IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පළමු පළාත් සභා මැතිවරණයේ බිහිසුණු මතකය

 

ශ්‍රී ලංකාවේ දේශපාලන හා පරිපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් “පළාත් සභා පිහිටුවීම” සඳහන් කළ හැකිය. 1987 වර්ෂයේ අත්සන් කළ “ඉන්දු - ලංකා ගිවිසුම” අනුව බලය විමධ්‍යගත කිරීම පිණිස පිහිටු වූ පළාත් සභා ක්‍රමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය වශයෙන් සඳහන් කළ හැකිය. එවකට පැවති දෙමළ ඊලාම් කොටි යුද්ධය සමනය කර ගැනීමේ අටියෙන් හා පරිපාලනය විමධ්‍යගත කොට බලය බෙදා දී උතුරු - නැගෙනහිර පළාත්වලටත් සමාන මට්ටමේ පරිපාලන ඒකකයන් ලබාදීම මේ තුළින් බලාපොරොත්තු විය.


මධ්‍යම ආණ්ඩුව සතුව පැවති මධ්‍යගත බලය පළාත් වලට ද ලබා දී එම ජනතාවගේ සාධනීය අභිලාෂයන් සාර්ථකව ඉෂ්ට කරලීමේ මගක් වශයෙන් මෙම පළාත් සභා ක්‍රමය හඳුනා ගැනිණි. 


මෙම ක්‍රමය කොපමණ දුරට සාර්ථක වූයේ ද? එහි අභිමතාර්ථ ඉටු වූයේ ද යන්න වෙනමම සාකච්ඡා කළ යුතු කරුණකි. පරිපාලනය විමධ්‍යගත වී සාමාන්‍ය ජනතාවට සරල හා පහසු වැඩ පිළිවෙළක් උදාවෙනවා වෙනුවට සෞඛ්‍ය, අධ්‍යාපන, ඉඩම් වැනි ක්ෂේත්‍රයන්හි ඇති වූ කඩා වැටීම් වෙනමම සාකච්ඡා කළ යුතුය.


කෙසේ වූවද මෙම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස පිහිටුවා ගන්නා පළාත් සභාවේ ප්‍රථම මැතිවරණ අවධිය ගැන සිහි වන විට මතකයට ආ කරුණු කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වැදගත් යයි සිතමි. 


මුල්ම පළාත් සභා මැතිවරණය පැවතියේ ඉතාම භයානක, භීෂණකාරි වතාවරණයක් මුළු රටපුරාම පැවති අවධියකය. 1983 ජූලි කලබලවලින් පසුව ඊලාම් කොටි ත්‍රස්ත කලබල වර්ධනය වෙමින් පවතින අතරතුරම 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගම රටුපුරා ජවිපෙ භීෂණය ආරම්භ විය. ගිවිසුම අත්සන් කිරීමත්, සමඟ රටපුරා ඇති වූ කලකෝලාහල ගිනි ගැනීම් - මිනීමැරුම් අතිශයින් බිහිසුණු විය. එම කලබල හා විරෝධතා මධ්‍යයේම පළාත් සභාවලට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද ප්‍රකාශයට පත් විය. ඒ සමගම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇති වූ විරෝධතාවයන් තව තවත් තීව්ර වී රට පුරාම වර්ධනය විය. දේශපාලනයේ නියුතු වූවන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයවලුන් - හිතවතුන් ආදී විවිධ අය කරා එම භීෂණය පැතිර ගියේය. දේශපාලනයේ නිරත වන අයට පැනවූ දඬුවම් ඉතාම අමානුෂික විය. විශේෂයෙන් දකුණු පළාතේ එම තත්ත්වය ඉතාම භයානක විය. එම වාතාවරණය තුළ පළාත් සභා මැතිවරණයට අපේක්‍ෂකයන් සොයා ගැනීමත් දුෂ්කර විය. වර්තමානයේ පාර්ලිමේන්තු-පළාත් සභා-ප්‍රාදේශීය සභා වැනි ඡන්ද විමසීම්වල දී ඉදිරිපත් වන අපේක්‍ෂක සංඛ්‍යාව කොතරම් අති විශාල ද? ඔවුන්ගේ කී දෙනෙකුට අපේක්‍ෂකත්වය හිමි වෙනවාද? යන්න අප හැම කෙනකුම දන්නා කරුණකි. ඔවුහු අපේක්‍ෂකත්වය ලබා ගැනීමට විශාල වෙහෙසක්, මහන්සියක් දරති. එනමුත් ප්‍රථම පළාත් සභා මැතිවරණයේ දී වෙනත් ප්‍රදේශවලට වඩා දකුණු පළාතේ පැවති විශේෂත්වය වූයේ අපේක්‍ෂකයෙකු සොයා ගැනීමේ අපහසුතාව යයි. 


විශේෂයෙන්ම මා මෙහි සඳහන් කරනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැනයි. එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප සංවිධානයේ නායකයා වූයේ එවක දිසා අමාත්‍ය දොස්තර පී. එම්. බී. සිරිල් මහතායි. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභා විධායක මන්ත්‍රීවරයෙකු වූ මම සිරිල් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද ක්‍රියා කළෙමි. පළාත් සභා අපේක්‍ෂක ලැයිස්තුව සකස් කොට පක්‍ෂ මූලස්ථානයට ඉදිරිපත් කිරීම දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වශයෙන් සිරිල් මහතාට පැවරුණි එතුමා මා හට උපදෙස් දුන්නේ කෙසේ හෝ පළාත් සභා අපේක්‍ෂක ලැයිස්තුව සකස් කරන ලෙසයි. සිරිල් මහතා සමඟ එකතුව තංගල්ල, බෙලිඅත්ත, මුල්ගිරිගල හා තිස්සමහාරාමය යන ආසන හතර සම්බන්ධ වන පරිදි හා නියෝජනය සාධාරණ වන පරිදි අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමට ද උපදෙස් ලැබිණි. කෙසේ හෝ අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන අය සොයා දිස්ත්‍රික්කය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළත් එවකට ඡන්දවලට ඉදිරිපත් වන හා දේශපාලනය කරන්න අය පසුපස ජවිපෙ භීෂණය හඹා ආ බැවින් අවශ්‍ය අය සොයා ගැනීම ඉතාමත් අසීරු විය.


ඉතා අපහසුවෙන් සොයා ගත් පිරිසක් සමඟ දන්වා තිබූ දිනයට පක්‍ෂ මූලස්ථානයට යාමට නියමිතව තිබුණි. ඒ අනුව සිරිල් මහතාත් මාත් කීප දෙනෙක් අපේ වාහනවලට නංවා ගත් අතර තවත් කීප දෙනෙක් පොරොන්දු වූයේ ඒ අය බස් රථයෙන් හෝ වෙනත් ක්‍රමයකින් කොළඹ සිරිකොත පක්‍ෂ මූලස්ථානට පැමිණෙන බවයි. කෙසේ වූවද අපි කොළඹට ළඟා වී එදින සවස 6.00ට නාම යෝජනා අත්සන් කිරීමට නියමිතව තිබූ බැවින් එයට සූදානම් වී සිටියෙමු. සවස හයට තබා රාත්‍රී අටවන තුරුත් තිදෙනෙක් පැමිණ සිටියේ නැත. මේ තත්ත්වය නිසා නාමයෝජනා පත්‍රය අත්සන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය. මේ තත්ත්වය පක්‍ෂ මූලස්ථානයට සැලකිරීමත් සමග කීවේ. “කෙසේ හෝ ඉතිරි තිදෙනා සොයා ගෙන එන ලෙසයි..” මම වහාම හම්බන්තොට බලා පිටත් වීමි. මුලින් පැමිණෙන බව කියු තිදෙනාම සොයා ගැනීමටවත් ඉන්නා තැන් ගැන ආරංචියක්වත් ලබා ගන්නට නොහැකි විය. කෙසේ හෝ මහ රෑම දිස්ත්‍රික්කය පුරාම සොයා වෙනත් තුන් දෙනෙක් සොයා ගෙන ඔවුන් සමග පසුවදා උදේ කොළඹට පැමිණ වාහනයේ බොනට්ටුව උඩ තබාගෙනම නාමයෝජනා පත්‍රයට අත්සන් ගෙන ඉදිරිපත් කළෙමි. පසුව ඔවුන් ඡන්දයට ඉදිරිපත් කළෙමි. පසුව ඔවුහු ඡන්දයට ඉදිරිපත් වී වැඩ කළහ. පසුව අහම්බයෙන් හදිසියේ සොයාගත් සමහරුනුත් ජයග්‍රහණය කර තිබුණි. එදා මුල් පළාත් සභා ඡන්දයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයන් සොයා ගත්තේ ඒ අයුරිනි.

 

 

 

 



අදහස් (0)

පළමු පළාත් සභා මැතිවරණයේ බිහිසුණු මතකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site