IMG-LOGO

තුන්වැනි ලෝකයේ ප්‍රශ්න විසඳීමට සිරිමාවෝගේ ‘වෙළෙඳ මහ බැංකුව’

 

අධිරාජ්‍යවාදී හා යටත් විජිතවාදී ගැති, ආර්ථික ග්‍රහණයකින් මිදීම සඳහා තුන්වැනි ලෝකයේ සංවර්ධන අභිවෘද්ධිය සැලසෙන වෙළෙඳ මහ බැංකුවක් පිහිටුවීමේ ඇති වැදගත්කම, කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ පස්වැනි සමුළුවට, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය විසින් ඉදිරිපත් කිරීමේදී, පැමිණ සිටි රටවල් 86ක රාජ්‍ය නායක - නායිකාවන් දුන් අත්පොළසන් නදින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ගිගුම් දුන්නේ, මෙම පුංචි දිවයිනට ඉමහත් කීර්තියක් ඇති කරවමිනි.


1976 අගෝස්තු මස 16 වැනි දින රටවල් 86ක රාජ්‍ය නායක - නායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඇරඹි, මෙම නොබැඳි ජාතීන්ගේ පස්වැනි සමුළුවේ සභාපතිත්වය දරුනු ලැබුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහත්මිය විසිනි.


සමස්ත ලෝකයෙන් හරි අඩකටත් වැඩි, දේශ දේශාන්තරවල රාජ්‍ය නායකයන්, රජුන්, ජනාධිපතීන්, අගමැතිවරුන්ගෙන් සමන්විත මුළු මහත් ආසියා භූමිතලයේ මුල්වරට රැව්දුන් මෙම සමුළුව, ශ්‍රී ලංකා ජනතාවගේ සංවිධාන ශක්තිය, ළෙන්ගතු හා ආගන්තුක සත්කාරය මොනවට පෙන්නුම් කළ, සුවිශේෂි සන්ධිස්ථානයක් විය.


තම උපන් මාතෘභූමියටත්, ජාතික භාෂාවටත්, අතිමහත් ගෞරවයක් ඇතිකරවමින්, තම දේශනය සිංහලෙන් ආරම්භ කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය. “රාජෝත්තමයිනි, සම්භාවනීය උතුමනි, නෝනාවරුනි, මහත්වරුනි, මෙම ඓතිහාසික අවස්ථාවේදී මගේ භාෂාව වන, සිංහල භාෂාවෙන් වචන ස්වල්පයක් කතා කිරීමට මා සතුටුයි. ප්‍රථමයෙන්ම මේ ශාලාවේ එක්රැස්ව සිටින සියලුම අති සම්භාවනීය නායකයන් ඉතා සාදරයෙන් හා ගෞරවයන් මා පිළිගන්නවා.”යැයි සඳහන් කර, ඉනික්බිති සමුළුවේදී ව්‍යවහාර කෙරෙන සිව් භාෂාවන්, අතරින් ඉංග්‍රීසි භාෂාවෙන් සිය කතාව පවත්වාගෙන ගියාය.


එවකට වයස්ගතම රාජ්‍ය නායකයා වූ යුගෝස්ලාවියාවේ 84 හැවිරිදි මාෂල් ජෝසප් ටිටෝ ජනාධිපති මෙන්ම, ලෝකයේ ළාබාලම රජු වූ 20 හැවිරිදි ජිග්වේ සිංග්යෝ වංචුක්, එකම වේදිකාවේ මුල්පෙළේ අසුන්ගෙන සිටීම, විශේෂ දසුනක් විය.


ආරාධිත නායක - නායිකාවන්ගේ දැඩි අවධානය යොමු කරවා ගනිමින්, අභිමානවත් අන්දමින්, සමුළුව විවෘත කරමින්, ඇරඹි මුල්ම දේශනය තවදුරටත් කර ගෙන යමින්, ශ්‍රී ලංකා අගමැතිනිය ප්‍රකාශ කළේ, නිව්යෝර්ක්, ලන්ඩන්, සූරිච් සහ පැරිස් යන නගර ඉදිරියටත් මුදල් මධ්‍යස්ථාන බවට පත්වීමේ සීමාව වෙනස් විය යුතු බවය.


තෙවැනි ලෝකය සඳහා පිහිටුවීමට යෝජිත වෙළෙඳ මහ බැංකුව ආසියා, අප්‍රිකා හා ලතින් ඇමෙරිකා යන රටවල් සඳහා ස්ථාපිත විය යුතු බවටද, යෝජනා කළ ශ්‍රී ලංකා අගමැතිනිය, මෙම යෝජිත වෙළෙඳ මහ බැංකුව පහත දක්වා ඇති පරිදි, සකස් විය යුතු බවටද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


1. සෑම ජාතියක් අතරම, නියමානුකූල වාණිජ බැංකුවක් සේ පවත්වාගෙන යා යුතුය.
2. වාණිජ තැන්පත් ක්‍රමය ක්‍රියාත්මක විය යුතුය.
3. එය මධ්‍යස්ථ රටවල් අතර පවත්වාගෙන යනු ලබන සහයෝගතා අරමුදලක් බවට පත් නොවිය යුතුය.
4. තෙවැනි ලෝකයේ රටවල් නව ආර්ථික ක්‍රමයක් සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් විය යුතුය.
5. මෙම යෝජිත මහා වෙළෙඳ බැංකුවේ ශාඛා සෑම රටකම පවත්වාගෙන යා යුතුය.
6. තුන්වැනි ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය ඇතිවන ආකාරයෙන් ආධාර දීමේ නව මං ඇතිකරවන මුදල් ආයෝජන කළ යුතුය. 
7. මේ සඳහා උපයෝගී වන වෙළෙඳ නැව් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුය.
8. සංවර්ධනය වන රටවල වැඩිවෙමින් පවත්නා රැකීරක්‍ෂා හිඟයට පිළියම් යෙදෙන පරිදි, කෘෂි හා කාර්මික නව සේවාවන් ආරම්භ කළ යුතුය.


එසේම, තුන්වැනි ලෝකයේ රටවල් තව තවත් ආර්ථික ප්‍රතිපත්තීන් සකස් කර ගත යුතු බවත්, ලෝකය වෙනස් වන හැටියට අපද වෙනස් විය යුතු බවත්, දේශපාලන අරගලයේ ජයග්‍රහණය ඇත්තේ, ඒ තුළින් කෙරෙන ආර්ථික සටනේ ප්‍රතිඵලයෙන් බවත්, තවදුරටත් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා අගමැතිනිය, තුන්වැනි ලෝකයේ රටවල් ආර්ථික අහේනියෙන් ගොඩ ඒමට දැන් දැන් හැම ප්‍රයත්නයක්ම දරන බව පෙනෙන අතර, නොබැඳි සමුළුව, ඊට මහත් රුකුලක් යැයිද කියා සිටියාය.


නොබැඳි සමුළුව, මානව සංහතියේ යුගයක් අවසාන වී තවත් යුගයක් උදාවීමක් හැටියට හැදින්වූ ඇය ඊළඟ අවුරුදු 25 තුළ කෝටි සියයකටක් අධික සංඛ්‍යාවක් විරැකියා පීඩනයෙන් මිරිකී සිටිනු ඇතැයිද, මෙයින් වැඩි දෙනා සංවර්ධනය වන රටවල අය බවද අසාධාරණය හා දයා විරහිතභාවයෙන්, තරගකාරී සමාජයකට ඔවුන් ගොදුරු වී සිටිතැයිද, වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
රැකියා විරහිතභාවය තරම් මිනිස්කම කෙලෙසන තවත් කිසිවක් නැති බවත්, වෙළෙඳ හා කෘෂිකාර්මික අංශ දියුණු කිරීමෙන් රැකියා අලුතින් උත්පාදනය වීමට ඉඩ සැලසෙන හෙයින්, යෝජිත වෙළෙඳ මහා බැංකුවට ඒ සඳහා සුවිශාල සේවයක් සැලසිය හැකි බවත් අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


යම්තාක් කල් අපි එකට සමගිව මුණගැසෙමුද, එකට සමගිව නැගී සිටිමුද, දැඩි තීරණයක් අනුව, එකට එක් වී ක්‍රියාකරමුද, එතෙක් කල් අපිට උන්නතියක් මිස අවනතියක් ඇති නොවේයයි ශ්‍රී සම්බුද්ධ දේශනයේ දහම් පිඩක්ද, ශ්‍රී ලංකා අගමැති සිරිමාවෝ ආර්. ඩී. බන්ඩාරනායක මහත්මිය සිය දේශනය අවසානයේදී එක්කර සිටියාය.


එසේ නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ කරමින්, ශ්‍රී ලංකා අගමැතිනිය 1976 දී තෙවැනි ලෝකයට යෝජනා කරනු ලැබූ වෙළෙඳ මහා බැංකුවක අවශ්‍යත්වය, 1978 මහ මැතිවරණයේදී සිරිමා රජය පරාජය වීමෙන්, අක්‍රීය විය.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (0)

තුන්වැනි ලෝකයේ ප්‍රශ්න විසඳීමට සිරිමාවෝගේ ‘වෙළෙඳ මහ බැංකුව’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site