තමා විශ්වාස කරන දේශපාලන අරමුණ වෙනුවෙන් දිවි පරදුවට තබා ප්‍රතිපත්තිගරුකව සේවය කරන දේශපාලනඥයන් හමුවන්නේ කලාතුරකිනි. විරුද්ධවාදියා වශීකරන ගුණයෙන් හා සතුරු බළකොටු බිඳ හෙළා පක්‍ෂයත් රටත් පෙරට ගෙන යාමට දිවි හිමියෙන් කැපවූ පෙරළිකාර දේශපාලන චරිතයක් ලෙස ද. මු. දසනායක හඳුන්වා දිය හැකිය.


1953 අප්‍රේල් 29 වැනිදා ආණමඩුවේදී උපත ලැබ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කළ ද. මු. 1993 වනවිට මුළු දේශපාලන ක්‍ෂෙත්‍රයම උඩු යටිකුරු කළ හැකි පෙරළිකාරයකු බව රටම දැනගත්තේය.
එම කීර්තිය ඔහු ලැබුවේ මැර බලයෙන් හෝ පක්‍ෂ මාරුවෙන් නොව තම හදවතට එකඟව ගත් ක්‍රියාමාර්ග තුළිනි. 1993 වනවිට රට පුරා නැගෙමින් තිබූ ආණ්ඩු විරෝධී රැල්ල නියෝජනය කිරීමට එවැනි සංවිධායකයන් ශ්‍රීලනිප නායකත්වයට උවමනා වී තිබිණි. 


ආණමඩුව ජනතාවත් පක්‍ෂ නායකත්වයත් ඒ සඳහා නම් කළේ ද. මු. වය. ඒ වනවිට ශක්තිමත් පදනමක් එක්සත් ජාතික පක්‍ෂයට ගම් මට්ටමින් තිබිණ. “කවුරු ආවත් ආණමඩුව යූ.ඇන්.පී. යෙන් ගලවනවා බොරු”. පාරම්පරික පාක්‍ෂිකයෝ කටමැත දෙඩූහ.


“අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය” යැයි අනිකුත් දේශපාලනඥයෝ ජනතාව ඇමතුවද ද. මු. හැමෝටම කීවේ “මචෝ” කියාය. පාක්‍ෂික හෝ විරුද්ධ පාක්‍ෂික හැමටම “මචෝ” යැයි ඇමැතීම නිසා ජනතාව දමුට තව තවත් ළංවූහ. 


1993 දී වයඹ පළාත් සභා මැතිවරණය උදාවූයේ ගිනිකෙළි හා ගිනි අවි හරඹ මැදය. එජාපය හා පොදු පෙරමුණ සමග එජාපයෙන් බිඳීගිය “රාජාලියා පක්‍ෂය” ගැටුණේය. 


ද. මු. ට දේශපාලනයේ සතර මායිම් කියා දුන්නේ කෘතහස්ත දේශපාලනඥයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාවය. ද. මු. ගුරු ගෞරවය නිතරම ආරක්‍ෂා කළ නමුත් ඔහුගේ උපාය මාර්ග මෙන්ම අනම්‍ය ක්‍රියා මාර්ගද ඉන් ඔබ්බට ගියේය. 


1993 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය එජාපයට ගම් මට්ටමින් වාසිසහගත බව පෙනුණි. එහෙත් කවුරුත් මවිත කරමින් ආණමඩුව පොදුජන එක්සත් පෙරමුණ දිනුවේ ඡන්ද දෙදහසක පරතරයෙනි. ද. මු. වීරයා වූ අතර ඔහුට පළාත් සභාවේ අසුනක් හිමිවිය. 


1994 දී පැවැත්වූ මහ මැතිවරණය ඉලක්ක කරගත් ද. මු. ගේ පෙරළිකාර ක්‍රියා නිසා එම අසුන දස දහසකින් පොදු පෙරමුණ ජයගත් අතර මනාප හතළිස් දහසක් ලැබූ ද. මු. පාර්ලිමේන්තුවට පත්විය. 


ඌණ සංවර්ධිත පළාතක් ලෙස පැවති ආණමඩුවට සංවර්ධනයේ අරුණලු වැටෙන්නට වූයේ ද. මු. මන්ත්‍රීවරයා නිසාය. ද. මු. ගේ සිරුර තුළ සිටි යෝධයා තම ප්‍රගතිශීලී අරමුණු සාක්ෂාත් කර ගැනීමට නැගී සිටියේය.
මේ අතර ද. මු. පුවත් මවන්නෙකු ලෙස මාධ්‍ය හරහා ප්‍රචලිත වන්නට විය. ඒ ඔහුගේ දඩිබිඩි හැසිරීම් රටාව නිසාය. “ද. මු. ට ඉවසිල්ලක් නෑ”, “ද. මු. ගෙන් තවත් පෙරළියක්”, “ද. මු. යළිත් රිමාන්ඞ්”, “ද. මු. ගේ සහෝදරයාත් අත්අඩංගුවේ” වැනි සිරස්තලවලින් මුල් පිටුව සැරසිණි.


ද. මු. මැරයෙකු, හිතුවක්කාරයෙකු ලෙස කොළඹට ආරංචි වුවද ඔහු නියම ගැමියෙකු හා රසවතකු ලෙස ගමේ අය අතර ජනප්‍රිය විය. 


පාර්ලිමේන්තු ගිය ද. මු. ට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිකම ජනපතිනි චන්ද්‍රිකා විසින් පිරිනැමිණි. ඔහු එතුළින් විශිෂ්ට සේවයක් ආණමඩුවටත් රටටත් කළේය. 


1994 දී ද. මු. ආණමඩුව දිනුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිව්වැන්නා ලෙසිනි. එහෙත් 2000 දී ඔහු දිස්ත්‍රික්කයෙන්ම පළමුවැනියා වූයේ එම ජනප්‍රියත්වය තුළිනි. 2001 දී පොදුජන පෙරමුණ පරාජයට පත්වී ආණ්ඩු බලය අහිමිවූ විට ද. මු. ආණමඩුව වැඩි ජන්ද 7000 කින් දිනුවේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපය ලබමිනි. 


ප්‍රතිගාමීන්ට බරපතළ අභියෝගයක්වූ ද. මු. ට බාල්දි පිට බාල්දි වැටෙන්නට වූයේ මේ කාලයේය. ඒ ඔහුට නඩු පැවරීම තරම් දුරදිග ගියේය. 


“මට මේ කෙනැහිලි ශ්‍රී ලංකා කාරයෙක් නිසයි. මචෝ මං මිනිහෙක් වුණේ මේ පක්‍ෂය නිසා. මළත් ඒක අත අරින්නෙ නෑ” ද. මු. හිතවතුන්ට කීය. 


මෙලෙස ද. මු. දසනායකයන් විවිධ අත්දැකීම් තුළින් දේශපාලන පරිණතභාවයට පත්විණ. 


අශෝක වඩිගමංගාව, පෙස්ටස් පෙරේරා, පාලිත රංග බණ්ඩාර වැනි එජාප දැවැන්තයන් සමග හැප්පුණු දේශපාලන චරිතයක් වූ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු වෙත්ම විරුද්ධවාදීන් සමග වුවද එකමුතුව කටයුතු කිරීමට නැඹුරු විය. 


ආසනය තුළත් දිස්ත්‍රික්කය මෙන්ම වයඹ පළාත තුළත් සමස්ත රට පුරාත් පක්‍ෂයේ අනන්‍යතාව රැක ගනිමින් විපක්‍ෂය සමග ගැටුම් අවම කරගනිමින් සංවර්ධන කටයුතු සඳහා සම්බන්ධවීමට ද. මු. ට හැකිවිය. 
නියෝජ්‍ය ඇමැති ධුරය සත් වසරක් දැරූ පසුව ජනපති මහින්ද රාජපක්‍ෂයන්ගෙන් අමාත්‍යධුරයක් සඳහා ද. මු. ට ඇරයුම් ලැබිණ. ඒ ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ධුරයයි. එය හරියටම ද. මු. වෙත ළඟාවූ දේව වරමක් වැන්න. වැඩ කරන්නට බලා සිටින ඔහුට රාජකාරිය දේවකාරියක්ම විය. 


යුද වාතාවරණයේ උණුසුම පහව යන්නට පෙරම මුදාගත් ප්‍රදේශවල සිවිල් ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමේ භාරදූර වගකීම පැවරුණේ ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයටය. මෙය සරල කරුණක් සේ පෙනුණත් භාරධූර මෙන්ම අභියෝගාත්මක රාජකාරියක් විය. 


කොටි සංවිධානය විසින් යටත් කරගෙන තිබූ බිම් අඟලෙන් අඟල හමුදාව වෙත ලබාගත් අතර රජයේ සැලසුම අනුව එහි ජනයා පදිංචි කළ යුතුව තිබිණ. මෙය කොටි සංවිධානයේ ඇහැට කටු ඇනෙනවාක් මෙන් දැනිණ. ඒ නිසා කොටි සංවිධානයේ වෛරය ආණඩුවටත් එහි නියෝග ක්‍රියාත්මක කරන ඇමැතිවරුන්ටත් එල්ල විය. ද. මු. ද ඒ ගොඩට වැටිණ. 


“ද. මු. ට රාජකාරියක් පැවරුවාම හැසිරෙන්නෙ හරියට කඟවේනෙක් වගේ. ආයෙ කාටවත් වළක්වන්න බෑ.”


ද. මු. ගේ මිතුරෝ ඔහු ගැන කියන්නේ එසේය. උතුරේ රාජකාරි සඳහාද ඔහු සියල්ලන්ගේම සහය ඉල්ලුවේය. ගිනි ඇවිළෙන උතුරට යාමට බොහෝ දෙනා මැළි වූහ. වෙනත් අමාත්‍යංශයක් ඉල්ලීමට තරම් ද. මු. නිවටයකු නොවීය. ඍජු ලෙසම කොටි හමුවන මෙම රාජකාරියේදී ඔහු විශ්වාස තැබුවේ හෘදය සාක්‍ෂිය ගැන පමණි. 


නිතර නිතර උතුරටත්, කොළඹටත් යාමට සිදුවීමෙන් ද. මු. කාර්යබහුල විය. වයඹින් ආ කළු සුදු ඇඳුම්කාරයා උතුරු - නැගෙනහිර සාමාන්‍ය ජනතාව මුලින්ම බැලුවේ සැකමුසු විමතියෙනි. 


එහෙත් “මචෝ... වරෙල්ලා බං” යැයි සුහදව ඔවුන් අමතා ඔවුන් වෙනුවෙන් කඟවේනකු සේ දුවන පනින ඒ අතරම වගකිවයුත්තන්ට මහ හඬින් දොස් පවරන පෙරළිකාරයාගේ මිනිස්කම හඳුනාගත් දෙමළ, මුස්ලිම් ජනතාව ඔහු වැලඳ ගත්තේය.


ද. මු. ගැන “අපේ එකෙක්” ලෙස උතුරු - නැගෙනහිර ජනයා හිතුවද කොටි සංවිධානය ද.මු. බිල්ලට ගැනීමට මොහොතක් එනතුරු බලා සිටියහ. 


ඒ දිනය ඉක්මනින්ම උදාවිය. ඒ 2008 ජනවාරි මස 8 වැනිදාය. උතුරු - නැගෙනහිර මුදාගත් ප්‍රදේශවල තොරතුරු රැගෙන ද. මු. ආණමඩුවේ සිට කොළඹට එන දිනයයි. 


ඒ වනවිටද රුදුරු කොටි ත්‍රස්තවාදය ශ්‍රීලනිප රජයේ ප්‍රභූ ජීවිත රැසක් මහ මගදී බිලිගෙන තිබිණ. එසේම එජාපයේ ද ප්‍රභූ ජීවිත රැසක්  බිලිගත් තොරතුරු වාර්තා විය. ඒ තොරතුරු ද. මු. ගේ ගමන නතර කරන්නට හේතු නොවීය.


මන්ත්‍රීවරයා රැගත් පැජරෝ රථය මීගමු පාරට අවතීර්ණ විය. එය ජාඇල - තුඩැල්ල පසු කළේය. කොළඹට ඇත්තේ සැතපුම් 12 කි. ජනාකීර්ණ නගරය දෙදරුම් කවමින් අධිබලැති ක්ලෙමෝ බෝම්බය පුපුරා හැරිණ. 
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ, සී. වී. ගුණරත්න ආදී කොටගත් ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ පතාක යෝධයන් අමු අමුවේ බිලිගත් බෙදුම්වාදී රුදුරු කොටි බෝම්බයේ අලුත්ම ගොදුර වූයේ “ආණමඩුවේ කඟවේනා” හෙවත් ද.මු. දසනායක නමැති මානව හිතවාදියාය.


එල්.ටී.ටී.ඊ. යට ඇඟිල්ල දිගු වූ මෙම ප්‍රහාරයේදී තිදෙනකු මියගොස් දස දෙනෙක් තුවාල ලැබූහ. දසනායක මුදියන්සේලාගේ දසනායක නමැති 55 හැවිරිදි ජන නායකයාද ඒ අතර විය. 


එල්.ටී.ටී.ඊ. යට මේ පිළිබඳ ඍජු චෝදනා එල්ල වුවද දේශපාලනයේදී මිතුරන් හෝ සතුරන් නොමැති බව දන්නා ජනතාව එම ඝාතනය පිළිබඳ විවිධ මත පළ කළහ. කාලයේ වැලිතලාවෙන් වැසීගිය තවත් එක්තරා ඛේදවාචකයක් ලෙස ද.මු. පිළිබඳ සිද්ධිය සැලැකෙන්නේ එවැනි ඝාතන වැළැක්ම එම යුගයේ සිදුවූ බැවිනි.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
සංරක්‍ෂිත ඡායාරූප