පළාත් සභා පිළිබඳව ඇසෙන කතා බොහෝය. ඒ එකම කතාවක්වත් ජනතාවගේ පැත්තට වාසි හෝ සහනය සැලසීම උදෙසා සිදු කෙරෙන දේ නොවේ. කුමන හෝ ක්‍රමෝපක්‍රම මගින් බලයට පත්වූ අය එය රැකගැනීමටත් ප්‍රතිවාදී විවිධ පාර්ශ්ව එම බලය තමන් අතට ගැනීමටත් දරණ උත්සාහයනුත් නිසා සමස්ත පළාත් සභා ක්‍රියාවලියම බලකාමයේ පොර පිටියක් බවට පත්ව තිබේ. මෙයට රාජ්‍යයේ ඉහළම ස්ථරයන්හි මැදිහත්වීම්ද විටින්විට දක්නට ලැබේ. කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිද්දෙන් උතුරු පළාත් සභාවේ හටගෙන සුළු වශයෙන් අළුයට ගිනි මෙන් පැවතී දැන් කරළියට පැමිණ ඇති උතුරේ මහ ඇමති අර්බුදය මෙයින් මුල්ම තැන ගනී. 


එනිසා පළාත් සභා අපට ලැබුණු සැටිත්, මෙවැනිම පළාත් සභා බල පෙරළියකට භාජනය වෙමින් පැවති අවස්ථාවක යෙදූ සිල්ලර උපක්‍රම හේතුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මග වෙනස් වී ගිය ආකාරයත් අපට මතකය. එනිසා මුදල් බලයෙන්, වරදාන වරප්‍රසාද මගින් හෝ වෙනත් බාල උපක්‍රම මගින් පළාත් සභාවල බලතුලනය වෙනස් කිරීමට කරන උත්සාහයන්හිදී කොතන හෝ සිදුවන සුළු අත්වැරදීමක් නිසා ඉතා බරපතළ ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකි බව අපට හැඟේ. විශේෂයෙන්ම උතුරු පළාතට මෙපමණකින් හෝ බලය විමධ්‍යගත කිරීමේ ජයග්‍රහණය ලබාගැනීම සඳහා වගුරා ඇති රුධිරය පසුගිය දිනවල මාතරට සහ රත්නපුරය ආදී ප්‍රදේශවලට ගලන ලද මහ ගංවතුරට වැඩියයි මම අනුමාන කරමි. එවැනි වූ මහා ජීවිත පරිත්‍යාගයකින් ලබාගන්නා ලද පළාත් සභාව නමැති අයිතිවාසිකම ඒ සා කැප කිරීම් කළ ජනතාවගේ හිතසුව පිණිස නොයොදා පක්ෂයක, කණ්ඩායමක හෝ සන්ධානයක කට්ටිවාදී මත ගැටුම්වල ගොදුරක් පමණටම ලඝු කරන්නේ නම් ඔවුනට කිසිඳා ජනතාවගෙන් සමාවක් නොලැබෙන බව නිසැකය. එකී යථාර්ථය මතක් කර දෙනු පිණිස දශක කීපයක අතීතයට යාමට මම ඔබට ආරාධනය කරමි.


1977 න් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ නව ආර්ථික දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රවල සිදුවෙමින් පැවති නව ප්‍රවණතා අපේ සමීපතම දේශය වූ ඉන්දියාවේ ජාතික උවමනා එපාකම් සමග ගැළපුණේ නැත. ඉරණවිල ඇති කිරීමට යෝජනා කළ ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය, ත්‍රිකුණාමල තෙල් ටැංකි සමූහය පිළිබඳව පැතිරී ගිය කට කතා සහ නව රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යන කරුණු ඉන්දියානු රජයේ නොමනාපයට හේතුවූ බව කියනු අපි අසා ඇත්තෙමු. 1977 දී කෙටි කලකට බලයට පත් මොරාජි දේසායිගේ ආණ්ඩුවට මෙරටදී ලබාදුන් සුහද තත්ත්වයද නැවත ඉක්මනින්ම බලයට පත්වූ ඉන්දිරා ගාන්ධි අගමැතිනියට අමතකව ගොස් තිබුණේ නැත.


මෙවැනි සාධක රාශියක් නිසාත් ශ්‍රී ලංකාව තුළ මෝරා ගිය දේශපාලනමය වාස්තවික තත්ත්වයන් නිසාත් ජනවාර්ගික යුද්ධයක් බිහිවූ බව අපි දනිමු. මෙම අර්බුදයට පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දියාව මැදිහත් කර ගැනීම කොටි සංවිධානයේ උපාය මාර්ගික අවශ්‍යතාව විය. එයට මූලාදර්ශයක් ලෙස සැලකුවේ නැගෙනහිර සහ බටහිර පාකිස්ථානය අතර ගැටුමේදී බංග්ලා නායක ෂික් මුජිබර් රහමන් අනුගමනය කළ උපාය මාර්ගයයි. පාකිස්ථාන් හමුදාව නැගෙනහිර පාකිස්ථානය ආක්‍රමණය කළ අවස්ථාවේදී දශ ලක්ෂ ගණනක් බංගලි වැසියෝ දේශ සීමාව පසුකර ඉන්දියාවට පලා ගියහ. මෙම පසුබිම හමුවේ එය ඉන්දියාවේම ප්‍රශ්නයක් බවට පත්වූ බව කියමින් එම රාජ්‍යය පාකිස්ථානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ විය. ඉන්දියාවේ දැවැන්ත යුද බලය හමුවේ පකිස්ථානය පරාජයට පත්වූ අතර නැගෙනහිර පකිස්ථානු ප්‍රදේශය බංග්ලා දේශ් යනුවෙන් වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදී. කොටි සංවිධානය උතුරේ දෙමළ රාජ්‍යයක් බිහිකිරීමේ අරගලයේදී මෙම උපාය මාර්ගයද යම් පමණකට අනුගමනය කළ බව නොරහසකි.


1983 කළු ජූලිය නිර්මාණය වූ වහාම දස දහස් ගණනින් දේශපාලන අනාථයන් කියමින් උතුරේ සිවිල් වැසියන් ඉන්දියාවට යාත්‍රා කළේ මෙම අරමුණ ඇතිව ප්‍රභාකරන්ගේ අණ පරිදිය. යුද්ධය ඇරඹී එය දිග් ගැස්සෙමින් යද්දී ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා තමාට උපකාර කරන ලෙස ලෝක ප්‍රජාව වෙත ආයාචනය කළේය. එහෙත් ඉන්දියාව හා සසඳන විට ඉන්දියානු සාගරයේ ගල් පරයකට සමාන ශ්‍රී ලංකාවේ අර්බුදයකට මැදිහත්වී ප්‍රබල ඉන්දියාව සමග අර්බුදයක් සාදා ගැනීමට කිසිදු බලවත් රාජ්‍යයක් කැමතිවූවේ නැත. මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් ඉන්දියාව සමග සාකච්ඡා මගින් මෙය විසඳා ගත යුතු බවත් කියමින් බටහිර මිතුරෝ මගහැර ගියහ. තමාට පිළිසරණක් නැති බව ජේ. ආර්. ජයවර්ධන මහතා අවබෝධ කර ගත්තේය. ඔහුට වලසා සහ මිතුරන් දෙදෙනාගේ කථාව සිහිවන්නට ඇතිවා නිසැකය.


වඩමාරච්චි මෙහෙයුම සිදුවෙමින් තිබුණේ මේ දිනවලය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන රණශූරයන්ගේ මෙහෙයවීම යටතේ තෙනමරච්චි සහ වඩමරච්චි යන විශාල ප්‍රදේශ දෙක මුළුමනින්ම පාහේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව විසින් අත්පත් කර ගනිමින් තිබුණි. කොටි ගවයන් තොග ගණනේ මරා දමා තිබුණි. ප්‍රභාකරන්ද කොටුවී සිටින බවට ප්‍රවෘත්ති පළ විය. මේ වන විට ඉන්දියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ රාජ්‍ය තාන්ත්‍රික බවින් මෝරා නැති දේශපාලන අත්දැකීම් වලින් තොර ගුවන් නියමුවකු වශයෙන් වෘත්තීය ජීවිතයක් ගත කළ රජීව් ගාන්ධිය. සිය මවගේ සංවේග ජනක මරණයෙන් පසු හදිසියේ තම හිස මතට පාත්වූ ඉන්දියානු රාජ්‍ය නායකත්වය රජීව් ගාන්ධිගේ හිසට බර වැඩි විය. ඔහුගේ සහායට සිටි ඇම්. ජී. රාමචන්ද්‍රන්, ජය ලලිතා වැනි දකුණු ඉන්දියානු තෙවෙනි පන්තියේ දේශපාලකයන් පමණක් නොව නරසිංහ රාඕ වැනි ජ්‍යෙෂ්ඨයන්ද රාජිව් ගාන්ධිට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකාව හීලෑ කර ගත හැකි ආකාරයේ තරවටුවක් කරන ලෙසය. ඉන්දියානු ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් ලංකාවට පැමිණ උතුරේ ජනතාවට ආධාර යැයි කියමින් පරිප්පු පොදි හෙළා ආපසු ගියේය.


මුළු ජීවිත කාලයම දේශපාලනයේ නියැළුණු සුවිශාල අත්දැකීම් සම්භාරයකින් යුත් ප්‍රවීණයෙකු වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා, සංකේතාත්මකව ඉන්දියාව එල්ල කළ තර්ජනය නිසි පරිදි වටහා ගත්තේය. එනපොට හොඳ නැති බවත් “තමන් හිසට තම අතමය සෙවණ” විනා අන් සරණක් නොමැති බවත් ප්‍රඥාවෙන් යුතුව වටහා ගෙන තම ප්‍රතාපයේ සහ අභිමානයේ පෙන ගොබය හකුළා හිස පහත් කළේය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ ඉන්දියානු අපේක්ෂාවට ප්‍රඥාවෙන් යුතුව මුහුණ දීමට ජේ. ආර්. තීරණය කළේය. රජය අවි බලයෙන් පෙරළා දමා වෙනත් පාර්ශ්වයකට භාරදීමට සූදානමක් ඇති බවටත් සමහරු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවටත් කට කතා පැතිර ගියේය. ඒවා නිර්මාණාත්මක ප්‍රලාප වන්නට ඇත. සමහර විට යම් සත්‍යයක බිඳක් තිබුණාවන්නක් ඇත. එහෙත් රජය මුහුණදී තිබුණු අභියෝගයේ බරපතළකම එබඳු විය. 1987 ජූලියේ අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුම කරළියට පැමිණියේ මෙම පසුබිම තුළය.


ජන වරමෙන් බලයට පත්වන කිසිදු දේශපාලනඥයෙකු තමාගේ යශෝ කීර්තියට හානිවන ජනතාව අතර අප්‍රසාදයට ලක්වන මෙබඳු තීරණයකට එළඹෙන්නේ නැත. ජනවාර්ගික අර්බුදය නිමා කරලීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාවක් ගොඩ බැසීමටත්, දෙපාර්ශ්වය අවි බිම තැබීමටත් කොටි සංවිධානය නිරායුධ කර රජයට ආයුධ භාර දීමටත්, ශ්‍රී ලංකා රාජ්‍යයේ උත්තරීතර ආයතනය වශයෙන් පාර්ලිමේන්තුව සතු යම් යම් බලතල විමධ්‍යගත කර බලය බෙදී යන ආකාරයේ ආයතන ව්‍යුහයක් ඇති කිරීමටත් එමගින් එකඟවන ලදී.


මෙම පොරොන්දුව ඉටු කරනු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලැබූ දහතුන්වැනි සංශෝධනය මගින් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා ප්‍රතිස්ථාපනය කරන ලදී. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීම රටේ බොහෝ ප්‍රදේශවල කලබලකාරී තත්ත්වයක් ඇතිවීමට හේතුවිය. ජනතාවගේ හදවත්වලට මෙය තදින් දැනී තිබුණි. එය මනාව පිළිබිඹු වූ අවස්ථාවක් වූවේ රජීව් ගාන්ධි අගමැතිවරයාට රාජ්‍ය ගෞරවය පිළිගන්වමින් ආචාර පෙළපාළියේ යෙදී සිටි නාවික සෙබළෙක් තම ගිනි අවිය ඔසවා එම රයිෆල් බඳෙන් ප්‍රහාරයක් එල්ල කිරීමය. වරෙක ඊජිප්තු ජනාධිපතිව සිටි අන්වර් සදාක්ට රතු පලස මතදීම වෙඩි තබා ඝාතනය කළේ මෙවැනි සිද්ධියකදීය. මෙකී ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීදි බැස්සේය. එයටත් එහා ගිය ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. දිවයිනේ සමහර ප්‍රදේශවල රාජ්‍ය අණසක බිඳ වැටුණි. පසුව මෙය රට පුරා ව්‍යාප්ත වන ආකාරයක් දක්නට ලැබුණි.


1988 පෙබරවාරි තුන් වැනි දින රජය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් මෙසේ ප්‍රකාශයට පත් විය. “ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් නියම කරන දිනයේ හෝ දිනවල සිට ක්‍රියාත්මක වන පරිදි අටවන උප ලේඛනයේ නිශ්චිතව සඳහන් සෑම පළාතක්ම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පළාත් සභාවක් පිහිටුවනු ලැබේ. වෙනත් වෙනත් පළාත් සඳහා වෙනස් වෙනස් දිනයන් නියම කරනු ලැබිය හැකිය.


පළමුවැනි අනු ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද සෑම පළාත් සභාවක්ම පළාත් සභා ඡන්ද විමසීම්වලට අදාළ නීතියට අනුකූලව එම සභාවේ මන්ත්‍රීවරුන් තෝරාපත්කරනු ලැබූ විට සංස්ථාපනය විය යුතුය. එහි අටවැනි උප ලේඛනය අනුව බස්නාහිර වයඹ, ඌව, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ උතුරු යනුවෙන් පළාත් සභා නම් කර තිබුණි.


නවවැනි උප ලේඛනය මගින් පළාත් සභාවලට අයත් විෂයයන් වෙන් කර තිබුණු අතර එය ලැයිස්තු තුනකින් සමන්විත විය. පළාත් සභා ලේඛනය සංවෘත ලේඛනය සහ සමගාමී ලේඛනය නමින් ඒවා හඳුන්වන ලදී. අනතුරුව ජනාධිපතිතුමාගේ නියමය පරිදි පළාත් සභා පිහිටුවීමේ දිනය 1988 පෙබරවාරි 3 වැනි දිනය නම් කරන ලදී.


ඉන්දියාවේ දැඩි බලපෑම මත උතුරු සහ නැගෙනහිර පළාත් සභා දෙක ඒකාබද්ධ කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය 1988 සැප්තැම්බර් අටවැනිදා නිකුත්වීමත් සමග පළාත් සභා ගණන අටක් දක්වා අඩු විය. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව එල්ලවූ ප්‍රහාරය සහ විරෝධය පළාත් සභාවලටද එල්ලවූවාක් මෙන් විය.


පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කරනු ලැබූ නමුත් රට පුරා පැන නැගුණු භීෂණය තව තවත් දරුණු විය. කෙසේ වුවත් ජනාධිපතිතුමා මහජන ආරක්ෂක පනතේ බලතල යටතේ බස්නාහිර, මධ්‍යම දකුණු සහ උතුරු - නැගෙනහිර යන සභා හතරේ මැතිවරණය කල් දමන ලදී. 1988 අප්‍රේල් 28 වැනිදා වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමුව යන සභාවල මැතිවරණය පැවැත්වුණි. පළාත් සභා පිහිටුවීමට විරුද්ධවූ බලවේග වලින් එල්ලවූ ප්‍රහාර ශීඝ්‍රයෙන් වර්ධනය විය. විශේෂයෙන්ම දකුණු පළාත් සභාව පිළිබඳ මැතිවරණය එළඹෙන විට තත්ත්වය හොඳටම උග්‍ර වන ආකාරයක් දක්නට ලැබුණි. මිනීමැරුම්, පාලම් බෝක්කු කඩා දැමීම්, සිවිල් පරිපාලනය බිඳ වැටීම් ප්‍රවාහන සේවා අඩපණවීම් කොතෙකුත් සිදුවිය. 1988 ජූනි 2 වැනි දින බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඡන්දය පැවැත්වුණි. මේ සියලුම සභාවල බලය රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ බව වාර්තා විය. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයට ඉදිරිපත් වූවේ නැත. ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂයද ඒකාබද්ධව ගොඩනගාගෙන තිබුණු සන්ධානය වාමාංශික එක්සත් පෙරමුණ නමින් තරගයට පිවිසුණි. රජයට එරෙහි ප්‍රධාන බලවේගය වශයෙන් කැපී පෙනුණේ එකී සන්ධානයයි. එයටද මරණීය තර්ජනය එල්ල වී තිබුණු අතර එහි සමහර සාමාජිකයන් මරා දමන ලදී.

 


පළාත් සභා ක්‍රමය ස්ථාපනය කෙරුණේ උතුරු - නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමේ අරමුණින් යැයි කියවුණක් 1988 මැද භාගය වන විටත් එය පිහිටුවා තිබුණේ නැත. දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබුණු යුද්ධය මගින් තමන්ගේ අභිප්‍රාය වූ ඊනියා ඊළාම් රාජ්‍යයකින් තොරව වෙනත් විකල්ප විසඳුමක් පිළිගැනීමට කොටි කැමති නොවූහ. එනිසා උතුරු - නැගෙනහිර පළාත් සභා පිහිටුවීම ඔව්හු තරයේ ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම එම ක්‍රියාවලියට සම්බන්ධ නොවන ලෙස දෙමළ ප්‍රජාවටද අනතුරු ඇඟවූහ. ඒ වන විට කොටින් සමග විරසකයෙන් පසුවූ අනෙකුත් දෙමළ සටන්කාමී සංවිධානවල එකමුතුවෙන් අපේක්ෂක කණ්ඩායමක් පමණක් උතුරේ පළාත් සභා මැතිවරණයට නාමයෝජනා භාරදෙනු ලැබුණි. ඒ අනුව යාපනය, කිලිනොච්චිය මන්නාරම වව්නියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක පහේම බලය නිතරගයෙන්ම එම ඒකාබද්ධ කණ්ඩායමට හිමිවිය. මඩකළපුව, අම්පාරේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේ මැතිවරණය පැවැත්වුණේ 1988 නොවැම්බර් 19 වැනිදාය. එහි ප්‍රතිඵල අනුව එම පළාත් සභාවේ මහ ඇමති ධූරයට පත් කෙරුණේ වර්ධරාජා පෙරුමාල් මහතාය.


තම ආරක්ෂාව පතා ඉන්දියානු සාම සාධක හමුදාව සමග ඉතා කිට්ටු සබඳතාවක් පවත්වාගෙන ගිය මෙම පළාත් ආණ්ඩුව දෙමළ ජාතික හමුදාවක්ද ගොඩ නගාගන්නා ලදී. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී රජය සමග ඇති කරගත් මතභේදයක් නිසා මහත් විනාශයක් ඇති කරගත් මහ ඇමතිවරයා ඉන්දියාවට පලා ගියේය.


පළාත් සභා ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම වාර්තාවූවේ දකුණු පළාත් සභාවෙනි. 1993 මැයි මාසයේ පැවැත්වුණු දෙවැනි පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර වයඹ සහ දකුණු යන සභා තුන එවකට රජයට එරෙහිව පැවති ප්‍රධාන බලවේගය වූ පොදු ජන එක්සත් පෙරමුණටත් එක්සත් ජාතික පක්ෂයේ මත භේදයක් නිසා අලුත බිහිවුණු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණත් යන සමගි පක්ෂ දෙක බහුතර බලයක් ලබාගෙන සිටියේය. පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන දේශපාලන ධාරාව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කලින් පැවති ස්ථාවරය වෙනස් කරමින් එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කළ සිදුවීමක් විය.

රජයෙන් පිටතට පැමිණ සිටි ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන මහත්වරු යූ.ඇන්.පී. රජයේ බලාපොරොත්තු බිඳ දමමින් ඉහත කී පළාත් සභා තුනේදී පොදු ජන එක්සත් පෙරමුණත් සමග එක්ව බලය පිහිටුවීමට සහාය දුන්හ. පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රීධූර 22 ක්ද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ආසන 6 ක්ද යූ.ඇන්.පියට ආසන විසි හතක්ද ලැබී තිබුණි. දැඩි අරගලයකින් පසු මහ ඇමති ධූරය දිනා ගැනීමට අමරසිරි දොඩන්ගොඩ මහතාට හැකිවිය. පැවති වැඩි ආසන ගණන එකක් පමණි. මෙය බලවතුන්ගේ නොමනාපයට හේතුවූ අතර මෙම එක ඡන්දය දිනාගෙන තම පක්ෂයේ බලය කුමන මොහොතක හෝ දකුණු සභාවේ පිහිටුවා ගැනීමට පිරිසක් මාන බලමින් සිටියහ.


මේ වන විට ජනාධිපතිධූරය දැරූ ඩී. බී. විජේතුංග මහතා බලකාමී නොවූ සරල සහ සාධාරණ මිනිසෙකු වුවත් සුපුරුදු ලෙස දේශපාලන කලබැගෑනිවල යෙදෙන්නෝද විරල නොවූහ. යම් යම් දේ තිරයෙන් පිටුපස සිදුවෙමින් පැවතුනි. 1994 වසර සඳහා අයවැය ලේඛනය සම්මත කරන දිනයේ ශ්‍රීලනිප සාමාජිකයෙකු වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු මහතා අතුරුදහන්ව තිබුණි. එයින් කියවුණේ අයවැය සම්මත කිරීමේ තීරණාත්මක ඡන්දය එම පාලනයට අහිමි වී ඇති බවය. අයවැය පරාජයට පත් විය. පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ පාලනය බිඳ වැටුණි. පළාත් සභාව විසුරුවා හැරුණි. 1994 මැයි 25 වැනිදාට දකුණු සභාව සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත වූවේය.


මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ චිත්‍රය බොහෝ සෙයින් වෙනස්ව තිබුණි. 1977 මහා පරාජයෙන් පසු කැඩී බිඳී විසිරී ගොස් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආකර්ෂණීය නායකත්වය යටතේ එක්සත්ව ශක්තිමත් බලවේගයක් වශයෙන් පෙරට යමින් පැවතියේය. දීර්ඝ කාලයක් බලයට පත්ව සිටීමේදී ඕනෑම පක්ෂයක් මුහුණ දෙන අභියෝගය වන අසමගිය, කට්ටිවාදය යූ.ඇන්.පිය තුළ රජකරමින් පැවතියේය. තවත් විශේෂ කරුණක් වූවේ කෙසේ හෝ දිනිය යුතුයැයි අදහස් නොකළ නායකයෙකු එජාපයේ සිටියේය. ඒ. ඩී. බී. විජේතුංග මහතාය. මේ සියලුම සාධකයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් 1994 මැයි විසිපස් වැනිදා පැවති දකුණු පළාත් සභා අතුරු මැතිවරණයේදී  ලැබුණේ කිසිවෙකු අපේක්ෂා නොකළ ඡන්ද ප්‍රතිඵලයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන පාර්ලිමේන්තු ආසන හතරමත් මාතර දිස්ත්‍රික්කයේ ආසන හතත් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය විසින් මෙහෙයවුණු පොදු ජන එක්සත් පෙරමුණ දිනා ගන්නා ලදී. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන දහයෙන් නවයක්ම පොදු ජන එක්සත් පෙරමුණට හිමි විය. දකුණු පළාතේ ආසන විසි එකෙන් එජාපයට දිනා ගත හැකි වූවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බළපිටිය ආසනය පමණි. දාහත් වසක් මුල් බැසගෙන තිබුණු එජාපයේ ඡන්ද පදනම දෙදරා ඇති බව නිරුවත්වම දැක බලා ගැනීමට රටටම අවස්ථාව ලැබුණි. එසේද වුවත් මැතිවරණය පැවැත්වුණේ මනාප ක්‍රමය මුල් කොටගත් අනුපාත ක්‍රමයට වූ නිසා අවසාන විග්‍රහයේදී පොදු පෙරමුණේ මන්ත්‍රීවරු 32 ක් සහ එජාපයට මන්ත්‍රී ධූර විසිතුනක්ද වශයෙන් ප්‍රකාශයට පත් විය. පොදු ජන එක්සත් පෙරමුණේ ජය මාවත තහවුරු විය. 1977 දී ශක්තිමත් රජයක් බිහි කළ ජේ. ආර්. ජයවර්ධන මහතාට හිමිවුණු අනගිභවනීය ජනවරම තවදුරටත් ඉතිරිව නැති බව කාටත් පෙනී ගිය සත්‍යය වූවේය. නොබෝ දිනකින් ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එවකට බස්නාහිර පළාතේ මහ ඇමතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට මග පාදමින් මහා මැතිවරණය නිම විය. තවත් මාස තුනකින් පසු පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජයගෙන එතුමිය බලය විමධ්‍යගත කිරීම පිළිබඳව දීර්ඝ කාලීන ඉල්ලීමක් මේ රට තුළ පැවතුණි. 1950 දශකයේ බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමටත් හැටේ දශකයේ ඩඞ්ලි සේනානායක චෙල්වනායගම් ගිවිසුමේත් මූලික පදනම වූවේ එයයි. මහා යුද්ධයක් කර ගංවතුරක් තරම් රුධිරය වගුරුවා ලබාගත් බලයද එපමණයි. එය මදක් පෙරට ගැනීමට තර්ටීන් ප්ලස් සංකල්පය ගෙන ආවද එය මෙතෙක් ඉටුවී නැත.


පළාත් සභා නඩත්තු කිරීම පිණිස මෙරට බදු ගෙවන ජනතාවගේ බිලියන ගණනක් වූ අතිවිශාල මුදල් කන්දරාවක් වැය කරනු ලබයි. එම වැය කිරීම්වලට සාපේක්ෂව සිදුවන සේවයක් නැති බව පොදු ජනතාවගේ මතයයි. දැනට බැලූ බැල්මට පෙනෙන සේවය නම් මැති ඇමතිවරුන්ගේ නෝනලාට දූවරුන්ට සහ පුතුන්ට කරළියට පැමිණීමට මග සාදා දෙන ඉණිමගක් ලෙස භාවිත වීමයි. එයද නාරකම නැත.


එනිසා අවසන් වශයෙන් මෙසේ සටහන් කරමි. මහත්වරුනි. පරිස්සමින් කටයුතු කරන්න. එකම අමනෝඥ ක්‍රියාවකින් පෙර සඳහන් කළාක් මෙන් ඉතිහාසයම වෙනස් වී යා හැකිය. එයට මහා කාලයක් ගතවන්නේ නැත. එහෙම වුනොත් බබීත් සුංය. බබීගේ සිය පවුලමත් සුං වෙන බව නිරනුමානය.

සෝමසිරි වික්‍රමසිංහ