සාමාන්‍ය ජනතාවගෙන් වුවත් බුද්ධිමතුන්ය. එහි වැල්වටාරම් නැත. ඔහුට සිනා නොයන නමුත් හිනා යන අවස්ථාවන්ද නැතුවා නොවේ. මේ නිසා බුද්ධිමතුන් අතරට පැමිණ ඔහුගේ කතා ඇසීමට සාමාන්‍ය ජනතාවද වැළ නොකැඩී පැමිණියහ. එයින් කුල්මත් වන ජනතාව සතුට ප්‍රකාශ කරන්නට අත්පොළසන් දෙමින් අතරින් පතර විසිල් හඬක් අසුණත් ජේ. ආර්. දත් දෙතිසම දක්වා සිනා සෙන්නේ නැත.


ඔහුගේ කතා විලාශය පිළිබඳව කිසිවෙකුගේවත් විවේචනයක් නැත. ඊට වැය වන්නේ වචන දෙකක් එනම් හොඳයි ටිකයි යන්නය. කතාව හොඳ නමුත් එය ටිකක් යන්නත් මාතෘකාවට අදාළව පිට නොපැන ප්‍රශ්තුත කාරණය විස්තර කිරීම සඳහාම පමණක් වීම එහි තේරුම්ය. ඔහුගේ සිංහල කතාවක් ඇසීමට කවුරුත් ප්‍රියහ. එහි අමුතු හා ගැඹූරු උච්චාරණයක් එහි ගැබ් වීමය.


එය සනාථ කෙරෙන එක් උදාහරණයක් ඇත. ජේ. ආර්.ගේ පාලන කාලය තුළදී බෝම්බයකින් එක් මන්ත්‍රීවරයෙකු මිය ගොස් ඇමැති ලලිත් ඇතුළත්මුදලි බරපතළ තුවාල සිදුවූ ප්‍රවෘත්තිය ඔහු විද්‍යුත් මාධ්‍යයෙන් රටටම ප්‍රකාශ කළේ එම අවස්ථාවේදී කිහිප දෙනෙක් තුවාල භුක්ති වින්ද බවත් කිහිප දෙනෙකුම ශයිලකර්ම කිරීමට සිදුවූ බවත් වශයෙනි.


අගමැති ඩී. ඇස්ට පුතුන් දෙදෙනෙකු සිටියහ. එයින් එක් අයෙකු අගමැති විය. බණ්ඩාරනායකට දියණියන් දෙදෙනෙකු හා එක් පුතෙකු විය. එයින් එක් දියණියක් අගමැති හා ජනාධිපති වූවාය. පුතා විරුද්ධ පක්ෂයේ නායකයා විය. කතානායකවරයා විය. ඩඞ්ලි අගමැති විය. දරුවන් නැත. විජේතුංග අගමැති හා ජනාධිපති විය. දරුවන් සිටියත් දේශපාලනයට ආවේ නැත. සර්. ජෝන් අගමැති විය. දරුවන් නැත. දහනායක අගමැති විය. දරුවන් නැත. රනිල් අගමැති විය. දරුවන් නැත. තව උදාහරණ කොතෙකුත් ඇතත් මේ එයින් කිහිපයක් පමණි.


ජේ. ආර්. ටද දරුවෙක් ඇත. ඔහු තම පියාගේ දේශපාලන කටයුතුවලට සහාය දැක්වුවද ප්‍රසිද්ධියේ දේශපාලනයට අවතීරණ වූයේ නැත. කලක් මහණ දම් පිරුවේය. යළිත් හීරළු විය.


මේ හේතුව නිසා ජේ. ආර්.ට තමා ඇවෑමෙන් ඔටුණු පළඳවන්නට පුතෙකු හෝ දියණියක නැති විය. පරම්පරාව ගෙන යෑමට පුතාට දාව මුණුපුරන් ඇතත් ඔවුන්ද සීයාගේ අඩිපාරේ ගමන් කරන්නට කැමැත්තක් දක්වා නොමැත.


එසේම ජේ. ආර්. දරුවන්ට බලෙන් කිසිවක් පටවන්නට ගියේද නැත. ඔවුන්ගේ නිදහස තම නිදහසටත් වඩා ඔහු අගය කළේය.
බුදු දහම පිළිබඳව සිංහල හා ඉංග්‍රීසි පොත් පත් බොහොමයක් පරිශීලනය කර ඇති ජේ. ආර්. බුදු දහමෙන් අනුදැන වදාළ කර්ම ශක්තිය පිළිබඳව දැඩි විශ්වාසයකින් හා පිළිගැනීමකින් මේ නිහඬතාවයට එකම හේතුව විය හැකි යැයි සිතිය හැක.


දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඒකාධිපති වියරුවෙන් මුළු ලොවම දෙපයට මැදි කර ගන්නට බිහිසුණු කුරිරු සාපරාධී ප්‍රයත්නයක් දරමින් හිට්ලර් හා මුසෝලනී රටක් රටක් පාසා යුද ගිනි අවුළුවමින් යද්දී දැල්වෙන හුළුඅත්තක් ඔසවාගෙන ජපානය ඔවුන් අතරට එක්වීමෙන් ලෝක පරාජය හමුවේ දණින් වැටී මහ ජාතීන්ගෙන් සමාව අයදිද්දී මෛත්‍රී සාගරයක් බඳු අප සම්මා සම්බුදු රදුන්ගේ වෛරයේ ආදීනව ලෝක නායකයින් හමුවේ තැබූ ජේ. ආර්. ජපානයට නිදහස ලබාදුන්නේ ද ප්‍රගුණ කළ බුදු දහමේ සදා නැමදිය යුතු සම්බුදු වදනකට ලෝක නායකයන්ගේ කාරුණික අවධානය යොමු කරවමිනි.


මෙහි මුලින් සඳහන් කළ පරිදි ඔහු ඉවසීමද ප්‍රගුණ කළ අයෙකි. ඩී. ඇස්. ගෙන් පසු අගමැතිකම සර් ජෝන්ට ලැබී අනතුරුව තවත් ඊළඟ අනුප්‍රාප්තිකයා වීම දැන දැනත් ඩී. ඇස්. පුත් ඩඞ්ලිට එය ලැබෙන්නට සැලැවීමේදී තමන් තුන්වැනි තැනට පත්වීම පිළිබඳව බණ්ඩාරනායක මෙන් උරණ නොවී ඉවසා සිටියේය. සර් ජෝන් බලයෙන් පහවීමෙන් පසු නායකත්වය තමන්ට ලැබෙතැයි සිතා සිටි නමුත් පනස් තුනේ හර්තාලයෙන් පසු අගමැතිකමෙන් අස්වූ ඩඞ්ලිට යළිත් පක්ෂ නායකත්වය ලබා දීමට පක්ෂයේ විධායක කමිටුව තමන් නොසලකා කටයුතු කිරීම පිළිබඳව ජේ. ආර්. උරණ වූයේ නැත.


ඩඞ්ලිට පණස් තුන දේශපාලන මාරකයක් බවට පත්වන්නට හාල් මිල මුදල් ඇමැති හැටියට ඉහළ නැංවූයේ ඩඞ්ලිගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට ගත් කුමන්ත්‍රණකාරී පියවරක් හැටියට පසුව අනාවරණය වුවත්, ඊට උත්තර බඳින්නට නොගොස් ඔහු මුනිවත රැක්කේය. නවසිය හැත්තෑවේදී ඩඞ්ලිගේ පරාජයෙන් පසු ඉවසා සිටීමේ රතු ඉර පැන්න ජේ. ආර්. පක්ෂයේ නායකත්වය පිළිබඳ බැරිම තැන අරගලයක් ඇති කළද පක්ෂයේ උන්නතිය උදෙසා එය පවුලේ මත භේදයක් බවට පත් කරගනිමින් ඩඞ්ලි හා මිත්‍ර විය.
මෙහි ප්‍රතිඵලය වූයේ ඩඞ්ලි විපක්ෂයේ නායකත්වයේ රැඳෙමින් ජේ. ආර්.ට මැති සබේ විපක්ෂනායක ධුරය පිරිනැමීය.


එක්සත් ජාතික පක්ෂය 1960 ජූලි මහ මැතිවරණයෙන් පරාජයවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආ තැනේදී එක්සත් ජාතික පක්ෂය එම රජයට සහයෝගය දැක්විය යුතු බවට ආන්දෝලනාත්මක යෝජනාවක් ගෙන ඒමෙන් පසු පක්ෂය තුළින්ම මහත් විරෝධතාවයක් මතු වෙද්දී ජේ. ආර්. කිසිවක් මුවින් නොබැණ සිටි නියායෙන් නිශ්ශබ්දව ඉවසා සිටියේය.


අනතුරුව නවසිය හැත්තෑතුනේදී ඩඞ්ලිගේ මරණය සිදුවිය. ජේ. ආර්. ඒකපාක්ෂිකව පක්ෂයේ නායකත්වයට පත්විය. නවසිය හතළිස් හතේ සිට නවසිය හැත්තෑ තුන දක්වා වසර විසි හයක් තිස්සේ දේශපාලන පොරපිටියේ ජය හා පරාජය එකසේ විඳගත් ජේ. ආර්. පක්ෂයේ නායකත්වයට පත්වූයේ ඉදිරි මහ මැතිවරණයේදී විපක්ෂයේ ජයග්‍රහණය හදවතේ සනිටුහන් කර ගනිමිනි.


ජේ. ආර්. ගේ මූලිකත්වයෙන් පැවැති කොළඹ ක්‍රමය වැඩ සටහනද මෙරටට මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටද මහත් ඵලප්‍රයෝජන අත්කර දුන් ජාත්‍යන්තර එකතුවක් විය.


නවසිය හැත්තෑවේදී බලයට පත් සිරිමා බණ්ඩාරනායක රාජ්‍ය හාල්පොල්ල, මිරිස් පොල්ල ආදී ජනතාවට පොලු තියමින් අඟහරුවාදා හා සිකුරාදා දෙදින බත් කෑම තහනම් කොට ජනතාවගේ ජන ජීවිතයට මරු පහර එල්ල කරමින් කප්පාදු කරගෙන යද්දී ඔවුන්ගේ පිළිකුලට භාජනය වී තිබීමත් ජේ. ආර්.ගේ ඉදිරි සැලැස්ම මුදුන්පත් කරගැනීමට කදිම අවස්ථාවක් උදා කරලීය.


මේ අනුව නවයසිය හැත්තෑ හතේ පැවැති මහ මැතිවරණයෙන් මැතිණියගේ පක්ෂය අටට බස්සවා එපමණකින් නොනැවතී සමාජවාදී පොරෝණය මැතිනියගේ හිස සිට දෙපතුළ දක්වා පෙරවූ වාමාංශික කොටස්වලට මැති සබය අහිමි කරවමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ නායක ජේ. ආර්. ජයවර්ධන ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්වරට හයෙන් පහක ජයක් ලැබීය.


අනතුරුව එහි අගමැති වෙමින් හා 78 ව්‍යවස්ථා සංශෝධන යෙන් පසු පිරිමියෙකු ගැහැණියෙකුත් ගැහැණියක පිරිමියෙකුත් කරන්නට පමණක් බැරි විධායක බලයක් ඇති ජනාධිපති ඔටුන්න හිසමත දරාගෙන ජනමත විචාරණයකින් කාල සීමාව දික්කර ගත්තේ අර්ධ ඒකාධිපතියෙකුගේ ස්වරූපයෙනි. පසුව අධිකරණයට හා ව්‍යවස්ථාදායකය, විධායකය ඉදිරියේ කණාමැදිරියන් බවට පත් කළ ජේ. ආර්. මුළු රාජ්‍ය තන්ත්‍රය පුරාම බලය විහිදුවන දිවයුරු පරිද්දෙනි.


ඔහු විරුද්ධවාදීන්ට පහර පිට පහර දුන්නේය. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය වසර කිහිපයකට අත්හිටුවා ලීමට පියවර ගත්තේය. ජූලි වැඩ වර්ජකයන්ට කිසිසේත්ම අනුකම්පා නොකළේය. 


රැකියා අහිමිවූ ඉතා අසරණ භාවයට පත්වූ ඔවුන්ගේ බැගෑපත් ආයාචනයක් පවා නොරිස්සූ ජේ. ආර්. ඔවුන් තම පාලනයට හතුරු පිරිසක් බවට හංවඩු ගැසුවේය. තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීම් ලිපි භාරගත් අතර තමන්ට අභිමත පරිදි ඔවුන් පාලනය කර ගත හැකි වනසේ ඔවුන්ට නාස් ලණු දැම්මේය.


නවසිය පණස් හයේදී කැලණිය ආසනයෙන් ආර්. ජී. සේනානායකට පැරදුණු ජේ. ආර්. එතැන් සිට සේනානායක නාමයට යටින් පහර දෙමින් වරක් ඩඞ්ලි සේනානායක සමග නායකත්වයට පොර වැදුණු අතර පසුව ඩඞ්ලිගේ අභාවයෙන් දැදිගම මන්ත්‍රීවූ රුක්මන් සේනානායකවද පිළිගත හැකි හේතුවක් නොමැතිව පක්‍ෂයෙන් නෙරපුවේය.


දේශපාලන පොරපිටියේ බලවත් ලෙස කැපීපෙණුනු ඉවසීමෙන් හා පළිගැනීමෙන් දෙබිඩි චරිතයකින් හෙබි ජුනියස් රිචඞ් ජයවර්ධන නාමය දේශපාලන ඉතිහාසයේ ඔහුගෙන් පසු සදහටම නැවතීමේ තිත වැටුණු අතර ඔහුගෙන් පසු ඔටුන්න හිමි වන්නට තම පරපුරේ තමාගේ පුතෙකු නොමැතිව අවසන් හුස්ම හෙළුවේ පහත සඳහන් සටහන ලියා තබමිනි.


“මට රකින්න පරපුරක් නැත. තර කරන්න බූදලයක් නැත. ඔටුණු පළඳවන්න කුමාරයෙක් හෝ කුමාරියක් නැත. මගේ පරපුරත්, බූදලයත් ඔටුණු පළඳවන කුමාර කුමාරිකාවෝත් මහ ජනතාවයි.”


ජේ. ආර්. හා ඔහුගේ පරපුර වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කෙරෙන ඉඩක අවසානයට එය සනිටුහන් වෙනු ඇත.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර