කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ලෙ ජනතාව ගැවසෙන ස්ථානවල දී ඔහු සිය වෙළඳ ප්‍රචාරණ කටයුතු අරඹන්නේ සිංහල හෝ ඉංග්‍රීසි බසින් පැදියක් දෙකක් ගායනා කරමිනි. ඔහු අලෙවි කරන්නේ දත් බෙහෙතකි. ඒ ටිප් ටොප් දත් බෙහෙතයි. දත් බෙහෙත් පැකට් අඩංගු ටිප් ටොප් පෙට්ටිය ඔහු ඉදිරියෙනි.


ඇඳුම කලිසම් කබාය හා හිසට සුදු පැහැගත් තොප්පියකි. අංගසම්පූර්ණ යුරෝපීය ඇඳුමය. එක අතක බස්තමකි.


ප්‍රචාරක කටයුතු එක්වරම නවතන ඔහු දේශනාවක් අරඹයි. ඒ දේශපාලන දෙසුමකි. දත් බෙහෙත් පැකට් අලෙවි නොවුවත් ප්‍රශ්නයක් නැත. ඔහු වටකර මිනිසුන් සිටින්නේ ද දත් බෙහෙත් ගැනුමට වඩා දේශනාවට සවන් දීමටය.


“තමුන්නැහැල දන්නව ද ඔය ඩී. ඇස්. උන්නැහේ, ජාතියේ පප්පා. කළු සුද්දා, අඳින්නේ වලිග කෝට්, බාරොන් ජයතිලකත් කළු සුද්දෙක්. කැලණිය මහා දායකයා. මොනවද මේ ඇත්තො රට හදන්න කළේ? රටේ සල්ලි වලින් රේස් පදින්න අශ්වයෝ ගෙනාවා එංගලන්තෙන්. ඉන්දියාවෙන් රට උළු ගෙනාවා. ඇන්. ඇම්., කොල්වින්ලට රටක් ජාතියක් තියෙනව ද? ජාතික කැක්කුමක් තියෙනව නම් වේට්ටිය නොඇඳ සුද්දගෙ කලිසම අදියි ද?”
“සිල්වා මහත්තයත් අදින්නෙ කලිසම් කබානේ”


“කවුද යකෝ සිල්වා කියන්නෙ. සිල්වා මැරිල හුඟක් කල්” ඔහු බස්තම ලෙළවමින් ප්‍රශ්න විචාරකයා වෙතට කඩා පනියි. දේශපාලනඥයෙකු හෝ දේශපාලුවෙකු නොවූ ඔහු හඳුන්වන්නේ ටිප් ටොප් සිල්වා ලෙසිනි. 40 දශකයේ අවසන් භාගයේ සිට 80 දශකය දක්වා රටේ කතා බහට ලක්වූ ජනප්‍රිය චරිතයකි. ඩී. එස්., ඩඞ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක හා සිරිමාවෝ වැනි දේශපාලන පතාක යෝධයෝ මොහුව හොඳාකාරව හඳුනති.


දේශපාලන ප්‍රභූහු මොහුව මඟ හැරීමට වගබලා ගත්හ. ටිප් ටොප්ගෙ සමහර ක්‍රියා තුළින් ප්‍රභූන් අපහසුවට පත් වූ අවස්ථාවන් එමටය. නමුත් ඔවුන් තුළ ඔහු පිළිබඳව ඇතිවන්නේ කෝපයක් නොව හාස්‍යයකි. ඔහු නිසා ජනතාව ඉදිරියේ හෑල්ලු වූ දේශපාලන නායකයෝ ද සිටියහ. දේශපාලකයන්ව ඇන්දවීම මෙහෙවරක් කරගත් ටිප් ටොප් සිල්වා ජනතාවට හා මාධ්‍යයට මසුරන් වටින මිනිසෙක් විය.


මරදානේ කුඩා කාමරයක නැවැතී සිටි ඔහුගේ උපන් ගම ගාල්ල ප්‍රදේශයේ බව පැවසේ. ටිප් ටොප් දත් බෙහෙත අලෙවි කිරීම නිසා ටිප් ටොප් සිල්වා ලෙස ජනප්‍රිය වූ ඔහු එම බෙහෙතේ නිෂ්පාදකයා බව ද කියැවේ. නමුත් සමහරුන්ගේ මතය නිෂ්පාදකයා අන් අයෙකු බවයි. ටිප් ටොප් සිල්වාගේ නම සුනිල් ගුණතිලක බවත් පසුව ඔහු විසින්ම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර සිල්වා ලෙසට නම් කරගෙන ඇත.


රට ඉදිරියට ගෙන යාමට දියසේන නම් කුමරෙකු පහළ වෙන බවට 50 දශකය තුළ පැවැති සංවාදය අනුව දියසේන කුමරා තමා බවත්, රටේ පාලනය තමන්ට පවරා දිය යුතු බවත් දින හතකින් රට ගොඩනංවා පෙන්වන බවත් ඔහු නිතරම ප්‍රකාශ කළේය.


“රටට පහළ වෙන දියසේන මමයි. ඩඞ්ලි, කොතලාවල බණ්ඩා දේශපාලනයෙන් පැන්ෂන් අරන් රට මට භාරදිය යුතුයි. දවස් හතක් මට හොඳටම ඇති. දින හතෙන් මම රට හදනවා.’ භාෂා දෙකම චතුරව හැසිරවීමට හැකියාව ඇති ඔහු සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම කීවේය. සමහරු විනෝදයට ඔහුට උල්පන්දම් දුන්හ. මෙම කියවන ප්‍රකාශ ලෙස පුවත්පත්වලට නිකුත් කළ ද පළ වුණේ නැත.


“සිරිමාවෝ රටේ අගමැති වුණා. සිරිමට පුළුවන් ද අගමැතිකම් කරන්න. මම කිව්වා රට මට බාර දෙන්න කියලා. කෝ ඇහුවෙ නැහැනේ. දරුවෝ ලොකු වුණාට පස්සෙ නම් කොහොමටවත් රට භාරදෙන්නෙ නැහැ. උපදෙස් ගන්නෙ ඇන්.ඇම්. ගෙන්. රත්තන්ගෙන්. අඩුම ගණනෙ මගෙන් උපදෙස් ගත්ත නම් රටට හොඳයිනේ.”
ඔහු සිය දේශනය කරත් දී දන්තාලේප ඇසුරුම් පෙට්ටියට මුදල් දමා රැස්වූ පිරිස දන්තාලේප රැගෙන ගියහ. සමහරු අදාළ මුදලට වඩා වැඩි මුදලක් ලබා දෙන අවස්ථා ද ඇත. අලෙවිය ස්වයං සේවයක් ලෙස සිදුවෙත් දී දේශනාවේ එක දිගට නිරත වෙන ටිප් ටොප් දේශපාලකයින්ව පතුරු හරින්නේය. පක්ෂ විපක්ෂ භේදයක් ඔහුට නැත.
ආණ්ඩුවේ පින් පඩිය ද ඔහුට හිමිය. පින්පඩිය ලබා ගැනීමට ටිප් ටොප් පැමිණෙන තුරු කාර්ය මණ්ඩලය මග බලමින් සිටිති. ටිප් ටොප්ගෙ කතා නිසා තම ලේ පිරිසිදු වෙන බව ඔවුහු දනිති. පින් පඩි පාලක විශ්‍රාම ගිය පසු ඇති වූ ඇබෑර්තුවට ටිප් ටොප් සිල්වා ද අයදුම් පතක් ඉදිරිපත් කර තිබූ බව පැවසෙයි. සුදුසුකම ලෙස සඳහන් කර ඇත්තේ දීර්ඝ කාලයක් පින් පඩි ලබා ගැනීමය. එවැනි සුදුසු කමක් අන් කවරෙකුටවත් නොමැති බවට සටහනක් පවා යෙදීමට ඔහු අමතක නොකළේය.
ප්‍රභූන් සහභාගි වන උත්සවවලට හා රාජ්‍ය උත්සවවලට ටිප් ටොප් සහභාගි වන්නේ අනාරාධිතවය. ඔහුට ආරාධනා කිරීමට කිසිවෙකු සිහිනෙන් හෝ සිතන්නේ නැත.
ඩී. එස්. සේනානායකගේ ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ගන්නා සාමුහික ඡායාරූපයකට ටිප් ටොප් ද එක් විය. කැබිනට් සගයින් 14 වෙනුවට 15 ක් සිටින බව ඩී. එස්. ට පෙනුණි. නැවත පරීක්ෂා කර බැලුවත් සංඛ්‍යාව 15 කි. නැවත විමසිලිමත්ව බැලූ විට යුරෝපීය ඇඳුමෙන් සැරසුණ ටිප් ටොප් ද කෙළවරක සිටින බව දැක ගත්තේය. අගමැතිවරයා ටිප් ටොප්ව පන්නා ගත්ත ද ඒ සම්බන්ධව ආණ්ඩුකාරවරයාට වගඋත්තර බැඳීමට සිදුවිය.


ටිප් ටොප් එවකට ආණ්ඩුකාර සෝල්බරි සාමිට ඇඳ අගමැති ඩී. එස්. සේනානායකව ඇන්ද වූ පුවතක් ද ඇත. 52 වසරේ විහාරමහා දේවි උයනේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමට නියමිතව සිටියේ සෝල්බරි සාමි අග්‍රාණ්ඩුකාරවරයාය. අගමැති ඇතුළු ප්‍රභූ හු සෝල්බරි සාමි පැමිණෙන තුරු මඟ බලාගෙන සිටියහ. නියමිත වේලාවට මොහොතකට කලින් අග්‍රාණ්ඩුකාරවරයාගේ සුඛෝපභෝගි වාහනය සැපත් විය. අගමැතිවරයා ගරුසරු ඇතිව ගොස් වාහනයේ පටුපස දොර විවෘත කර ඒ සමඟම දඩාස් ගා මහ හඬක් නැගෙන අයුරින් දොර වසා දැමුවේය. ඔහු කෝපයෙන් වෙව්ලුම් කෑවේය.


අග්‍රාණ්ඩුකාර ලෙස ඇඳ වාහනයෙන් පැමිණ සිටියේ ටිප් ටොප්ය. “උඹ ද යකෝ මෙතනත්, මේකව කුදලලා දාපල්ලා.” ආරක්ෂකයෝ ටිප් ටොප් සමඟ පොර බදා ඔහුව ඔසවාගෙන ගියහ. ඒ සමඟම පැමිණි අග්‍රාණ්ඩුකාරවරයාව සේනානායක මහතා පිළිගත්තේ කිසිවක් සිදු නොවූ අයුරින් මහත් හරසරිනි. මෙම ක්‍රියාකාරකම සැලසුම් කර වාහනය පවා ලබා දී ඇත්තේ සෙල්ලක්කාර ධනවතෙකු විසින් බව කියැවේ. මෙවැනි ක්‍රියාකාරකම් අද සිතීමටවත් නොහැකිය.
ආණ්ඩුවේ පැවැති සෑම කොමිසන් සභාවකටම පරීක්ෂණ මණ්ඩලවලට ටිප් ටොප් සහභාගි වී තිබේ. මොහු බෞද්ධ කොමිසම ඉදිරියේ සාක්ෂි දී ඇති බව ද පැවසෙයි. ටිප් ටොප් දේශපාලන නායකයන් පමණක් නොව අධිරාජ්‍ය විරෝධි හා ජාතික බලවේගවල නායකයන්ව ද හොල්මන් කෙරෙව්වේය. එම බලවේගවලට හා එම අවස්ථාවන්ට ගැලපෙන අයුරින් ඔහු යුරෝපීය ඇඳුමින් ජාතික ඇඳුමට මාරු වීම සිදුකරන්නේ තාවකාලික පියවරක් වශයෙනි.
ආනන්ද විදුහල්පති එල්. එච්. මෙත්තානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී බෞද්ධ කොමිසන් සභා වාර්තාව පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණි. ජාතික ඇඳුමෙන් සැරසී සිටි ටිප් ටොප් අනවසරයෙන් වේදිකාවට නැග ගත්තේය.


“ටිප් ටොප් හොඳ හිතින් බිමට බැහැපන්” මෙත්තානන්ද මහතාගේ තර්ජනය ගණන් නොගත් ටිප් ටොප් නැවත නැවතත් සභාව ඇමතීමට අර ඇන්දේය. එය දුටු ආනන්දයේ ගුරුවරයෙකු ඔහු වේදිකාවෙන් බිමට ඇද ගැනීමට ගත් වෑයම කෙළවර වූයේ ටිප් ටොප්ගේ මිට මෙලවූ අතින් ගුස්ති පහරක් කෑමට සිදුවීමෙන්ය.
එවන් ටිප් ටොප් තුළ ජාතිය, ආගමට, සංස්කෘතියට ආදරයක් නොතිබුණා නොවේ. නවීන විලාසිතාවන්ගෙන් හා අඟපසඟ නිරාවරණය වෙන අයුරින් සැරසුණ කාන්තාවන් ඔහුට රිසිවූයේ නැත. ඔහුගේ අතේ රැඳුන බස්තමෙන් පහරක් එවැනි කාන්තාවන්ට එල්ල වෙයි. ඔහු දේශනයක හෝ වෙනත් කාර්යයක නියුතු වෙමින් සිටියත් එය පසෙකලා බස්තම උළුක් කරමින් පිටුපස එළවා ගෙන යයි. ටිප් ටොප් සිටින බව දුටුවහොත් කාන්තාවන් ද ඔහු මග හැර යමින් ටිප් ටොප් ඉන්නවා ඔය පාරෙන් යන්න එපා.” යන  පණිවිඩය දෙමින් යනවා මිස ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමට හෝ නොපෙලඹේ.


56 පහළ වෙන බව සඳහන් දියසේන කුමරු තමා බව ඔහු තැනක් නොතැනක් නොබලා පවසන්නට විය. ඒ නිසා තමාට රට බාරදිය යුතු බවත්, රට ගොඩ නැගීමට දින 07 ක් ප්‍රමාණවත් බවත් කීවේය. පරණ පාර්ලිමේන්තුවට පළමුවෙන්ම බුදුරුවක් ගෙන ගොස් තැන්පත් කළේ ඔහු බව මාධ්‍යවේ දී වජිර ලියනගේ මහතාගේ ලිපියක සඳහන් වෙයි. වජිර ලියනගේ මහතාට එම පුවත පවසා ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවය කළ පු. බ. සකලසූරිය මහතා බව ද සඳහන්ය. නිසි අවසරයක් නොගෙන බුදුපිළිමයක් ගෙන එන විට ඒ වෑයම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු ආරක්ෂක අංශය විසින් ටිප් ටොප්ට බැටන් පහර එල්ල කර ඇති බව ද පැවසෙයි. 70 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ පැවැති බෞද්ධ ආගමික වතාවත්වලට සහභාගි වූ ටිප් ටොප් සාධු හඬ නගමින් මුළු රාත්‍රියම නොනිදා ගතකර තිබේ.


56 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයෙන් පසු ඇති වූ සමාජ පෙරළිය මත ජනතාව කිසිදු අවහිරයකින් තොරව පාර්ලිමේන්තුවේ සබා ගැබට ඇතුළු වී රිසිසේ හැසිරුණහ. එම ක්‍රියාවලියේ මූලිකයෙකු වූයේ ටිප් ටොප්ය. අගමැති පුටුවේ වාඩි වූ ටිප් ටොප් දියසේන කුමරු ලෙස තමා පහළ වී ඇති බවත් තමාට රට පාලනය කිරීමට ඉඩ දී බණ්ඩාරනායක ඉවත්විය යුතු බවත් සභාව අමතන අයුරින් ප්‍රකාශ කළේය. අවසානයේ දී සිදුවූයේ ආරක්ෂක නිලධාරින් පැමිණ ටිප් ටොප් කුදලා ගැනීමයි. එයට විරෝධය පෑම නිසා ආරක්ෂකයන්ගේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමට ඔහුට හැකි විය.


“රටේ රාජ්‍ය උරුමය ඇත්තේ මටයි. ඩී. එස්., කොතලාවල ඒ උරුමය මගෙන් පැහැර ගත්තා. බණ්ඩා මට ඉඩ දිය යුතුයි.”
දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීම පිළිබඳව ටිප් ටොප් වරෙක බණ්ඩාරනායක අගමැතිට උපදෙස් ලබා දුන්නේය. අගමැතිවරයා කට කොනකට තබාගත් දුම් පයිප්පය උරමින් ටිප් ටොප්ට සවන් දුන් බව පැවසේ. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රඟමින් මෙරටේ දී විදේශීය නායකයින් පවා රැවටීම්වලට හසුකරගෙන ඇති බවට කතාවක් ද තිබේ. ඉන්දියාවේ ශ්‍රී නේරු දිවයිනට පැමිණි මොහොතක දී ඒ වෙනුවෙන් අරලියගහ මැදුරේ පැවැති උත්සවයකට කෙසේ හෝ සහභාගි වී ඇති ටිප් ටොප් ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බසින් ඉන්දු - ලංකා ප්‍රශ්නය පිළිබඳව නේරු සමග සාකච්ඡා කර ඇත. මෙය දුටු ඩඞ්ලි සේනානායකට උන් හිටිතැන් බවා අමතක වී තිබේ. ඔහුගේ ඉහමොළ පවා රත් විය. ඒ සමඟම පැමිණි ආරක්ෂකයෝ ටිප් ටොප්ව කුදලාගෙන ඇදගෙන ගියහ. 


සමහර අවස්ථාවලදී විදේශීය නායකයින් දිවයිනට පැමිණ ආපසු යනතුරු ටිප් ටොප්ව පොලිසිය බාරේ තබා ගැනීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු රැස්වීම මෙහෙයවමින් සිටි කතානායක ආර්. ඇස්. පැල්පොල මහතා කතානායක ගැලරියේ ටිප් ටොප් වාඩි වී සිටින බව දුටුවේය. ඔහු ගැලරියට පැමිණි අයුරු පිළිබඳව පරීක්ෂා කිරීමට දැන් කාලයක් නැත. ටිප් ටොප් කුලප්පු වුවහොත් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට ද දෙවියන්ගේ පිහිටය. පැල්පොල මහතා පාර්ලිමේන්තු සේවකයෙකු මගින් තේ පැන් සංග්‍රහයක් සඳහා කතානායක කාර්යාලයට පැමිණෙන ලෙසට ටිප් ටොප්ට දැන්වීය. මෙය කලාතුරකින් හිමිවෙන ගෞරවයකි. ටිප් ටොප් කතානායක අසුන දෙස බලත්ම කතානායකවරයා ඔහුට ඉඟිකර කාර්යාලයට ගමන් කළේය. ටිප් ටොප් ද කතානායකගේ ගෞරවය විඳ ගැනීමට කාර්යාලයට පැමිණෙත්ම ආරක්ෂකයෝ පැමිණ ඔහු අල්වාගෙන කූඩු කළහ. මෙවැනි හීන් නූලේ දේශපාලන උපක්‍රමවලට ටිප් ටොප් හසුවී නැතුවා නොවේ. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු ගමන නම් නතර නොවීය.
“දවස” පුවත්පත් කාර්යාලය අසලදී ටිප් ටොප්ව විහිළුවකට ගත් කොලු රැලකට බස්තමෙන් පහර දෙන්නට ඔහු සූදානම් විය. කොලු රැළ ද ඔහුට පහර දුන්හ. ටිප් ටොප් හඳුනා ගත් දවස මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් ඔහු බේරා ගන්නා ලදහ. ටිප් ටොප් පාර දෙවනත් කරමින් පැන දිවූ අතර කොලු රැළ මාධ්‍යවේදීන්ට හොඳහැටි පහර දුන් බව කියැවේ. එම දෙදෙනා ප්‍රවීණ මාධ්‍යවේදී කිත්සිරි සමරනායක හා ආතර් යූ. අමරසේන බව පැවසේ.


“දුශ්ශීල භික්ෂුන්ගේ සිවුරු ගලවා තාර ගානවා කියා කොතලාවල උන්නැහේ කීව කතාව හරි. කිසිම බුරුලක් දෙන්න හොඳ නැහැ.”
බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී රෝහලට ඇතුළත් කළ මොහොතේදී රෝහල වටා එක්රැස්වූ ජනතාව අමතා ටිප් ටොප් කළ කතාව අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට ශ්‍රවණය විය. මේ කතාවෙන් නැති ප්‍රශ්නත් ඇතිවේ යැයි බිය වූ අග්‍රාණ්ඩුකාරවරයා ටිප් ටොප්ට ප්‍රවේශමෙන් ගෙදර ගොස් ඇරලවන ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත. දිනක් පරණ පාර්ලිමේන්තු බිමේදී සර් ජෝන් කොතලාවල පිළිබඳව හිතවතෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවක ඔහුගේ මුවින් පිට වූයේ ජෝන් යන නම පමණී. මේ වන විට එලෙස කතා කර මැද කොළඹ තෙවන මන්ත්‍රීව සිටි එම්. එස්. තේමිස් මහතා පාඩම් ඉගෙන තිබිණි.


කොතලාවල මහතා අසල ගැවසෙමින් සිටින බව දුටු හිතවතා ඒ බව ටිප් ටොප්ට හැඟවීය. තිගැස්සුණු ටිප් ටොප් තැටිය මාරු කරමින්’ ‘අපේ ශ්‍රීමත් කොතලාවල උතුමන්ට විතරයි මේ රට හදනන්න පුළුවන්” යැයි උස් හඬින් කීවේය. ටිප් ටොප් පැවැසූ දෙය කොතලාවල මහතාට ඇසුණි. ඔහු තමාට කුඩාවට ෂැලියුට් එකක් කළ බව පැවසූ ටිප්ටොප් කියන්න ගිය දේ කීවානම් දෙදෙනාටම රෝහල් ගත වීමට ඉඩ තිබුණ බවත් සඳහන් කර ඇත.


කොතලාවල මහතා 53 අගමැති වූ අලුත ටිප් ටොප්ට පාඩමක් ඉගැන්විය. කොතලාවල මහතාව පිළිගැනීමේ රැස්වීම් මාලාවක් අගනුවර පැවැත්වුණි. රැජින විසින් නයිට් පදවිය පිරිනමා තිබූ නිසා, කොතලාවල මහතා එම රැස්වීම්වලට සහභාගි වූයේ කුරුසය සහිත නයිට් ඇඳුමෙන් සැරසී ගෙනය. ටිප් ටොප්ගෙ දෑසට නයිට් ඇඳුමේ කුරුසය හසුවිය.
සෙනඟ පීරාගෙන ඉදිරියට ගිය ටිප් ටොප් මේ බෞද්ධ රටේ නායකයන්ට කුරුසයෙන් සැරසෙන්න අයිතියක් නැති බවට කෑ ගැසුවේය. එසැණින් කෝපයට පත් නව අගමැතිවරයාගේ නියෝගය මත ටිප් ටොප්ව අත්අඩංගුවට ගන්නා ලදී. අගමැති වූ කොතලාවල මහතාගේ පළමු නියෝගය එය බව ද සඳහන්ය. මේ පුවත ‘ලංකාදීප’ පුවත් පතේ පළ වීමෙන් පසු ඔය අහිංසකයාව නිදහස් කරන්න “යැයි කොතලාවල මහතා පොලීසියට නියෝග කර ඇත. 


කොළඹ නගර සභා මැතිවරණයට ටිප් ටොප් ඉදිරිපත් විය. ඒ ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස පුංචි බොරැල්ල නගර සභා කොට්ඨාසයට. ජනතාව අතර ජීවත් වූ ඡන්ද සටනේ දී ජනතාවගෙන් හිමි වූයේ හොඳ ප්‍රතිචාරයකි. නමුත් ප්‍රතිඵලය වූයේ පරාජයට පත් වීමයි. ඇපය ද රාජසන්තක විය.


1980 ඔක්තෝම්බර් 04 දින සිදු වූ කොතලාවල මහතාගේ අභාවය වෙනුවෙන් දේහය ඉදිරිපිට තබා සිය ගෞරවය පුද කිරීම සඳහා මල් වඩමක් ගෙන කොටුවෙ ආපන ශාලාවකට ටිප්ටොප් ගොඩ වූයේ තේ එකක් බීම සඳහාය. මල් වඩම ආපන ශාලාව තුළට ගැනීම සම්බන්ධව වේටර්ලා සමඟ ඇති කර ගත් ආරවුල පහරදීමක් දක්වා දිගු විය. පහරදීම කෙළවර වූයේ බරපතළ ලෙස තුවාල ලද ටිප් ටොප් මිය යාමෙනි. මිය යන විට ටිප් ටොප්ගේ වයස අවුරුදු 85 බව සඳහන් වේ.


සුනිල් ගුණතිලක හෙවත් වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර සිල්වා හෙවත් ටිප් ටොප් සිල්වා හෙවත් ප්‍රභූ දේශපාලකයින් ඇන්දවූ ටිප් ටොප්ගේ කතා වලින් බිඳක් පමණි.


ගණේමුල්ල බුද්ධි බොල්ලත
ඡායාරූප අන්තර්ජාලයෙනි