ජනතා විමුක්ති පෙරමුණේ පළමු සන්නද්ධ අරගලය (1971) ඇරඹෙන විට ඔහුට වයස අවුරුදු පහළොවක් විය. දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් නොතිබුණු ඔහුට කඩවතදී හමුවන මිල්ටන් අයියා අමුතු තාලයේ දේශපාලන භාවිතයක් සහිත ව්‍යාපාරයක හැඩහුරුකම් කියාදුන් පළමු ගුරුවරයා බවට පත්විය.

 


1971 කැරැල්ලට ජවිපෙ සාමාජිකයන් සූදානම් වූ අයුරු පසෙක සිට නිරීක්ෂණය කළ ඔහුට පණිවුඩ එහෙ මෙහෙ ගෙනයෑම වැනි සුළු වගකීම් ඉටු කිරීමට ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන්නට ඉඩ ලැබිණි. මෙපරිදි 1970 දශකයේ මුලදී ජවිපෙ කටයුතු කෙරෙහි අවිඥානිකව සම්බන්ධ වන ඔහු කාලයක් ගතවන විට පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකත්වය ලබා පීඩිත පංතියේ විමුක්තිය පතන දේශපාලන ව්‍යාපාරයක තමන්ට පැවරී තිබෙන කාර්ය කොටස නිශ්චය කර ගත්තේය.


1971 අසාර්ථක කැරැල්ලෙන් පසු ඇදවැටුණු ජවිපෙ යළි කෙළින් කටින් සිටුවීම සඳහා රතු සහෝදර සහෝදරියන් සමග උරෙනුර ගැටී බිම් මට්ටමේ විශාල වැඩ කොටසක් සිදු කළ ඔහු 1987 - 1989 සමයේ ඇරඹි ජවිපෙ දෙවැනි සන්නද්ධ අරගලයේදී ඊට සක්‍රීය ලෙස මැදිහත් වෙමින් කටයුතු කළේය. ජවිපෙ ක්‍රියාකාරකම් සම්බන්ධ ඔහු සතු අත්දැකීම් මෙසේ පෙළගස්වමු.


මට මුලින්ම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධකම් ගොඩනගාගන්න පුළුවන් වුණේ වයස අවුරුදු පහළොවදී. මගේ උපන් ගම වන කොළඹ මෝදර ගෙවල් අතඇරලා කඩවත පැත්තෙ පදිංචියට ගියාට පස්සෙ තමයි ඒ දේවල් සිදුවුණේ. මම අඳුරන අය කීපදෙනෙක් වැඩකරපු ‘ලොන්ඩි්‍රයක්’ ඒ දවස්වල කඩවත තිබුණා. සමහර වෙලාවට මමත් ගිහින් ඒකෙ බිල් ලියනවා වගේ වැඩ කළා. ලොන්ඩි්‍රයෙ වැඩ කරමින් ඉන්න අතරවාරේ මට මිල්ටන් කියන අයියව මුණගැහුණා. එයා ජවිපෙට සම්බන්ධ කෙනෙක් කියලා මම දැනගත්තෙ පහුකාලෙක. තව ප්‍රේම් අයියා කියලා කෙනෙකුත් මුණගැහුණා. මට ඒ කාලේ දේශපාලනය ගැන අවබෝධයක් තිබුණෙ නෑ. කොහොම නමුත් ඒ දෙන්නගෙ පණිවිඩ එහෙ මෙහෙ ගෙනියන වැඩ මට කරන්න ලැබුණා. මේ දේවල් කළාට 1971 අප්‍රේල් 05 කැරැල්ල ගැන මට කිසි දැනුමක් තිබුණෙ නෑ. මිල්ටන් අයියලගෙ පණිවිඩ ගෙනියන වැඬේ දිගටම කරද්දි මට තේරුණා මෙයාලගෙ මොකක්හරි සූදානමක් තියෙනවා කියලා. දවසක් මම දැක්කා තුවක්කු අතේ තියාගත්ත පිරිසක් ලොන්ඩි්‍රය පිටුපස්සෙ ඉන්නවා. ඒ ගොඬේ මිල්ටන් අයියයි ප්‍රේම් අයියත් හිටියා. බෙහෙත් සාප්පුවක වැඩ කරපු නර්ස් කෙනෙකුත් එතන හිටියා.


අරගලයේ ගිනිදැල්වලින් රත් පැහැගැන්වුණු පොලිස් ස්ථාන ගම් නගර මේ ආදී සෑම තැනකම දක්නට ලැබුණේ දැඩි කැලඹිලි සහගත ස්වභාවයකි. අප්‍රේල් හය වැනි දිනට අරුණලු නැග එද්දි තමා දුටු පෙර නිමිති අනුව මහා භයානක දෙයක් සිදුව ඇති බව ඔහුට තේරුම් ගැනීමට හෝරා ගණනින් කාලය අවශ්‍ය වූයේ නැත.


‘අපේ්්‍රල් පස්වැනිදා සිද්ධ වුණු දේවල් මට ඇස්දෙකට දැකගන්න හම්බවුණේ අප්‍රේල් හය වැනිදා උදේ. එදා උදේ කඩවතට ගියහම මම දැක්කා මුළු නගරෙම නොසන්සුන් වෙලා තියෙන විත්තිය. කඩවත පොලිස් ස්ථානයට පහර දීලා තිබුණා. පොලිසිය ඉස්සරහම මළ සිරුරු දෙකක් වැටිලත් තිබුණා. ඒ මළ සිරුරු දෙකේම මූණු කෙහෙල් කොළවලින් වහල තිබුණෙ. මූණු වහලා තිබුණට එක මළ සිරුරක හැඩරුවෙන් මට අඳුනගන්න පුළුවන් වුණා ඒ මිල්ටන් අයියා කියලා. ඒ සිද්ධියෙන් මට විශාල කම්පනයක් දැනුණා. මේ ගැන මට කාගෙන්වත් අහලා තොරතුරු දැනගන්න විදියක් තිබුණෙත් නෑ. මොකද ඒ වෙන කොටත් ඇඳිරි නීතිය දාලා තිබුණෙ. පොලිස් ස්ථානවලට පහර දෙනවා කියන කතා හැමතිස්සෙම අහන්න ලැබුණා. විශාල භීෂණයක් ඒ වෙනකොට නිර්මාණය වෙලා තිබුණා. කඩවත පොලිසිය ඉස්සරහපිට මැරිලා වැටිලා හිටපු මේ තරුණයො දෙන්න ඇයි මැරුවෙ, ඒ දෙන්නා පොලිසියට ගහන්න ගියේ ඇයි කියන දේවල් ගැන මට හොයන්න වුවමනා වුණා. මේ සිදුවීම තමයි මගේ දේශපාලන ජීවිතේ සන්ධිස්ථානයක් වුණේ.
හැත්තැ එකේ කැරැල්ලෙ මහ නඩුව සම්බන්ධ විස්තර පත්තරේ පළවෙන්න පටන් ගත්තම මම ඒවා කියෙව්වා. ඒ එක්කම විජේවීර සහෝදරයා ගැනත් පත්තරවල පළ වුණු ඒවා මම ඕනකමින් කියවන්න පටන් ගත්තා. පස්සෙ තමයි මට ජවිපෙ දේශපාලනය හදාරන්න ඕන කියන අදහස ඔළුවට ආවෙ.


මෙහෙම ඉන්න අතරෙ 1973 දී මට කොළඹ ලංකා දුම්කොළ සමාගමේ රස්සාවක් හම්බ වෙනවා. ඒක මගේ පළමුවැනි රස්සාව. මම යනකොට ඒක ඇතුළෙ තිබුණෙ පරණ වාමාංශික වෘත්තිය සමිති විතරයි. ඒ වෙනකොට මගේ හිතේ ඇතිවෙලා තිබුණු වාමාංශික නැඹුරුවත් එක්ක මම ඒ වෘත්තිය සමිති එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. වාසුදේව නානායක්කාර, බාලා තම්පෝ මේ අයගෙ වෘත්තීය සමිති තමයි තිබුණෙ. ඔය අතරෙ 1976 දී විතර හදිසි නීතිය ඉවත් කරන්න සිරිමා බණ්ඩාරනායක රජය කටයුතු කළාට පස්සෙ ජවිපෙ ආපහු සක්‍රීය ලෙස දේශපාලන කටයුතු ආරම්භ කළා. ජවිපෙ දේශපාලනය ගැන මගේ හිතේ තිබුණ උනන්දුවත් ඒ එක්කම වැඩිවෙලා හයිඞ් පාක් පිට්ටනියෙ තිබුණ රැලියටත් මම ගියා. වාස් තිලකරත්න, අබේරත්න වීරවැල්ල, උපතිස්ස ගමනායක, කෙලී සේනානායක, කුසුමා බුද්ධිකෝරාල වැනි අය ඒ මංගල රැලියෙ කතා කළා.



පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඒ අය විවෘත ඉල්ලීමක් කළා. රැස්වීම ඉවර වුණාට පස්සෙ මම කෙලී සේනානායක සහෝදරයව හම්බ වෙලා එයාගෙ පානදුර ගෙදර ඇඞ්රස් එක අතේ ලියා ගත්තා. පස්සෙ මම ඒ ලිපිනයට ලියුමක් ලියලා යැව්වා මට පක්ෂෙට සම්බන්ධ වෙන්න ඕන කියලා. මම ඒ ලියුම යැව්වට පස්සෙ ‘රාගම සෝමෙ’ කියන සහෝදරයා මාව හොයාගෙන අපේ ගෙදරට ආවා. එයා ඒ වෙනකොට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්. ඒ සහෝදරයා මාර්ගයෙන් ‘රදාවානේ නවරත්න’, ‘මීරිගම ජයතිලක’ වගේ සහෝදරවරු අඳුරගෙන මගේ දේශපාලන අවබෝධය දියුණු කරගන්නත් පුළුවන් වුණා. පංති පහටත් මම ඔය අතරෙ සහභාගි වුණා. එතන ඉඳලා මම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට වැඩකරන්න පටන්ගත්තා.
මතු සම්බන්ධයි...


උපුල් වික්‍රමසිංහ