‘සිහලුනි නැගිටිව් බුදු සසුන බේරාගනිව්’ නමැති කෘතියක් 80 දශකයේදී උණු කැවුම් මෙන් අලෙවි වී ගියේය. අගමැති බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන මෙන්ම සිරිල් මැතිව් යන දේශපාලනඥයන් අපේ ජාතික උරුමය ගැන පාර්ලිමේන්තුවේදී කළ හරබර දෙසුම් ඇතුළු වැදගත් ලිපිලේඛන හා ඡායාරූප රැසක් එහි විය. 


එසේම අසිරිමත් කැලණිය ගිරිහඬු මහ වෙහෙර, සේරුවිල වෙල්ගම් වෙහෙර යනාදී පොත් රැසක්ම සමකාලීනව එළිදැක්විණි. මෙම මාහැඟි ග්‍රන්ථ සියල්ලේම කතුවරයා වූයේ හිටපු කර්මාන්ත හා විද්‍යාකටයුතු පිළිබඳ අමාත්‍ය කළුවා දේවගේ සිරිල් මැතිව්ය. 


ඓතිහාසික නිජබිම් අයිතිය කියමින් ජනතාව මුලා කරමින් දෙස් විදෙස් උගතුන්ට හා ගවේෂණයකට අභියෝග කරමින්. උතුරු - නැගෙනහිර පුරාවස්තු හා බෞද්ධ දේපොළ විනාශ කරමින් ඒ පිළිබඳව ඉතිහාසගත තොරතුරු විකෘති කරමින් ඡායාරූප මවමින් එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශය මගින් ගෙනගිය කුමන්ත්‍රණයට දැඩි අභියෝගයක් එල්ල වූයේ සිරිල් මැතිව්ගේ මෙම අදහස් ඇතුළත් ග්‍රන්ථවලිනි. ඒ නිසාම  ඇතැම්හු දැඩි ජාතිවාදී ලේබලයක්  ඔහුට අලවා තිබිණි. 


උතුරු - නැගෙනහිර පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයාගත් බෞද්ධ  සිද්ධස්ථාන 261ක තොරතුරු 1983 ජුනි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට හැන්සාඞ්ගත කිරීමට පියවර ගැනුණේ සිරිල් මැතිව්ගේ මැදිහත්වීම තුළිනි. 


යූ.එන්.පී. ආණ්ඩුව තුළ සිටි මෙවැනි අදහස් දරන පුද්ගලයන් පිළිබඳ කොටි සංවිධානය ඇස ගසාගෙන සිටි අතර ඔවුන්ගේ ශක්තිය හීන කිරීමට උත්සාහ ගත්හ. 


ඉන්දියානු සාම හමුදාව මෙරටට එවීම වෙනුවෙන් එදා තිම්පු නුවර පැවැති සාකච්ඡාවල සම්මුතිය අනුව රැඩිකල් ආකල්ප දැරූ මැතිව් වැනි දේශපාලනඥයන්ට ආණ්ඩුවෙන් ඉවත් වන තැනට කරුණු සැලසිණි. ඒ අනුව ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ  සමීපතම සගයකු ලෙස ප්‍රකටව සිටි සිරිල් මැතිව් දැරූ අමාත්‍ය තනතුරත් වහාම ඉවත් කෙරිණි. 


සිරිල් මැතිව් තුළ තිබු දේශප්‍රේමී හැඟීම් නිසාම ඔහු හා දෙමළ නායකයන් අතර නිතර ගැටුම් ඇතිවිය. එසේම ගතානුගතික අදහස් දරන සිංහල බෞද්ධ උගතුන්ගේ මතවාද සමගද මැතිව් ගැටුණේය. මෙය උපක්‍රමයක් ලෙස යොදාගත් මැතිව් විරෝධීහු සිංහල බෞද්ධ ජනතාවට අසාධාරණ වන හෝ පහර දෙන අවස්ථාවල සිරිල් මැතිව් වගකිව යුතුය යන මතය පතුරුවා හැරියහ. 


සිංහල බලමණ්ඩයේ රැස්වීමට එල්ල කළ මැර ප්‍රහාරය පිටුපස සිරිල් මැතිව් සිටි බවට රාවයක් පැතිරිණි. සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ගැන එදා රැස්වීමේදී අදහස් පළ කළ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සඟරුවන මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර  ඇතුළු ගිහි උගතුන්ටද මැර ප්‍රහාරය එල්ල විය. 


තමා ජාතිවාදියකු හෝ සිංහල බෞද්ධ විරෝධියකු නොවන බවත් සිද්ධිය වන විට තමා සිටියේ උතුරු - නැගෙනහිර පළාත්වල  බවත් කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකාච්ඡාවේදී සිරිල් මැතිව් පුන පුනා කීවද ඒවනවිට වරද ඔහු මතට පැටවී තිබිණි. 


ජේ. ආර්. ගේ ක්‍රියාමාර්ගත් ආණ්ඩුව තුළ වූ මත ගැටුමක් නිසා කලකිරී සිටි සිරිල් මැතිව් මාධ්‍ය හමුවේ නිහඬ පිළිවෙතක් පළ කළේය. පොල්හේන විෂ වෙද රෝහලේ පැවැති සර්ප ප්‍රදර්ශනයකදී ඔහු පිළිගන්නා ලද්දේ සුදු නාගයකු මල් මාලයක් සේ ගෙලෙහි පැළඳ වීමෙනි. 


‘ජේ. ආර්. ගේ කැබිනට්ටුවේ ඉන්නවාට වඩා සර්පයන් එක්ක ඉන්න එක ඇඟට ගුණයි’ ඔහු මාධ්‍ය හමුවේ එදා පැවසීය. ජේ. ආර්. ට විරෝධය පළ කරමින් ද සිරිල් මැතිව්ට ප්‍රසාදය පළ කරමින්ද සිය ගණන් බැනර් රටපුරා එසවිණි. 


ඇයි, ඔබතුමා පක්ෂයෙන් අස්වෙන්නෙ නැත්තේ? 


මාධ්‍යවේදියෙක් මන්ත්‍රීවරයාගෙන් ඇසුවේය. සිරිල් මැතිව්ගේ ක්ෂණික පිළිතුර වූයේ ‘මං අස්වුණොත් ජේ. ආර්. තමන්ගේ මිනිහෙක් එතනට දමා ගනිවී’ යනුවෙනි. ඒ වනවිට අස්වීම් ලිපි අත්සන් කරගෙන තිබිණි. සිරිල් මැතිව් පක්ෂය තුළ සිටම අන්තගාමීන් සමග සටන් කළේ එලෙසිනි. 


වනවාසල ඇතුළු කැලණි ආසනයේ ගම්මාන රැසක සිරිල් මැතිව්ගේ ඥාතීන් විසීම ඔහුට දේශපාලන වාසියක් ද විය. කැලණියේ ජයග්‍රහණයේ රහස මෙම ඥාති හිතෛෂින්ගේ සහය විය. එහෙත් විරුද්ධ පක්ෂවල බලකණු තමා දෙසට නම්මවා ගැනීමට ඔහු තරම් උපක්‍රමශීලියකු තවත් නොවීය. 


සිරිල් මැතිව්ගේ සටන පැවතියේ එවකට බලවත් පක්ෂයක්ව තිබු ලංකා සමසමාජය සමගය. සමසමාජ පක්ෂයෙන් පෑලියගොඩ නගරාධිපති ධුරයට තරග කළේ දිවංගත දයාරත්න රණේපුර කවියාය. එජාපයෙන් තරග වැදුණේ දිවංගත පියදාස හෙයියන්තුඩුවය. 


කැලණි ආසනයේ තමාගේ බලය ජේ. ආර්. ට පෙන්වීම සඳහා පෑලියගොඩ නගර සභා මැතිවරණයේදී එජනිස පැරදවීම මැතිව්ගේ පිලේ අපේක්ෂාව විය. ඒ සඳහා රණේපුර යොදාැනීමට මැතිව් උත්සාහ කළේය. 
තමුසෙට පුළුවන්ද පියදාස පරද්දන්න?


බාන්ස් පෙදෙසේ තම නිවෙසට සමසමාජ පක්‍ෂයේ අපේක්ෂක රණේපුර ගෙන්වූ මැතිව් ඇසීය. 


පුළුවන්. රණේපුර පැවසීය. 


ඔය සමසමාජයේ ඉඳන් කොහොමද මිනිහව පරද්දන්නෙ. තමුසෙලාගෙ නායකයා කොල්වින්  පළාත් සභා ඕනැයි කියලා රට බෙදන්න වලිකනවා. ඒවට සිංහල මිනිස්සු කැමති නෑ. ඒක නිසා බෙදුම්වාදී සමසමාජේ අත්හැරලා ස්වාධීනව ඡන්දයට ආවොත් මං තමුසෙට උදව් කරන්නම්. මං අපේ අයටත් කියන්නම්. මැතිව් පොරොන්දු වූවේය. නමුත් රණේපුර සමසමාජය අත්හැරීමට එකඟ නොවීය.
එහෙත් එම පළාත් පාලන ඡන්දය යම් දේශපාලන අර්බුදයක් නිසා කල් දැමිණි. සිරිල් මැතිව්ගේ අනුග්‍රහයෙන් එජාපය පැරදවීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය. නමුත් වසර දෙකකට පසුව පැමිණි පළමු වන පළාත් සභා මැතිවරණය එවැනි අවස්ථාවක් උදාකළේය. 


ශ්‍රීලනිපයත් ජවිපෙත් එම මැතිවරණය වර්ජනය කළ අතර ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා දේශ විමුක්ති ජනතා පක්ෂය එක්ව එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවා ගත්හ. පක්ෂ ලකුණ වූයේ පහනය. 


මෙම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස දයාරත්න රණේපුර ඉදිරිපත් වූයේ භීෂණය හතර වටින්ම පෙනි පෙනීය. රණේපුර මරා දැමීමට නිවසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල විය. ඔහුගේ දිවි බේරුණේ පෙර වාසනාවකටය. ඔහුගේ අංකය වූයේ 21 ය. 


ගම්පහ පිටිසර ගම්මානයක මැතිවරණ කටයුතුවල යෙදෙද්දී ගැමියන් පිරිසක් රණේපුරලාට හමුවිය. ප්‍රචාරක පත්‍රිකාවක් ඔවුන්ට බෙදූ විට කටපුරා සිනාසී අපූරු කතාවක් කීය.

 

අපේ ලොක්කා අපට කිව්වේ පහන ලකුණට ඡන්දෙ දාලා විසි එක අංකයට විතරක් මනාපේ ගහන්න කියලා. රණේපුරගේ අංක 21 අතර ඔහු සතු මොරිස්මයිනර් රියේ අංකයද 21 විය. එය වාසනාවන්ත අංකයක් යැයි ඔහුට සිතුණි. 


දැන් කියනවකො තමුසෙලාගෙ නායකයා කවුද? රණේපුර ගැමියන්ගෙන් විමසීය. “අපේ දෙයියෝ ඉතින් සිරිල් මැතිව් මහත්තයනෙ.” එම පිළිතුරෙන් රණේපුරත් සගයෝත් තුෂ්නිම්භූත වූහ. 


ඉන්දු - ලංකා ගිවිසුමෙන් අපේ රටට බිහිකළ පළාත් සභා ක්‍රමයට එරෙහිව  ඇමැතිකමත් නැතිකර ගත් සිරිල් මැතිව්ට උවමනා වූයේ මොන විදියකින් හෝ එජාපයට පාඩමක් ඉගැන්වීම බව ඔවුන්ට එත්තු ගියේය. සමසමාජයේ රණේපුර විශිෂ්ට ජයක් ලබා පළාත් සභාවට තේරී පත්වූ අතර මැතිව්ගේ පිහිටෙන් ආණ්ඩුවෙන් පළ නෙළාගත් පිරිස පිටුපා ගියහ. 


1982 වකවානුව තුළ මැතිවරණවල නියැළුණු පිරිසට මැරවරයෝ පහරදුන්හ. අනතුරුව කළු ජූලියේදී දෙමළ කඩ සාප්පු කඩා ගිනි තබා අහිංසකයන් මරා දැමිණි. මෙවැනි සිද්ධි ගණනාවක් නිසා රජය ජනප්‍රසාදයෙන් බැහැර වෙමින් තිබිණි. සිරිල් මැතිව් ජාතික සේවා සංගමයේ සභාපති මෙන්ම ප්‍රබල ක්‍රියාකාරිකයකුව සිටි අතර මෙම චෝදනා බැර වූයේ ඔහු වෙතට බව රහසක් නොවිණි. 


පෑලියගොඩ දයාරත්න රණේපුරයේ අවස්ථා හා අපේක්ෂා කෘතියෙහි දැක්වෙන පරිදි කැලණියේ බලවතා වූ සිරිල් මැතිව් ඔහු කැඳවා මෙසේ පැවසීය. “අයිසෙ තමුසෙව මිනිහෙක් කරල ගන්න පුළුවන් කියල ඔය කාලකන්ණි සම සමාජෙ අත් ඇරල මාත් එක්ක යූඇන්පියට වැඩ කරන්න එනවකො.”


ප්‍රබල පාක්ෂිකයකු වන රණෙපුරගේ පිළිතුර වූයේ මෙයය. “සර්ලගෙ කාලකන්නි යු.ඇන්.පි.ය අත්අරිනවනම් මාත් මගේ කාලකන්ති සමසමාජේ අත් ඇරල සර් එක්ක එන්නම්.” 


එදා තරම් සිරිල් මැතිව්ට තරහා ගිය දිනයක් නොවු බව සඳහන්වේ. එහෙත් මැතිව් ආණ්ඩුවෙන් නෙරපූ දිනයේ ඔහුට අතීතය සිහිකර දයාරත්න රණේපුර විදුලි පණිවුඩයක් එව්වේය. මැතිව් එය රස කරමින් පැවසුවේ රණේපුරගේ දුර පෙනෙන නුවණ අගය කරමිණි. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම පරද්දන්න ඕනැ. සිරිල් මැතිව් තරයේ ආණ්ඩුවට පවසා තිබිණි. රටේ ජාතික උරුමයන් රැකගැනීමට නම් නටබුන්ව ඇති පුරාවිද්‍යාත්මක ආගමික ස්ථාන සුරැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට 1983.10.20 දින අභියාචනා කළේය. 


කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයෙන් නීති හැදෑරූ සිරිල් මැතිව් 1960 මාර්තු සහ ජූලි මැතිවරණයේදී කොලොන්න ආසනය දිනා පාර්ලිමේන්තු ආවේය. රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය පිහිටුවා  එහි සභාපති ධුරයට පත් වූ අතර තම අමාත්‍යාංශය යටතේ වූ සංස්ථා සහය කරගෙන උතුරු - නැගෙනහිර පළාත්වල නටබුන් වූ සිද්ධස්ථාන රැකබලා වැඩිදියුණු කළේය. 


1806 දී මැගිස් ප්‍රනාන්දු ධර්මවික්‍රම මුහන්දිරම් විසින් ඇරඹු ශ්‍රී සුධර්ම දානශාලාව ප්‍රතිසංස්කරණය කර පුර පොහොය දිනවල කැලණි රජමහා විහාරයේ සිල් සමාදන්  වූ උවසු උවැසියන්ට දන් පිළිගැන්වීම  මියයන මොහොත දක්වාම සිදු කළේය. දේශපාලන බලයට වඩා රට දැය සමය හා ජාතික උරුමයට ගරු කළ සිරිල් මැතිව් අවසාන කාලයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව ජාතික සේවාවන් සඳහා සිය දිවි කැප කළේය. අද ඔහුගේ අවශ්‍යතාව වඩ වඩාත් රටට දැනෙන යුගයකි.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි