිකරුවන්ට හිමිකර දීම, එක් අයෙකුට හිමිවන නිවාස සංඛ්‍යාව එකකට සීමා කිරීම ආදී ප්‍රගතිශීලි අණ පනත් නීතිගත කරවීමට සමගි පෙරමුණු රජය තුළ කොමියුනිස්ට් ඇමතිවරයා සමත් වූවේය.


එහෙත් 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මැඩ පැවැත්වීමේදී රජය අනුගමනය කළ සමහර ක්‍රියාමාර්ග, උග්‍ර බඩු මිල, බඩු හිඟය කම්කරු පන්තියට නොසලකා හැරම්, ඔවුන්ගේ සටන් කඩා කප්පල් කිරීම, වැටුප් වැඩි නොකිරීම ආදිය නිසා රජය ජනතාව අතර අප්‍රසාදයට ලක්වෙමින් තිබුණි. රජයේ පාර්ශ්ව කරුවෙකු වශයෙන් කොමියුනිස්ට් පක්‍ෂයටද මෙම චෝදනා හමුවේ නිහඬව සිටිය නොහැකි විය. පක්‍ෂයේ බිම් මට්ටමෙන් යම් යම් විරෝධතා මතුවිය. මේ පිළිබඳ ඇති වූ සංවාදයේදී රජයෙන් ඉවත්ව විපක්‍ෂයට යා යුතුය යන මතයක්ද ගොඩ නැගුණු අතර මෙහිදී කොමියුනිස්ට් පක්‍ෂයේ මන්ත්‍රීවරු හය දෙනා පිල් දෙකකට බෙදී කටයුතු කිරීමට වගබලා ගත්හ.


වැරදි සිදුවීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයකි. එය නිවැරදි කර ගැනීමද උතුම් ක්‍රියාවකි. මාක්ස්වාදී දේශපාලන සංදර්භයේදී ඒ පිළිබඳව අගනා ආදර්ශයක් පෙන්නුම් කෙරේ. එය හඳුන්වන්නේ ස්වයං විවේචනය යනුවෙනි. අභ්‍යන්තර සාකච්ඡාවක් මගින් තම වැරදි ක්‍රියාවන් හෝ ප්‍රතිපත්තීන් වෙතොත් නිවැරදි කර ගැනීම මෙම වැඩ පිළිවෙළේ අරුතයි.


මාධ්‍යයන් මගින් කුමක් කියවුනත් කොමියුනිස්ට් පක්ෂයේ මෙවැනි මතභේදයක් වර්තමානයේ ඇතැයි එහි අනුගාමිකයෝ පමණක් නොව ප්‍රගතිශීලි ජනතාවද විශ්වාස නොකරති. ඔවුන්ගේ පැතුම එවැන්නක් සිදු නොවේවා යන්නය. මක්නිසාද යත් කොමියුනිස්ට් පක්‍ෂයක් යනු ඕනෑම ජනතා ප්‍රශ්නයක් විද්‍යානුකූල සමාජවාදී මූල ධර්මයන් සමග ගළපා කටයුතු කරන දේශපාලන බලවේගයක් වන නිසාය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ