දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව වන විට ඔහුට තම පක්ෂය තුළින් කිසිවකුගේ හෝ අභියෝගයක් නොතිබිණි. ඊට හේතු වූයේ ඒ වන විට එ.ජා.ප.යේ. සිටි වෙනත් නායකයනුත් එම අවස්ථාවේ රටේ පැවැති දැවෙන ප්‍රශ්න හමුවේ එවැනි භාරදූර වගකීමක් දැරීමට දැක්වූ පසු බෑමය. 


එහෙයින් පක්ෂය තුළ එවකට සිටි ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි දෙවැනි පෙළ නායකයන් ප්‍රේමදාස මහතාට ඉඩ දී නිහඬ වූවේ ඒ මොහොතේ රටේ පැවැති තත්ත්වය අතිශයින් අවිනිශ්චිත වූ බැවිනි. ඔවුන් සිතූ පරිදිම එම අවස්ථාව වන විට රටේ උතුරු කෙළවර මෙන්ම දකුණු කෙළවර ද දෙකොන විලක්කුවක් මෙන් ගිනි ගනිමින් තිබුණේය. මෙරට උතුරු ප්‍රදේශය එලෙස ගිනි තබා තිබුණේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය විසිනි. රෝහණ විජේවීර ප්‍රමුඛ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය දකුණු පළාතට ගිනි තබා තිබුණේය. 


එම දෙපාර්ශ්වයේම තර්ජන ගර්ජනවලට නොබියව මුහුණදුන් රණසිංහ ප්‍රේමදාස මහතා දහසක් බාධා මධ්‍යයේ වුවද තම ජනාධිපතිවරණ ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සමත් වූවේය. ඒ සඳහා මුල් වූ අමතර ශක්තියක් වූයේ ඔහු ඒ වන විටත් දැරූ අග්‍රාමාත්‍ය ධුරය සතු ආරක්ෂක රැකවරණයන්ය. ඔහුගේ ප්‍රතිවාදිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එවැනි සුවිශේෂ ආරක්ෂාවක් නොලැබුණත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම එතුමිය සිටියේ තරමක් පසු පසිනි. ඇයට එරෙහිව පැවැති ඊනියා දේශප්‍රේමීන්ගේ තර්ජනය කොපමණ දැයි කිවහොත් තමන්ගේ ප්‍රධාන රැස්වීම් කීපයක්ම අවසන් මොහොතේ අවලංගු කර දැමීමට පවා ඇයට සිදුවී තිබුණේය. 


මේ අතර ජනාධිපතිවරණය පැවැති 1988 දෙසැම්බර් මස 19 දාත් රටේ විවිධ පළාත්වලින් නොයෙකුත් භීෂණකාරී සිදු වීම් ඒ පිළිබඳව අසන්නට ලැබුණේය. ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකටම මුහුණ පෑමට සිදු වූ බලවත්ම තර්ජනය වූයේ මුලින්ම ඡන්දය දෙන තැනැත්තාට මරණය යනුවෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් රට පුරා පෝස්ටර් අලවා තිබීමය. 


කෙසේ වෙතත් ඒ සියලුම තර්ජන ගර්ජනවලට මුහණ දුන් රණසිංහ ප්‍රේමදාස මහතා ඡන්ද 25,69,199 ක් ලබා මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වීමට සමත් වූවේය. ඔහුගේ ප්‍රතිවාදිනිය වු සිරිමාවෝ මැතිනියට ලැබී තිබුණේ ඡන්ද 22,89,860 ක් පමණි. 


රටේ මේ තරම් භීෂණයක් තිබිලත් ජනතාව මට ඡන්දේ දුන්නේ මං ගැන ඒ අයට යම් විශ්වාසයක් තිබෙන නිසයි. ඒ නිසා මම පුළුවන් තරම් ඉක්මනින් මේ ප්‍රශ්න ටික විසඳන්න ඕනෑ. යි සිතූ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊළඟට කළේ දෙපාර්ශ්වයේම ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගැනීමට උනන්දුවීමය. එම උත්සාහයේ පළමු පියවර ලෙස ඒ වන විටත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයට ගොඩ බැස සිටි ඉන්දීය සාම සාධක හමුදාව ආපසු යැවීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කළේ එය තමන් විසින් ජනතාවට දුන් ඡන්ද පොරොන්දුවක් වූ බැවිනි. එම කර්තව්‍යය සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගැනීමට හැකි වීඹ ඔහුගේ සිතට බලවත් සහනයක් විය. 
ඉන්දියන් හමුදාව ආපු දා ඉඳලම විජේවීරලා කෑ ගැහුවා ඉන්දියන් වඳුරු හමුදාව පන්නමුයි කියලා. ඔන්න මම මේ රටේ ජනාධිපති හැටියට පත් වෙච්ච ගමන් ඒ වැඬේ තිතට ඉටු කෙරුවා”යි කියමින් පාරම්බෑ අභිනව ජනාධිපතිවරයාගේ ඊළඟ අරමුණ වූයේ කොටි සංවිධානය සමග සාකච්ඡා මාර්ගයෙන් ජන වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමය. එවකට ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ඒ. සී. එස්. හමීඞ් මහතා ඒ සඳහා අභිනව ජනාධිපති වරයාට තම සහයෝගය උපරිම අයුරින් ලබා දුන්නේය. 


එහෙම නං ෂාහුල් ඒ ප්‍රශ්නය ගැන බලන්න. මම මේ දේශප්‍රේමීන් එක්කත් කතා කර ගන්න බලන්නම්. යි කී ප්‍රේමදාස මහතා ජ.වි.පෙ. නායක රෝහණ වීජේවීරට ළං විය හැකි ක්‍රම වේදයක් ගැන සොයා බැලුවේය. 
හැබැයි මේ වැඬේ ටිකක් කල්පනාවෙන් කරන්න වේවි. එහෙම නැති වුණොත් වෙන්නේ අර ඇතුළත්මුදලි කේ. සී. සේනානායකට රැවටිලා වල්ගෙ පාගා ගත්ත වගේ සිද්ධියක් යි සිතූ ප්‍රේමදාස ජනාධිපතිතුමාට එක් වරම මතකයට නැගුණේ සේනානායක පවුලට සම්බ්න්ධ හිටපු මන්ත්‍රීවරයෙකු ගැනය. ඔහු හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සමග ඇති කර ගත් ආරෝවක් නිසා ඒ වන විට දේශපාලන කටයුතු වලින් තරමක් දුරස්ව සිටියේය. “තමුසේ මේ දැන් බොරැල්ලට ගිහින් රුක්මන්ට එන්න කියනවා. යි කී ජනාධීපතිවරයා තමන්ගේ සමීපතමයෙකුට එම කාර්යය පවරනු ලැබුවේ දැඩි විශ්වාසයකිනි. වහා සිතූ අයුරින්ම හිටපු මන්ත්‍රීවරයා එදින සවස් වරුවේ සුචරිතයට කැඳවාගෙන ඒමට ප්‍රේමදාස මහතාගේ හිතවතාට හැකි විය. 


කාලයක් තිස්සේ එ.ජා.ප.යෙන් දුරස්ව සිටි එම හිටපු මන්ත්‍රීවරයා සුහදව පිළිගත් ජනාධිපතිතුමා සුචරිතයේ ඇතුළු කාමරයකට ඔහු කැඳවාගෙන ගොස් පැයකටත් වැඩි කාලයක් රහසිගත සාකච්ඡාවක නිරත වූයේ කිසිවකු තමන් හමු වීමට නොඑවන ලෙස මොහිදීන්ට අණ කරමිනි. 


“රුක්මන් මට උදවු කරන්න ඕනෑ. මම මේ කියන දේ කොහොම හරි විජේවීරලට දැනුම් දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ.” 


ජනාධිපතිතුමා එසේ කියද්දී හිටපු මන්ත්‍රීවරයා මුලින් කියා සිටියේ ජ.විf.ප. හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවය. 


“ඒ වුණාට මේ ඉන්ටලිජන් රිපෝට් එකේ තියන විදියට නන්, ජේ.වී.පී එකට සම්බන්ධ අය ඔබගේ ගෙදරටත් එනවා යි ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් අසල වූ ලිපි ගොනුවකින් එළියට ගත් බුද්ධි තොරතුරු අංශයේ රහසිගත වාර්තාවක් අමුත්තා අතට දෙමිනි. එය අතට ගෙන මඳක් කියවා බැලූ රුක්මන්ට අන්තිමේදී සිදු වූයේ එහි සත්‍යතාව පමණක් නොව ජ.වි.පෙ. සමග පැවැති සම්බන්ධය පවා පිළිගැනීමටය. 


හරි හරි රුක්මන් ඔයා කොහොම හරි විජේවීරට දැනුම් දෙන්න විදේශ ඇමැතිකම ඇරෙන්න වෙනත් ඕනෑම ඇමැතිධුර තුනක් ජ.වි.පෙ.ට දෙන්න අපි සූදානම් ඒ නිසා ආයුධ බිම තියලා ආණ්ඩුව සමග සාකච්ඡා එන්න කියලා. ප්‍රේමදාස ජනාධිපතිවරයා කී ඒ කතාව ඇසූ රුක්මන්ට ඉබේටම උඩ බිම බැලුණේය. තමන් මේ දකින්නේ සිහිනයක් දැයි සිතූ ඔහු ඒ බව සැකහැර දැන ගැනීමට මෙන් දෙනෙත් අයා ලොක්කා දෙස බලා සිටියේය. 
“පුදුම වන්න දෙයක් නෑ. රුක්මන් මම ජනාධිපතිවරණයේදී රටට පොරොන්දුවක් දන්නා මේ ප්‍රශ්න දෙකම විසඳනවයි කියලා. ඒ ගැන විශ්වාස කරලා තමයි මිනිස්සු මට ඡන්දෙ දුන්නේ. ඉතින් මම ඒ පෙරොන්දුව ඉෂ්ට කරන්න ඕනෑ.”යි කී ප්‍රේමදාස ජනාධිපතිතුමා ආණ්ඩුවත් සමග එක් වී තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නැයි විජේවීරට කියන ලෙස වැඩි දුරටත් කියා සිටියේය. 


හොඳමයි ජනාධිපතිතුමා මම ඒ පණිවිඬේ කොහොම හරි විජේවීරට යවන්නං යි කී හිටපු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් සමුගෙන ආපසු ගියේ ඊට විජේවීර පාර්හ්වයෙන් ලැබෙන පිළිතුර කුමක් විය හැකි දැයි සිතමිනි. 
රුක්මන් තමන් දැන හඳුනාගෙන සිටි දෙවැනි පාර්ශ්වයක් හරහා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පණිවුඩය රෝහණ විජේවීර මහතාට හැකි තාක් ඉක්මනින් ලබා දීමට පියවර ගෙන තිබුණේය. තමන් වෙත ලැබුණු එම පණිවුඩය ගැන ඇසු ජ.වි.පෙ. නායකයාට සිනා පහළ විය. විජේවීර ඊට තම ප්‍රතිචාරය පළ කළේ දැඩි ස්වරයකිනි. 


“ගිහින් ප්‍රේමදාසට කියනවා ඔය බයට දෙන ඇමැතිකම් අපට අවශ්‍ය නැහැයි කියලා. හැබැයි අපි තව ටික දවසකින් මුළු ආණ්ඩුවම ගෙදර යවනවයි කියලත් ප්‍රේමදාසට කියනවා. 


රෝහණ විජේවීර තමන්ගේ යෝජනාව කෙරෙහි දැක් වූ එම රළු ප්‍රතිචාරය ගැන ඇසූ ජනාධිපතිවරයාගේ මුහුණ මැළවුණේය. එසේ වුයේ ඔහු ජ.වි.පෙ. නායකයා ගෙන් එවැනි පිළිතුරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවු බැවිනි. 


අනතුරුව බිම බලාගෙන මොහොතක් නිහඬව සිටි ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ අසල සිටි රන්ජන් විජේරත්න ඇමැතිවරයා දෙස වියරු ලෙස බැල්මක් හෙළුවේය. 


රන්ජන් මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න මම ඔහේට කල් දෙන්නේ මාස දෙකයි. 


තම රාජ්‍ය නායකයාගේ එම නියෝගය අභියෝගයක් ලෙස සැලකූ රන්ජන් විජේරත්න මහතා මුවින් නොබැණ එම ස්ථානයෙන් ඉවතට ගියේ දැඩි අධිෂ්ඨානයකිනි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ හරියටම තවත් මාස දෙකක් ඉක්මයාමටත් මත්තෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් රට පුරා දියත් කර තිබූ භීෂණය මෙරටින් තුරන් කර දැමීමට රජයේ ආරක්ෂක හමුදාවට හැකි වීමය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි