දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා අවදියයි. හලාවත මන්ත්‍රී සර් ක්ලෝඞ් කොරයා මහතා එක්සත් රාජධානියේ ලංකා තානාපති වශයෙන් පත් කිරීම නිසා හලාවත මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් සිදුවිණි. ඇල්බට් ඇෆ්. පීරිස් මහතාත්, ඩී. ඒ. අබේරත්න මුදලිතුමාත් අතුරු සටනට ඉදිරිපත් වූහ. දෙදෙනා කුළුපග මිත්‍රයෝ වූහ. නාමයෝජනා ඉදිරිපත් කළත් දෙදෙනා එකිනෙකාට විරුද්ධව ඡන්ද සටන් නොකරන බවට කතිකා කර ගත්හ. ඡන්දයට පෙර ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් ද ඔව්හු ඉදිරිපත් කළහ.


එහෙත් නියමිත දිනයේ 1947 ජනවාරි 18 වැනිදා අතුරු මැතිවරණය පැවැත්විණි. තරග කළ දෙදෙනා පවා ඡන්දය පාවිච්චි නොකළහ. දෙදෙනාට පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය ගණනය කර අදාළ ප්‍රතිඵල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රසිද්ධ කළේය. ඇල්බට් ඇෆ්. පීරිස් මහතාට ඡන්ද 351ක් ද, අබේරත්න මුදලිට ඡන්ද 216ක්ද ලැබී තිබුණි. ඇල්බට් ඇෆ්. පීරිස් මහතා මන්ත්‍රී ධුරයට පත්වූ බව ප්‍රසිද්ධ කරන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාව 1947දී විසුරුවා හරින තෙක් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා දිවුරුම් දෙන්නට මැති සබයට පැමිණියේ නැත.


ගම්සභාපතිවරයෙකු වශයෙන් දේශපාලනයට පිවිසි ඇල්බට් ඇෆ්. පීරිස් මහතා 1947 මහා මැතිවරණයේදී නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයට එජාපයෙන් තරග කළේය. අපේක්ෂකයෝ 3ක් ඉදිරිපත් වූහ. ඒ මහතා ජයගත්තේය.


1947 මැතිවරණයෙන් පසු කතානායක ධුරයට පත් කරන ලද්දේ ඒ. එෆ්. මොලමුරේ මහතාය. උපකතානායක ධුරයට දකුණු කොළඹ මන්ත්‍රී ආර්. ඒ. ද මැල් පත් කරන ලදී.


උපකතානායක ආර්. ඒ. ද මැල් මහතාට එරෙහිව නඩුවක් පැවරීම නිසා 1948.12.15 වැනි දින ඇල්බට් ඇෆ්. පීරිස් මහතා උපකතානායක ධුරයට පත් කිරීමට යෝජනා කෙරිණි.


කතානායක ඒ. එෆ්. මොලමුරේ මහතා 1951 ජනවාරි 25 වැනිදා පාර්ලිමේන්තුවේදීම හෘදයාබාධයකින් මරණයට පත්විය. උපකතානායක ධුරයට ශ්‍රීමත් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා පත් කරන ලදී. 


1952 මහා මැතිවරණයේදී ඇල්බට් ඇෆ්. පීරිස් මහතා නාන්තන්ඩිය කොට්ඨාසයට තරග කළේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. ඩබ්. අයි. හියු ප්‍රනාන්දු මහතා ද ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළේය. සටන ඉතා තියුණු විය. ඇල්බට් පීරිස් මහතා වැඩි ඡන්ද 306කින් ජය ගත්තේය. ඇල්බට් පීරිස් මහතා දෙවැනි වරටත් කතානායක ධුරයට පත්විය. පුත්තලම මන්ත්‍රී එච්. එස්. ඉස්මායිල් මහතා උපකතානායක ධුරයට පත්විය. 1956 දී ඇල්බට් පීරිස් මහතා නාන්තන්ඩියෙන්ම පරාජයට පත්විය. 1960 මාර්තු මැතිවරණයේදී ඇල්බට් පීරිස් යළිත් නාත්තන්ඩිය ජයග්‍රහණය කළේය. කතානායක ධුරය සඳහා ඇල්බට් පීරිස් මහතා සමග තරග කළේ 1947 පටන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ වමේ ප්‍රබලයෙකු වූ ටී. බී. සුබසිංහ මහතාය. ඔහු හැඳින් වූයේ “කටුගම්පොල සිංහයා” යන විරුදාවලියෙනි.


මෙම ඡන්ද විමසීමේදී කතානායක ධුර ඉතිහාසයේ ඉතා ප්‍රජාතන්ත්‍රීය මට්ටමෙන් ද ඉහළ මානුෂිකත්වය පෙන්නුම් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂයට වඩා විපක්ෂයට වැඩි ආසන ගණනක් ලැබී තිබුණි.


නාමයෝජනා දෙක සඳහා ඡන්ද විමසීමේදී විපක්ෂයේ අපේක්ෂකයා වූ ටී.බී. සුබසිංහ මහතා තේරුණ ද අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයට වඩා ඔහුට එකක් අඩුවෙන් ඡන්ද ලැබුණු සෙයක් දක්නට ලැබුණි. ආණ්ඩු පක්ෂ අපේක්ෂක පීරිස් මහතාට ඡන්ද එකක් වැඩියෙන් ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කසුකුසුවක් හටගත් බව කිවයුතු නොවේ. කතානායක පත් වෙන්න ඔන්න මෙන්න තිබියදී සුබසිංහ මහතා ඒ අවස්ථාවේ මෙසේ ද පැවසීය.


“මගේ ඡන්දෙ මටම දා ගැනීම කොච්චර ලජ්ජා නැති වැඩක් ද? ඒ හින්දා මගේ ඡන්දෙ පාවිච්චි කළේ නැහැ පීරිස් මහත්තයට. ඡන්දෙ පාවිච්චි නොකර ඉන්න එකත් හොඳ නැති හින්දා මගේ ඡන්දෙ එතුමාට දුන්නා.”


අද වැනි දවසක මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වගේ අවංක ප්‍රකාශයක් කරන්නට ආත්ම ශක්තියක් ඇති දේශපාලනඥයින් සිටින්නේ ද?


1965 මැතිවරණයේදී ඇල්බට් පීරිස් මහතා යළිත් නාත්තන්ඩියට තරග කළේය. ජයග්‍රහණය කළේය. 


1965 දී කතානායක ධුරයට ඇල්බට් ඇෆ්. පීරිස් මහතා පත්විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුර ඉතිහාසයේ දී කතානායක ධුරයට තෙවරක්ම පත්වූ පුද්ගලයා වශයෙන් ඇල්බට් එෆ්. පීරිස් මහතා විශිෂ්ට වාර්තාවක් තබා ඇත. ඒ හැරත් ඒ මහතා දෙවරක්ම තමන්ගේ සාම්ප්‍රදායික පක්ෂයෙන්ද, එක්වරක් ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ද ඉදිරිපත් විය.


මෙයින් වසර 119ට පෙර 1900 මැයි මස 12 වැනිදා උපත ලද පීරිස් මහතා නීති විද්‍යාලයට ඇතුළත්ව වයස අවුරුදු 21 දී පමණ නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය. වයස 40 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් දේශපාලනයට එක්විය.


කීර්තිමත් දේශපාලනඥයෙකු වශයෙන් වැජඹුණු ඇල්බට් ඇෆ්. පීරිස් මහතා ගෞරවණීය කතානායක ධුරයේ වගකීම් නිසි ලෙස ඉෂ්ටසිද්ධ කළේ පටු දේශපාලන ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරමිනි.

 

බන්ධුල ආර්. ගුලවත්ත
ඡායාරූප අන්තර්ජාලයෙනි