1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.


නඩු විභාගයේදී රෝහණ විජේවීර සහෝදරයා නීතිඥ සහාය නොලබා තමා වෙනුවෙන් තමාම පෙනී සිටි අතර දින 40කට වැඩි කාලයක් සාක්ෂි දෙමින් ආණ්ඩුවේ මර්දනය හා කුමන්ත්‍රණ හෙළි කළේය. අවසානයේ ලිඛිත කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන මෙන් කොමිසම විසින් රෝහණ සහෝදරයාට දන්වන ලදී. පසුකලෙක “අප මරාදැමුවද අප නගන හඬ සදා නොමියනු ඇත” පොතක් ලෙස මුද්‍රණය කරනු ලැබුවේ එම සාක්ෂියයි.

කෙසේ වුවත් නඩු විභාගය අවසානයේදී දඬුවම් නියම කෙරිණි. එහිදී කොමිසමේ නීතිමය සීමාවද ඉක්මවා යමින් රෝහණ සහෝදරයාට දිවි ඇති තෙක් බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කරන ලදී. එහෙත් පසුව කොමිසම එයට සිදුවූ වරද නිවැරදි කරමින් රෝහණ සහෝදරයාට නියම කළ ජීවිතාන්තය දක්වා සිර දඬුවම කොමිසමෙන් දිය හැකි උපරිම දඬුවම වූ වසර 20ක සිර දඬුවම ලෙසට වෙනස් කරන ලදී. ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කිරීම තුළින්ම පාලකයින්ගේ අභිලාෂය කුමක්දැයි පැහැදිලි වුණි.


1971 අරගලයට සම්බන්ධ වූවන්ට එරෙහිව නඩු විභාග කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ‘අප්‍රේල් මහ නඩුවට’ අමතරව තවත් සිදුවීම් රැසක් පිළිබඳ නඩු විභාග කළේය. ඉන් ප්‍රධාන එකක් වූයේ, ‘රොස්මිඞ් නඩුවයි’. එවකට අගමැතිනියව සිටි සිරිමා බණ්ඩාරනායක මැතිණිය පැහැර ගැනීමට තැත් දැරුවැයි චෝදනා ඉදිරිපත් කරමින් එම නඩුව විභාග විය. මෙම නඩුවේ විත්තිකරුවන් 22ක් සිටි අතර ඉන් 07ක් කාන්තාවෝ වූහ. එම කාන්තාවන් 07 දෙනාගෙන් 06 දෙනෙකු උපාධි අපේක්ෂිකාවන් වීම විශේෂයක් විය. නඩුව අවසාන වනවිට විත්තිකරුවන් 22න් 15 දෙනෙක් වරද පිළිගත් අතර එසේ වරද නොපිළිගත් අය අතර ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා හා දැනටත් පක්ෂය තුළ කටයුතු කරන යූ. ඒ. නන්දසීලි සහෝදරියද වූහ. වරද පිළිනොගත් අයට දඬුවම් ලබාදෙන ලදී.


1971 මාර්තු සිට යාපනය බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි රෝහණ විජේවීර සහෝදරයා අප්‍රේල් මහ නඩුවේ විභාගය සඳහා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට ගෙන එන ලදී. නඩු විභාග වෙමින් පැවැති එම කාලය තුළ විවිධ ක්‍රම මගින් සිරගෙදර එක් එක් කොටස්වල රඳවා සිටි සහෝදරවරුන් සමග සබඳතා ගොඩනගා ගැනීමට රෝහණ සහෝදරයා ක්‍රියා කළේය. මෙය පහසු කටයුත්තක් නොවීය. රෝහණ සහෝදරයා රඳවා තැබුවේ මැගසින් සිරගෙදර තුළ තවත් සිර ගෙදරක් වූ පී මැදිරියේය. එය උස් තාප්ප තනා අනෙක් ශාලාවලින් වෙන්කර තිබිණි. එහෙත් විවිධ උපක්‍රම යොදාගනිමින් ඒ තුළ සිට වුවද පක්ෂය හා නොකඩවා බැඳීම් තිබූ අය සමග සබඳතා ඇති කර ගැනීමට රෝහණ සහෝදරයා කටයුතු කළේය. මේ වන විට මුළු පක්ෂයම සිරගෙදරවල් තුළ කොටුවී සිටි අතර විවිධ කල්ලි කණ්ඩායම් හා ප්‍රවණතාද පැන නැගී තිබිණි. අරගලයේ පරාජයෙන් පසු ඇතිවූ මේ තත්ත්වය ඉතාම සංකීර්ණ විය. සමහර කණ්ඩායම් ප්‍රාදේශීයවාදී ඒවා විය. සමහර කණ්ඩායම් නායකයෙකු ලෙස කටයුතු කළ කිසියම් පුද්ගලයෙකු වටා ගොඩනැගුණු ඒවා විය. ඒ අතරම අරගලයේ පරාජය දරා ගැනීමට හා තේරුම් ගැනීමට නොහැකිකම නිසා නිර්මාණය වූ විවිධ මතවාදයන්ද මේ අය අතර විය. ඊටත් අමතරව ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවේ සුරතලුන් වූ ද්‍රෝහීන් විසින් වපුරා තිබුණු සාවද්‍ය මත හා කතා නිසා ගැටලු හදාගත් අය ද වූහ. මේ අතර සමහර කණ්ඩායම් මතවාදී ලෙස මාඕවාදය නියෝජනය කිරීමට පටන් ගෙන තිබිණි. මෙම තත්ත්වය තුළ පක්ෂය පිළිබඳව සත්‍යයත් අරගලයේ සැබෑ හේතුත් සමාජවාදී විප්ලවය පිළිබඳ මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයත් තහවුරු කොට යළි ගොඩනැගීම බරපතළ අභියෝගයක් විය. විශේෂයෙන් සිරගෙවල් තුළ ඒවායේ නිලධාරීන් ආරම්භ කර තිබූ දැඩි සීමා පැනවීම් හා මර්දනකාරී තත්ත්වය තුළ එය වඩාත් දුෂ්කර විය. එහෙත් රෝහණ සහෝදරයා ඇතුළු පක්ෂය ලෙස පෙනී සිටි සීමිත පිරිස එම මහා අභියෝගය ජය ගත්හ.


මෙම තත්ත්වය තුළ සිරගෙවල්වල දැවැන්ත මතවාදී අරගලයක් ආරම්භ විය. වැරදුණු තැන් පිළිබඳ සංවාද මතුවිය. විරුද්ධ කණ්ඩායම් සමග විවාද මතුවිය. සමහර විවාද ගැටුම් දක්වා වර්ධනය විය. වරක් පක්ෂයට හතුරු ලෙස කටයුතු කළ කණ්ඩායමක් සිරගෙදර වඩු මඩුවේ උල් ආයුධ රැගෙන රෝහණ සහෝදරයා රඳවනු ලැබ සිටි කොටසට හදිසියේ කඩා පැන්නේ රෝහණ සහෝදරයා මරා දැමීමටය. නමුත් එය අසාර්ථක විය.
1971 අරගලයේදී අත්අඩංගුවට පත් නොවූ පිරිසක්ද රට තුළ රහසිගතව ක්‍රියාකාරී වූහ. ඒ අය සමගද සබඳතා ගොඩනගා ගැනීමට රෝහණ සහෝදරයා උත්සාහ කළේය. කෙසේ වෙතත් 1973 දී එම පිරිසෙන් බහුතරය අත්අඩංගුවට පත්වූහ. උපතිස්ස ගමනායක සහෝදරයාද එම පිරිස අතර විය. මේ අතර උමං හාරා සිරගෙවල් සහ කඳවුරු වලින් පැන යෑමට දැරූ උත්සාහයන්ද විය. අනුරාධපුර සිරගෙදරින් එසේ පිරිසක් පැන ගියහ. පැන යෑමට උත්සාහ කර යළි අත්අඩංගුවට පත්වූවන්ට බන්ධනාගාර පාලනය විසින් අමානුෂික ලෙස පහර දෙන ලදී. මේ සියලු ගැටුම්, මතවාද වරද පිළිගැනීම්, නිදහස්වීම්, පැනයාම් හා දඬුවම් ලැබීම් මැද කාලය ගෙවී ගියේය. මහ නඩුවේ නඩු තීන්දුව ලබාදී නඩු කටයුතු අවසන්වීමෙන් පසු සිරගෙවල් තුළ තිබූ නොසන්සුන්තාව තරමක් වෙනස් විය. මතවාදී අරගල වඩාත් වැඩිවූයේ ඉන් පසුවය. මහ නඩුවට මුහුණ දෙන අතරම සහෝදරවරුන් විසින් අසා එවන ලද ප්‍රශ්න රැසකට රෝහණ සහෝදරයා ලිඛිත පිළිතුරු සකස් කර ඒ අය අතර බෙදාහැරීමට පියවර ගත්තේය. (අත්දැකීම් කිහිපයක් වෙනුවෙන් පොත් පිංචක් ලෙස මෑතකදී මුද්‍රණය කරනු ලැබුවේ එම ලේඛනයයි) ඒ මගින් සමහර සහෝදරවරුන් තුළ තිබූ ප්‍රායෝගික ගැටලුවලට මෙන්ම න්‍යායික ගැටලුවලට පිළිතුරු සපයන ලදී. දේශපාලන සිරකරුවන් ලෙස පොත්පත් ලබාගැනීමේ අයිතිය දිනා ගැනීමෙන් පසු මාක්ස් ලෙනින්වාදී අධ්‍යාපනය වඩා වේගවත් හා ක්‍රමවත් විය. 

 

පාලකයන් සරසවි සිරගෙවල් බවට පත්කරන විට විප්ලවවාදීහු සිරගෙවල් මාක්ස්වාදී සරසවි බවට පත්කරගත්හ. පක්ෂය න්‍යායික වශයෙන් වඩා නිවැරදි ස්ථාවරයන්ට එන ලද්දේ මේ වකවානුවේදීය. එහිදී පක්ෂය කලින් තිබූ සමහර මාඕවාදී සංකල්ප මුළුමනින්ම පිටුදැක මාක්ස් ලෙනින්වාදී ස්ථාවරත්වයන්ට පැමිණියේය. ශ්‍රී ලංකාවේ ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂයක් නිර්මාණය කළ යුතුය යන ස්ථාවරයට පැමිණියේ සිරගෙවල් තුළදීය. එසේම සිරගෙවල් තුළ විවිධ දේශපාලන හා ඓතිහාසික කරුණු පිළිබඳව පර්යේෂණ ද කරන ලදී. ලංකාවේ පූර්ව ධනේශ්වර සමාජ ක්‍රමය එතෙක් හඳුනාගෙන තිබුණේ පොදුවේ වැඩවසම් සමාජ ක්‍රමය ලෙසය. එහෙත් ලංකාවේ පූර්ව ධනේශ්වර සමාජ ක්‍රමය යුරෝපා වැඩවසම් සමාජ ක්‍රමයට වඩා වෙනස් ආසියාතික නිෂ්පාදන රටාව සහිත සමාජ ක්‍රමයක්ය යන නව සොයා ගැනීම කරන ලද්දේ ජවිපෙ විසින් සිරගෙවල් තුළදීය. එය අපේ රටේ ඉතිහාසය නිවැරදිව විග්‍රහ කිරීම පිළිබඳව තැබූ විශාල පියවරක් විය.


ජවිපෙ යළි ගොඩනැගීම පැත්තෙන් ගත්විට 1975 මාර්තු 18 වැනිදා ඉතාම වැදගත් පියවරක් සිරගෙදර දී තබන ලදී. මාර්තු 18 යනු පැරිස් කොමියුනයේ 104 වැනි සමරු දිනය විය. එදින සිරගෙදර දී රෝහණ විජේවීර සහෝදරයාගේ මෙහෙයවීම යටතේ ජනතා විමුක්ති පෙරමුණ සඳහා තාවකාලිකව මධ්‍යම කාරක සභාවක් පත්කර ගන්නා ලදී. එය ජවිපෙ බොල්ෂෙවික් පක්ෂයක් ලෙස වර්ධනය වීමේ වැදගත්ම පියවර විය. ඒ වනතුරුම ජවිපෙ පැවැතියේ තාවකාලික සංවිධාන ව්‍යුහයක් තුළය. එය ලෙනින්වාදී සංවිධාන ප්‍රතිපත්තිය වූ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවයට අනුව ගොඩනැගුණක් නොවීය. නමුත් 1975 මාර්තු 18 වෙනිදා තාවකාලික මධ්‍යම කමිටුවක් ගොඩනැගීම සමග පක්ෂයේ විධිමත් සංවිධාන රටාවක් නිර්මාණය කිරීම ඇරඹිණි.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්