ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැක ගැනීම පිළිබඳව නිහඬව සුවිශාල සේවයක් සිදු කළ මෙම ඇවබෙරි සාමිවරයා හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීම සිදුවී තිබුණේ අහම්බෙන් සිදුවූ හමුවක ප්‍රතිඵලයක් වශයෙනි.



1971 ජූලි මාසයේදී ප්‍රින්ස් ගුණසේකර මහතාගේ බිරිඳ දොස්තර ශ්‍රියා ගුණසේකර මහත්මිය පශ්චාත් උපාධිය සඳහා ලන්ඩනයට පැමිණියාය. එම වකවානුවේම ගුණසේකර මහතා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සමග රාජකාරි කටයුත්තකට ලන්ඩනයට පැමිණ දෙමසක පමණ කාලයක් ලන්ඩනයේ නැවතී සිටි සමයේදී සිදු වන අමානුෂික ක්‍රියා පිළිබඳව කරුණු හෙළි කිරීමට ඇමිනෙස්ට් ආයතනයේ එවකට ලේකම්ව සිටි මර්ටින් එනල්ස් මහතා මුණගැසී ඇත. ගුණසේකර මහතාගේ හෙළිදරව්වෙන් මවිතයට පත් එනල්ස් මහතා සිය දුරකථනයෙන් කෙනෙකුට කතා කර මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට යන්නට කැමති දැයි අසා ඇති අතර, ඔහු මේ ඇරයුම පිළිගෙන තිබුණි. මෙම ඇරයුමෙන් මෙරටට පැමිණීම පිළිගෙන තිබුණේ ඇව්බේරි සාමිවරයාය.
ඇව්බේරි සාමිවරයාගේ වියෝවෙන් මහත් කම්පාවට පත් දැනට ලන්ඩනයේ වෙසෙන ප්‍රින්ස් ගුණසේකර මහතා හමුවීමට මා ගියේ ඇව්බේරි සාමිවරයාගෙන් ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කළ මෙහෙය පිළිබඳ වැඩි තොරතුරු දැන ගැනීමේ අටියෙන්. දැනට 93 වන වියෙහි පසුවන ගුණසේකර මහතා සිය මතකය සිහියට නංවමින් කතාබහට එක්විය.


ලන්ඩනයෙන් එනවිට මා මෙරටට ඇව්බේරි සාමි එනවා කියා දැන සිටියා. මා එකල වෘත්තීය සමිති නායකයකු වූ බාලාතම්පෝ මහතා සමග උසාවිවල නඩුවලට පෙනී සිටියා. මා ඔහුට කීවා මෙම කරුණ බාලාතම්පෝ මහතාට කී විගස ඔහු මා සමග ඇව්බේරි සාමිවරයා කැඳවාගෙන ඒමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඔහුගේ මෝටර් රථයෙන්ම කොළඹට ආවා.


ඔහු වරාය අසල පිහිටි හෝටලයක නතර වුණා. අපි පහුවදා කතරගම ගිහින් ප්‍රේමාවතී මරා දැමූ සැටි ඔවුන්ගේ දෙමව්පියන් ද අනෙකුත් සාක්ෂිකරුවන්ගේ තොරතුරුත් ඡායාරුපත් ගත්තා. අපි සාමිවරයා සමග දින 14ක පමණ රට වටේ තිබූ ටයර් සෑයවල්වල, වධකාගාරවල සියලුම තොරතුරු රජයේ මර්දනය නොතකා එකතු කර ගත්තා. මේ කාලය තුළ ඔරියන්ටල් හෝටලයේ සාමිවරයා නැවතී සිටියේය. ආරක්ෂක හේතු මත පසුව සාමිවරයා නැවතුණේ මගෙ නාවල - කොස්වත්ත පිහිටි නිවසෙයි. මෙය ආරක්ෂක හේතු මත අපි තීරණය කළා. ඔන්න ඇව්බේරි සාමිවරයා ලන්ඩනයට යන්න පෙර අර ඔරියන්ටල් හෝටලයට ගියා. ඔහුගේ තව බඩු ටිකක් එකතු කරගෙන එන්න. එහිදී කවුදෝ නිලධාරියෙක් ඇවිත් ලියුමක් දුන්නා ඇව්බේරි සාමිවරයාට. කියවල බලනකොට ඒ රටින් නෙරපා හැරීමේ නියෝගයක්. ඔහු මහ හයියෙන් හිනාවෙලා ලියුම මට පෙන්නුවා. පස්සේ කටුනායක යෑමට පෙර කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහකොමසාරිස් හමුවෙලා ඔහුවත් දැනුවත් කළා. ඇත්තටම සාමිවරයා කටුනායක යන්න යනකොට තමයි මේ නියෝගය ලබා දුන්නේ. පසු දින ඇව්බේරි සාමි රටින් පිටිවහල් කළ බව පුවත්පත්වල හා ගුවන්විදුලියෙන් ඉමහත් ප්‍රචාරයක් ලබා දී තිබුණා.


ලන්ඩනයට පැමිණි සාමිවරයා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළත්, ටයිම්ස්, ටෙලිග්‍රාෆ්, ඉන්ඩිපෙන්ඩන් වැනි ලොව සුපතළ පුවත්පත්වලත්, එවකට ශ්‍රී ලංකාව තුළ සිදු වූ සියලු සිදුවීම් පිළිබඳව මහත් ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. මේ සියල්ල සිදු වන අතරතුරත් ප්‍රින්ස් ගුණසේකර මහතාගේ දේශපාලන ගමන වෙනස් කරන්නට තරමේ පීඩනයක් යොමු කරලීමට සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ රජය හා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සැලසුම් කර තිබුණි.


ඇව්බෙරි සාමිවරයා මෙසේ ශ්‍රී ලංකාවෙන් පලවා හැරියේ ඇයි දැයි මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම ගමන නිසා මෙතෙක් පුවත්පත් වාරණය යොදා ගනිමින් ලොවටම සඟවා ගෙන තිබූ කරුණු රාශියක් හෙළිවන බැවින් එය සඟවා සිටීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු කරන්නට රජයට තීරණය කර ඇති බවය. තවද රටින් නෙරපා දැමූ අයෙකු කරන ප්‍රකාශවල කිසිදු වැදගත්කමක් නොමැතිය යන මතය ලොවටම කීමට ලන්ඩන් කෙමසාරිස් කාර්යාලයේ උපදෙස් මත මෙය සිදු වී ඇති බවත් පසුව හෙළි වූ බවද හෙතෙම කීවේය.


හමුදාව හා පොලිසිය ජවිපෙ සාමාජිකයනුත් එයට සම්බන්ධ නොවූ අයත් ගැන නිසි ක්‍රමවේදයකින් තොරව තරුණ - තරුණියන්ව අත්අඩංගුවට ගනිමින් විවිධ වධ බන්ධනවලට ලක් කරමින් සිදු කළ අමානුෂික හිංසා එකල ජීවත්ව සිටි සැමටම කිසි දිනෙක අමතක නොවෙනු ඇතැයි මට සිතේ. කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලැදි රූමත් තරුණියක වූ පේමාවතී මනම්පේරි නිරුවතින් මහා දවල් කතරගම නගරයෙහි ඇවිද්දුවාය. දස වධ දී, දූෂණය කර මරා දැමීමෙන් සිදු කළ යුද හමුදා ම්ලේච්ඡ ක්‍රියා පුවත්පත්වල පළ කිරීම පවා තහනම් කර තිබුණි. මාධ්‍ය මර්දනය කිරීම නිසා පුවත් පිළිබඳව තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට රජය උත්සුක විය. පොලිස් ස්ථානවල හා වධකාගාර බොහෝ ප්‍රදේශවල පවත්වාගෙන ගොස් තිබුණි. මෙම අමානුෂික ක්‍රියා තහනම් කළ අතර පිටරටවලට මේවා ගෙන යාම වැළැක්වීමට විශේෂ විධිවිධාන ද පනවා තිබුණි. ඇව්බේරි සාමිවරයා ලංකාවට පැමිණියේ මෙවැනි අභාග්‍ය සම්පන්න අඳුරු කාල වකවානුවක වීම නිසා රජයේ උකුසු ඇස ඔහු වෙත යොමුව තිබුණි.


ඇව්බේරි සාමිවරයාගේ පැමිණීමත් සමග සිදුවූ ප්‍රධාන වෙනස්කමක් ලෙස මා දකින්නේ එතෙක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ කිසිවෙකුටත් මිනිස් අයිතිවාසිකම් යන්න පිළිබඳ කිසිදු අවබෝධයක්, අදහසක් හෝ දැනුමක් නොතිබුණු අතර, ඔහු විසින් එහි ඇති  වැදගත්කම වටහා දීමය. තවද අපට එය රැකගන්නේ කෙසේ දැයි යන මුල් පාඩම ඉගැන් වූ තැනැත්තා ද ඔහු ලෙස සඳහන් කළ හැකිය. ඔහුගේ පැමිණීමෙන් අනතුරුව මෙරට සූරියා වික්‍රමසිංහ මහත්මිය හා ප්‍රින්ස් ගුණසේකර, බාලාතම්පෝ යන තිදෙනාගේ මූලිකත්වයෙන් මෙරට ප්‍රථමවරට මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත සංවිධාන දෙකක් බිහිවීම ද සිදු විය. සිවිල් අයිතින් සුරැකීමේ සංවිධානය :ක්‍සඩස ඍසටයඑි ඵදඩැපැබඑ* හා අනෙක මානුෂික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය :්‍ය්ෘඍධ* ලෙස හැඳින්විය හැක.


ඇව්බේරි සාමිවරයාගෙන් ශ්‍රී ලංකාවට සිදු කළ මෙහෙයන් අතර සුවිශේෂිම සේවාව වන්නේ එම වකවානුව තුළ ඔහු නොබියවම අහිංසක තරුණ කොටස් වෙනුවෙන්ය. ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අභීතව පෙනී සිටීමය. ඒ මහඟු සේවාව නිසාම මාගේ දැනුමේ හැටියට නම් ඇව්බේරි සාමිවරයා ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් රැක ගැනීම සම්බන්ධයෙන් ඔහුට පිදිය යුතු ඉහළම සම්මානය හිමි විය යුතුය. ඒ වර්ෂ 1987 - 1989 වසරයන්හි දී ඇරඹුණු ජවිපෙ දෙවන කැරැල්ල පැවැති කාලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සඳහා ඔහු විසින් කරන ලද විශිෂ්ට සේවාවටය.


ඇව්බේරි සාමිවරයාගෙන් දිරිමත් වූ ශ්‍රී ලංකාවේ මානව හිතවාදීහු අසරණ ජනතාවගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් නොබියවම පෙරට ඒමට පටන් ගත්හ. ඒ වෙනුවෙන්ම කැපවුණු හා ඒ වෙනුවෙන් නොබියව සටන් වැදුණු නීතිඥයන් පිරිසක් එවකට පැවති එජාප රජයේ (1988 - 1989) මර්දනකාරී පිළිවෙත නිසා පීඩාවට පත් තරුණ කොටස් වෙත පිහිට නොවන්නට කිසිදු පිළිසරණක් මොවුන් වෙනුවෙන් ඉටු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවිණි. මා එවකට කොළඹ නීතිඥ  සංගමයේ මෙන්ම තවත් සංගම් නියෝජනය කළ අයෙකු වූ අතර, මා පුවත්පත් කලාවේදියකු ලෙසත් කටයුතු කළ අයකු වූ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල බොහෝ දෙනෙකු දැන හැඳින තිබීම නිසා හිටි හැටියේ අතුරුදහන් වන අය පිළිබඳව බොහෝ තොරතුරු දැන ගැනීමට  හැකි විය.

තවද මා එකල දිවයිනේ බොහෝ මූලික අයිතිවාසිකම් හා විවිධ අසාධාරණයන් වෙනුවෙන් අධිකරණයේ මෙන්ම ඉන් පිටතදීත් සටන් වැදුණු ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ලෙස නම් දරා සිටි ප්‍රින්ස් ගුණසේකර මහතා මෙන්ම නිමල් සේනානායක, ආර්. කේ. ඩබ්ලිව්.

ගුණසේකර, කේ. ඇම්. පී. රාජරත්න වැනි බොහෝ අප රටේ සුපතළ නීතිඥයින් සමග කනිෂ්ඨ නීතිඥයකු ලෙස කටයුතු කර තිබීම නිසා මෙම අසාධාරණයට විරුද්ධව පෙනි සිටින මෙන් බොහෝ අයගෙන් මෙන්ම මා මිතුරු නීතිඥ පිරිස්වලින් ද පැමිණි ඉල්ලීම නිසා මම ද මෙම කටයුත්තට ඉදිරිපත් වීමට තීරණය කළෙමි. මා මේ පිළිබඳව මුලින්ම දැනුවත් කළේ ප්‍රින්ස් ගුණසේකර මහතාය. පසුව නිමල් සේනානායක එච්. එල්. ද සිල්වා, රාජරත්න, ඇන්. ඩී. සිල්වා යන මහතුන් දැනුම්වත් කළ අතර මින් නිමල් සේනානායක හා එච්. එල්. ද සිල්වා යන මහතුන් පැවසුවේ මෙම අත්අඩංගුවට ගත් අය අතර නීතිඥයන් සිටී නම් ඔවුන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීමට ඔවුන් සූදානම් බවයි.


මෙකී ආරම්භයත් සමග ම ඔවුන් ප්‍රින්ස් ගුණසේකර නිවසට ගෙන ගොස් හඳුන්වා දුන්නේ අපේ සටනට පිරිසක් සොයා ගත් ආරංචිය ඔහුට දැනුම් දෙමිනි. මෙම පිරිස සමග ගුණසේකර මහතා පසු කලෙක දකුණු පළාතේ දැඩි භීෂණයට නතු වී සිටි පිරිස් සඳහා ඔවුන්ගේ මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය නීති උපදෙස් පුරවැසි කමිටු ආරම්භ කරමින් ලබා දුනි. මෙම නීතිඥයන් පිරිස හා සබැඳුණු බොහෝ නීතිඥයන් අවි අතට ගත් හෝ නොගත්, සැකපිට අත්අඩංගුවට පත්වූ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියත් එකල රජය විසින් සිදු කළ මර්දනය කොතරම් සැහැසි වුවද කිව හොත් අවසානයේ දී මුල්ම බිල්ලට ගොදුරු වූයේ විජේදාස ලියනාරච්චි නම් තරුණ නීතිඥයාය. ඔහු වෙනුවෙන් මුළු මහත් රටෙහිම සිටි ජනතාව කම්පා වුණු අතර, මේ නිසා ඉතිහාසයේ ප්‍රථම වරට දින 3ක් අධිකරණය වසා තැබීමට පාලකයන්ට සිදුවිය. ඔහුගේ සිරුරේ තිබූ අභ්‍යන්තර තුවාල සිය ගණනක් වූ බව මරණ පරීක්ෂණයේ දී සඳහන් විය.


ඉන් අනතුරුව රජය බලාපොරොත්තු වූයේ මානව හිමිකම් සඳහා තවදුරටත් නීතිඥයන් මෙරට පෙනී නොසිටීවි යන්න වුවත්, ඊට වඩා පියවරක් ඉදිරියට තබමින් මානව හිමිකම් කඩවීම පිළිබඳව ලොව පුරා හඬක් නැගීමට ඉහත කී අපේ රටේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ලොව පුරා හඬක් නැගීමට ඉහත කී අපේ රටේ මානව හිමිකම් වෙනුවෙන් දිවි පිදු නීතිඥයා පිළිබඳව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමටත් එතනින් නොනැවතී බටහිර පුවත්පත් විදෙස් රූපවාහිනී නාළිකාවල ප්‍රධාන සිරස්තල පළ කිරීමට තරම් ශ්‍රී ලංකාවේ නීතිඥයෝ ඇව්බෙරි සාමිවරයා සමග එක්ව කටයුතු කර තිබුණහ.

නීතිඥ ශාන්ත සේනාධීර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී / හිටපු ලේකම් - කොළඹ නීති සංගමය.