1983 වසරේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය නොපවත්වා තවත් අවුරුදු 06 පවතින පාර්ලිමේන්තුවට බලයේ සිටීමට අනුමැතිය ලබාගැනීම සඳහා 1977 දී කේවළ ඡන්ද ක්‍රමයෙන් බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය 1982 දෙසැම්බර් 22 වැනි දින පාර්ලිමේන්තු නිල කාලය දික්කළ යුතුද නැද්ද යන්න විමසමින් ජන මත විචාරණයන් රට පුරා පවත්වන ලදී.
ඒ වන විට නැක්සලයිට් කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුවේ නායකයින් මරා රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයන් පවතින බව ප්‍රකාශ කරමින් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ශ්‍රී.ල.නි. පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු ක්‍රියාකාරී නායකයින් රාශියක් අත්අඩංගුවට ගෙන තිබුණි.


ශ්‍රී.ල.නි.පක්‍ෂ ලේකම් රත්න සිරි වික්‍රමනායක උපලේකම් අ. ම. කරුණාරත්න, ජස්ටින්, නවරත්න ෂෙල්ටන් අබේරත්න, කුසුම් බාලපටබැඳි, ජගත් නාරම්බැද්ද, අනුරුද්ධ රත්වත්ත, මොරිස් රාජපක්‍ෂ හා තමරා කුමාරි ඉලංගරත්නද පක්‍ෂයේ උපලේකම්වරයකු වූ විජය කුමාරතුංගද මෙලෙස අත් අඩංගුවේ පසු වූහ. වමේ පුවත්පත් දෙකක් වූ “ඇත්ත” හා “ජනදිනට” සීල් තබා තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුද්‍රණ කටයුතු කළ ප්‍රධාන පෙළේ මුද්‍රණාලයකටද සීල් තබා තිබිණි. 


මෙවන් පරිසරයක් තුළ විපක්‍ෂයේ දේශපාලන කටයුතු සඳහා නීතියෙන්ම විවිධ අවහිරතා පනවා තිබුණු අතර පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු ක්‍රියාකාරීන් අත් අඩංගුවෙන් මුදාහරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් අනුව රුපියල් 25,000/- බැගින් ඇප නියම කර රටේ ජනමත විචාරණයක් පැවැත්වෙන කාලයේ ප්‍රබල පක්‍ෂයක ලේකම්වරයා ඇතුළු ක්‍රියාකාරීන් රිමාන්ඞ් භාරයේ රඳවා තැබීම යුක්ති සහගත නොවන්නේ යයිද උසාවිය ප්‍රකාශ කර සිටියේය. එහෙත් විජයකුමාරතුංග මහතාට නිදහස නොලැබුණි.


මෙම තත්ත්වය යටතේ “ජනමත විචාරණය” ඡන්ද මංකොල්ලයක් ලෙස විපක්‍ෂය විසින් හඳුන්වා දෙන ලදී. ජනමත විචාරණයෙන් පසුව සියලු දෙනා කිසිදු නීතිමය පියවරකින් තොරව නිදහස් කරනු ලැබීම තුළින් පැහැදිලි වූයේ රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි. මෙම තත්ත්වය තුළ ජනමත විචාරණයෙන් පරාද වූ ඡන්ද කොට්ඨාස සඳහා අතුරු මැතිවරණ පවත්වන බව ජනාධිපති ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනද ඉදිරිපත් කරන ලදී. එසේ ආණ්ඩුවට බහුතරයක් නොලැබුණු ආසන සඳහා මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීම් ලිපි භාරගත් ජේ. ආර්. ජයවර්ධන 1983 මැයි 18 වැනි දින අතුරු මැතිවරණ 18 පවත්වන ලදී. මෙම මැතිවරණ බලද්දී රජයේ ක්‍රියා මාර්ග කැපී පෙනුණු අතර ඡන්ද පොල නියෝජිතයින් පලවා හැරීම් සිදුව තිබුණි. රජයේ මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා වූ විකල්ප වැඩ සටහනක අවශ්‍යතාව මතුවිය. මේ අතර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පසුව ඉදිරිපත් කළ සංශෝධන බොහෝවිට රජයේ අවශ්‍යතාව පදනම් කරගෙන සිදු කළ ඒවා විය. අතුරු මැතිවරණ පැවැත්වීම රජයට අවශ්‍ය නම් මිස ප්‍රතිපත්තියක පිහිටා සිදුකරන ලද්දක් නොවීය. උදාහරණ වශයෙන් කඩුවෙල ආසනයෙන් ඉල්ලා අස් වූ එම්. ඩී. එච්. ජයවර්ධන මහතාගෙන් හිස් වූ මන්ත්‍රීධූරයට ඡන්දයක් නොපවත්වා නීතිඥ පෝල් පෙරේරා පත් කරනු ලැබීය. හාරිස්පත්තුව ආර්. පී. විජේසිරි මහතා ඉල්ලා අස් වී කුණ්ඩසාලේ අතුරු මැතිවරණයට තරඟ කරන ලද අතර විජේසිරි මහත්මිය හාරිස් පත්තුවට පත් කළේය. මේ අතර පිළිගත් දේශපාලන පක්‍ෂයකට අයත් වූ මන්ත්‍රීවරයකුගෙන් ආසනය හිස් වුවහොත් දින 30 ඇතුළත ඒ සඳහා මන්ත්‍රීවරයකු පත් කිරීමට අදාළ පක්‍ෂ ලේකම් වරයා අපොහොසත් වුවහොත් අතුරු මැතිවරණයක් පැවැත්විය හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලදී.


මේ අතර කුණ්ඩසාලේ එ.ජා.පක්‍ෂ මන්ත්‍රී ඩී. එම්. චිත්‍රපාල මහතාත් මින්නේරිය එ.ජා.පක්‍ෂ මන්ත්‍රී මෙරිල්ද සිල්වා මහතාත් මියයාම නිසා රජය අතුරු මැතිවරණයකට සූදානම් විය. ඡන්ද මධ්‍යස්ථාන වලින් විපක්‍ෂ නියෝජිතයන් පලවා හැරීම වැලැක්වීම සඳහා ශ්‍රීලනිපක්‍ෂය විශාල පිරිසක් අපේක්‍ෂිතයින් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද්දේ මේ අවස්ථාවේදීය. ලංකා ඉතිහාසයේ එකම ඡන්ද කොට්ඨාශයට අපේක්‍ෂකයින් 51 දෙනකු නාමයෝජනා භාරදීම මින්නේරිය අතුරු මැතිවරණය සඳහා සිදුවිය. 1984 ඔක් 25 දින කුණ්ඩසාලේ හා මින්නේරිය පැවැත්වූ අතුරු මැතිවරණයට කුණ්ඩසාලයට අපේක්‍ෂකයින් 39ක් ඉදිරිපත් විය.


1984 ඔක්. 25 දින ලංකාවේ මෙතෙක් වැඩිම අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් වන 51 ඉදිරිපත් වූ මින්නේරිය අතුරු මැතිවරණයේ ප්‍රතිඵල මතු දැක්වෙන වගුවේ පරිදි වේ.


ලංකා ඉතිහාසයේ මෙතෙක් කිසිදු ඡන්ද කොට්ඨාසයක් සඳහා මෙතරම් අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වී නොමැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව දිගට ඡන්ද පත්‍රිකාව ප්‍රකාශ වූයේද මින්නේරිය අතුරු මැතිවරණය සඳහාය. පිළිගත් දේශපාලන පක්‍ෂයක් වූවත් ස්වාධීන අපේක්‍ෂකයකු වූවත් සමාන සැලකීමක් ලබන අතර ඒ අනුව ඡන්ද නියෝජිතයින් 02 බැගින් පත්කිරීමටද අපේක්‍ෂකයාට ඉඩ ලැබේ. ඒ තුළින් සෑම ඡන්ද පොළ මධ්‍යස්ථානයකටම විශාල පිරිසකට පහසුකම් සැලසීම ඡන්ද නිලධාරියාට සිදුවන අතර නීති විරෝධී කටයුතු සිදුකිරීම අවම කළ හැකි විය.

 

 

 

 

 

 

 

 

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ