වැඩ බෙදා ගැනීමේදී ප්‍රචාරක හා උද්ඝෝෂණ කටයුතු - රෝහණ විජේවීර, විජේසේන විතාන - මුළු දිවයිනේම සංවිධාන කටයුතු පාලනය, නිමලසිරි ජයසිංහ - අවි ආයුධ පරිපාලනය, ජේමිස් උයන්ගොඩ - පොලිසිය හා ආරක්ෂක අංශ සංවිධානය, සෝමසිරි කුමානායක - ජ.වි.පෙ ප්‍රකාශන අංශය, ලක්ෂ්මන් මාදුවගේ හා ඩබ්ලිව්. සිසිල් චන්ද්‍ර විජේවීරගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධව ද වගකීම් පැවරුණි.


ජ.වි.පෙ අනුබද්ධිත සංවිධාන ලෙස දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණ, දේශප්‍රේමී කාන්තා පෙරමුණ හා දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පිහිටුවා ගැනුණි. දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණ සභාපති - මහින්ද විජේසේකර, ලේකම් - සෝමසිරි කුමානායක, දේශප්‍රේමී කාන්තා පෙරමුණ ලේකම් - සීලවතී ද සිල්වා, දේශප්‍රේමී භික්ෂු පෙරමුණ සභාපති කොටවිල දේවසිරි හිමි, ලේකම් - කහඹිලියාගොඩ නන්ද හිමි, උප සභාපති - නාරම්බැද්දේ පියදස්සි හිමි.


ප්‍රසිද්ධ රැස්වීම් පිළිබඳ ගත් තීරණ 1970 අගෝස්තු 10 කොළඹ හයිඞ්පිටිය, අගෝස්තු 16 අම්බලන්ගොඩ, අගෝස්තු 21 අනුරාධපුරය, අගෝස්තු 31 හිඟුරක්ගොඩ, 1970 සැප්තැම්බර් 6 කෑගල්ල, සැප්තැම්බර් 7 කුරුණෑගල, සැප්තැම්බර් 23 මාතර හා වැල්ලවාය, සැප්තැම්බර් 25 තංගල්ල, සැප්තැම්බර් 26 තිස්සමහාරාමය, සැප්තැම්බර් 29 බෝගම්බර, 1970 ඔක්තෝබර් 02 ගාල්ල, ඔක්තෝබර් 6 මීගමුව, ඔක්තෝබර් 7 හලාවත, ඔක්තෝබර් 28 මොරටුව, ඔක්තෝබර් 29 ඇල්පිටිය හා 1971 පෙබරවාරි 27 කොළඹ හයිඞ්පිටිය.


මෙම රැස්වීම්වල ප්‍රධාන කථිකයින් වූයේ රෝහණ විජේවීර, මහින්ද විජේසේකර, ඩී. ඒ. ගුණසේකර, සිසිර වීරකෝන්, කොටවිල දේවසිරි හිමි හා නාරම්බැද්දේ පියදස්සි හිමියෝය.


හයිඞ් පිටියේ අවසන් රැලියේදී විජේවීර කතා කරමින්, “විප්ලවය කවදාද කියල හැම දෙනාම අහනවා. කවදාද ඔහේලා මහා පරිමාණයෙන් විප්ලවය මර්දනය කරන්න ඉදිරිපත් වෙන්නේ. කවදාද ඔහේලා තීරණාත්මක අයුරින් ජ.වි.පෙ.ට එරෙහිව ආයුධ ඔසවන්නේ. එදාට විප්ලවය කෙරෙයි.” එදාට විප්ලවය පටන් ගන්නා බවත් පැවසුවේය. “ගජබාව අවුරෝරාවක් වේවා. ඇචිලන් බැරැක්කය ප්ත්‍රෝගෑඞ් ගලිසරණියක් වේවා, කම්කරුවන්ගේ, ගොවින්ගේ, සෙබළුන්ගේ විප්ලවය දිනේවා” යනුවෙන් සිංහල හා රුසියන් බසින් පවසමින් සිය කතාව අවසන් කළේය.


මෙම කතාව අතිශයෝක්තියෙන් කරන ලද්දක් බව සංවිධානයේ නායකයෝ තේරුම් ගත්හ. නමුත් එයින් සිදු වුණේ සංවිධානයට එරෙහිව රාජ්‍ය මර්දනය වැඩිවීම පමණි.

 


● කැරැල්ලේ ආරම්භය
ජ.වි.පෙ මර්දනයට මුහුණ නොදී නිහඬව සිටීමෙන් අවසානයේදී තමන් අසරණ වන බව හා විනාශ වෙන බවට මතයක් ප්‍රාදේශීය සංවිධානවල සාකච්ඡා කෙරුණි. බදුල්ල, අම්පාර, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල මේ තත්ත්වය තදින්ම සිදුවිය. පහර දීමට තීරණයක් නොගන්නේ නම් තමන් පහරදීමට පියවර ගන්නා බව එම සංවිධානය දන්වා සිටින ලදී. ඔවුන් නොසන්සුන් වීමට කරුණු රැසක්ම විය.


1971 මාර්තු පළමු සතියේ දී විජේවීර දිස්ත්‍රික් මට්ටමින් නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. දඹුල්ලේදී මුණ ගැසුණ කෙලී සේනානායක සමඟ පොළොන්නරුවට පිටත් විය. ඒ හිඟුරක්ගොඩ සෝමෙගේ නිවසේ සාකච්ඡාවකටය. මේ සාකච්ඡාවට විසි දෙනෙක් පමණ සහභාගී වී සිටියහ. සාකච්ඡාවෙන් පසු විජේවීර, කෙලී සේනානායක, නිශ්ශංක විජේවර්ධන සමඟ අම්පාර බලා පිටත්ව ගියහ. අම්පාරේ ප්‍රේමතිලකගේ නිවසේදී පොලිසිය විසින් එම නිවස වටලා ප්‍රේමතිලක, ලාල් සෝමසිරි, කෙලී සේනානායක, අම්පාරේ ප්‍රේමරත්න, නිශ්ශංක විජේවර්ධන සමඟ රෝහණ විජේවීර අත්අඩංගුවට ගත්හ. 


1971 මාර්තු 16 වැනි දින ආණ්ඩුව රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. මාර්තු 17 දින අගමැතිනිය ජාතිය ඇමතුවාය. 
“මේ රටේ ජනතාව මුදා ගැනීමට යැයි කියමින් කලක සිට රහස් සංවිධානයක් ක්‍රියාත්මක වූ බව අපි දනිමු. මගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නිසා අපට විරුද්ධව කටයුතු කරන අයටත් නිදහසේ කටයුතු කිරීමට අපි ඉඩ දී සිටියෙමු. එහෙත් සුළු පිරිසක් එකතු වී මහා භයානක තත්ත්වයක් ඇති කිරීමට අර අඳින බව දැන් හෙළි වී ඇත. ඒ ඒ පළාත්වල බිහිසුණු අවි ආයුධ එකතු කර, ජනතාව බිය ගන්වා තමන්ගේ කටයුතු කරගෙන යන බව ද හෙළි වී ඇත. රටේ කැලඹිලි ඇති කර අවුල් සහගත අවස්ථාවක රටේ බලය අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ බව ද අනාවරණය වී ඇත. 


මේ රටේ ලේ වැගිරීම් ඇති වෙනවාට අපි කැමති ද? හරි පාලනය බිඳ වැටී කලබලකාරී තත්ත්වයක් ඇති වෙනවට අපි කැමති ද? කිසිසේත් කැමති නැත. එවැනි කලබල හා නොසන්සුන්කම් දුරුකර, රටේ නීතියත් සාමයත් සුරැකීම පිණිස ඔබ හැමගේ නොමසුරු ආධාරය රජයට ලබා දෙන්න. 


යාපනයේ බන්ධනාගාර ගතව සිටි විජේවීර තමන් සමග එකට අත්අඩංගුවට ගෙන ඇප ලැබුවෙකු මගින් දේශපාලන මණ්ඩලයට ලිපියක් යොමු කර කියා සිටියේ රාජ්‍ය මර්දනයට මුහුණ දීමට අපහසු නම් කණ්ඩායම් අතර සමගිය ආරක්ෂා කර ගනිමින් අවස්ථාව උචිත නම් පහර දීමට හෝ තීරණයක් ගන්නා ලෙසයි. 


මේ අනුව 71 අප්‍රේල් 02 දින දේශපාලන මණ්ඩලය ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයට රැස් වූහ. කණ්ඩායම නව දෙනෙක් වූහ. ජ.වි.පෙ. දෙවැනි නායකයා ලෙස පිළිගත් විජේසේන විතානගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවට ඩබ්ලිව්. ටී. කරුණාරත්න, නිමලසිරි ජයසිංහ, අනුර කුරුකුලසූරිය, එස්. වී. ඒ. පියතිලක, ජේමිස් උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය, ලයනල් බෝපගේ, සුසිල් වික්‍රම එක්ව සිටියහ. සිසිල් චන්ද්‍ර හා ලක්ෂ්මන් මාදුවගේ පැමිණ සිටියේ නැත. 


පැය දෙකක පමණ සාකච්ඡාවකින් පසු දේශපාලන මණ්ඩලය තීරණය කළේ අප්‍රේල් 5 දින රාත්‍රී 11.30ට ආරක්ෂක අංශ හා රජයේ ආර්ථික මධ්‍යස්ථාන හා මර්මස්ථානවලට පහර දී රාජ්‍ය බලය අල්ලා ගැනීමටය. එම තීරණය ගැනීමෙන් පසු 15 දින බටපොළ දී හමු වීමට එකඟතාව පළ කරමින් ඔවුහු විසිර ගියහ.

 


● කැරැල්ල 
පහර දීමේ සැලැස්ම වැල්ලවාය, මොණරාගල පොලිස් කොට්ඨාසවලට නියමිත පරිදි සන්නිවේදනය නොවීය. පහර දීමකට තීරණය නොගන්නේ නම් අප්‍රේල් 5 දින උදේ ඔවුන් පහර දෙන බවට ඒකමතික තීරණයක් ගෙන තිබුණි. එම තීරණය තම දිස්ත්‍රික් නායකයා වන ප්‍රේමසිරි ගමගේ මගින් දේශපාලන මණ්ඩලය වෙත යැවීය. ඔවුන්ට දැනුම් දී තිබුණේ දිනය 5 බව පමණි. තමන් ගත් දිනය නිවැරදි නම් වෙලාවත් නිවැරදි බව අදහස් කළ එම කණ්ඩායම් උදේ 4.30ට වැල්ලවාය හා මොණරාගල පොලිසිවලට පහර දීම ඇරඹූහ. 


එම ප්‍රහාරයන් අසාර්ථක විය. නමුත් ප්‍රතිඵලය ජ.වි.පෙ.ට බරපතළ ලෙස බලපෑවේය. සැලසුම් සියල්ල අපතේ ගියාක් මෙනි. බලාපොරොත්තු නොවුූ ප්‍රහාරය නිසා ආණ්ඩුව ආරක්ෂක අංශ සීරුවෙන් සිටුවා ඇඳිරි නීතිය පැනවීය. 


මේ නිසා කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරවල පහර දීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජ.වි.පෙ.ට නොහැකි වුණි.
නමුත් 5 වැනි දින රාත්‍රී 11.30ට දිවයිනේ පොලිස් ස්ථාන රැසක් කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු විය. ගස් කපා, ගල් පෙරළා, පාලම් කඩා, මාර්ග බාධක දමමින් එල්ල කළ ප්‍රහාර හමුවේ අසරණ වු පොලිසිය තම පොලිස් ස්ථාන අත්හැර මූලස්ථාන පොලිසිවලට වාර්තා කරන ලදී. එවැනි හිස් වු පොලිසි හා කැරලිකරුවන් අල්ලා ගන්නා ලද පොලිසි තම මධ්‍යස්ථාන බවට පත් කර ගනිමින් ප්‍රදේශයේ පාලනය ගෙන ගියහ. 


මාතර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන කිහිපයක් හැර සෙසු ස්ථාන කැරලිකරුවන්ට යටත් විය. ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම, ආරක්ෂාව සැපයීමට අමතරව තම ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව ද දැනුම්වත් කළහ. ජනතාව දන්නේ ඔවුන් පැවසු දේ පමණි. රටේ සෙසු පළාත්වල තත්ත්වය දැන ගැනීමට පවා කැරලි කරුවන්ට සන්නිවේදන මාර්ගයක් නොවීය. තම නායකත්වය සමග සම්බන්ධතාවයක් ද නොවීය. ගමනාගමනයක් ද නොවීය. 


සමහර ප්‍රදේශ සති දෙකක් යනතුරු පවා මුදා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට නොහැකි විය. මුදාගත් ප්‍රදේශ අත්හැර කැරලිකරුවෝ පලා ගියහ. කණ්ඩායම් වශයෙන් යාල, විල්පත්තුව, සිංහරාජයට පසු බැස්සහ. උස් කඳු ශිඛර ගල් පර්වතවල සැඟවී සිට හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. මෙම ප්‍රහාරවලදී කැරලිකරුවෝ මෙන්ම ආරක්ෂක හමුදා සොල්දාදුවෝ ද මිය ගියහ. 


කැරලිකරුවන්ට යටත් වෙන ලෙස ආණ්ඩුව විවිධ ක්‍රම මගින් දැනුම් දුන්නේය. ඒ අනුව සමහරු බාර වූහ. සමහරු පසුව ඒකරාශි වී දිග් ගැස්සෙන ගරිල්ලා සටනක යෙදීමේ අදහසින් වනාන්තර ගත වූහ. 1971 ජ.වි.පෙ. කැරැල්ල යකඩින්, ගින්නෙන්, ලෙයිස් අවසන් වූයේ මේ අයුරිනි. 


තම දරු මුනුපුරන් රජය පෙරැළීමේ සටනක් ගෙන යත්දී වැඩිහිටියෝ ග්‍රාමීය කමිටු සේවක කමිටු ඇති කර පළාතේ මන්ත්‍රීවරුන් රාජ්‍ය ආයතන ආරක්ෂා කිරීමට පියවර ගැනීමත් දෛවයේ සරදමකි. 


අසාර්ථක වූ කැරැල්ලෙන් පාඩම් ඉගෙන ගත්තේ කැරලි කරුවන්ට වඩා ආණ්ඩුවයි. මේ නිසා ආරක්ෂක අංශවලට සිය අඩුපාඩු වටහා ගැනීමට හැකි විය. පාලකයෝ තම පංතිය හා පාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා නවීන අවි ආයුධ පුහුණුව ලබා දෙමින් පිරිස් බලයෙන් හා උපාය උපක්‍රමවලින් සිය හමුදා ශක්තිමත් කර ගත්හ. 

 


● අප්‍රේල් මහා නඩුව
අත්අඩංගුවට ගත් කැරලි කරුවන් සිය දහස් ගණනක් කඳවුරු ගත කළහ. කැරැල්ල මෙහෙය වූ ජ.වි.පෙ. පළමු පෙළ හා දෙවන පෙළ නායකයින්ට නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා 1971 අංක 14 දරණ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත යටතේ 1972.05.16 දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් අති විශේෂ කොමිසම් සභාවක් පත් කරන ලදී. 


එම කොමිසමේ සභාපති ලෙස අග්‍රවිනිශ්චයකාර එච්.එන්.ජී. ප්‍රනාන්දු (සභාපති), ඒ.සී. අලස්, වී.ටී. තාමෝදරම්, එම්. දෙහෙරගොඩ, ටී.ඩබ්ලිව්. රාජරත්නම් (පසුව ඩී. විමලරත්න) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස් දෙනාගෙන් සමන්විත විය. පැමිණිල්ල මෙහෙය වූ නීතිඥ මණ්ඩලයට නීතිපති වික්ටර් තෙන්නකෝන්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කොලින් තෝමේ, නියෝජ්‍ය නඩු අධ්‍යක්ෂ රංජිත් අබේසූරිය, රාජ නීතිඥ තිලක් මාරපන හා නීතිවේදී සරත් නන්ද සිල්වා අයත් වූහ. 


රැජිනගේ ආණ්ඩුව පෙරැළීමට කුමන්ත්‍රණය කිරීම, යුද්ධ කිරීම, සාපරාධි බලහත්කාරයෙන් ලංකා ආණ්ඩුව බිය වැද්දීමට කටයුතු කිරීම, යුද්ධ ක්‍රියාවලට අනුබල දීම චෝදනා යටතේ සැකකරුවන් 41 දෙනෙකුට එරෙහිව ප්‍රධාන නඩුව ගොනු විය. 


1. එස්.වී. පියතිලක 
2. ලයනල් බෝපගේ 
3. ජේමිස් උයන්ගොඩ 
4. අනුර රංජිත් කුරුකුලසූරිය 
5. සුනන්ද දේශප්‍රිය 
6. නිමලසිරි ජයසිංහ 
7. වික්ටර් අයිවන් 
8. නිමල් මහරගේ 
9. සෝමසිරි කුමානායක 
10. වසන්ත කනගරත්න 
11. ඩී. ඒ. ගුණසේකර 
12. ටී. ඩී. සිල්වා 
13. රෝහණ විජේවීර 
14. ඩබ්ලිව්. සිසිල් චන්ද්‍ර 
15. පියසිරි කුලරත්න 
16. සුනිල් රත්නසිරි සිල්වා 
17. විරාජ් ලක්ප්‍රිය ප්‍රනාන්දු 
18. විජේපාල ද සිල්වා 
19. නිහාල් ආනන්ද පෙරේරා 
20. එස්.ඩී. බණ්ඩාරනායක 
21. එඞ්මන්ඞ් ද සිල්වා
22. ජේ. පී. පී. ධනපාල 
23. ලක්ෂ්මන් ගුණරත්න 
24. සුසිල් සිරිවර්ධන 
25. මහින්ද විජේසේකර 
26. කෙලී සේනානායක 
27. පී. ඩී. තේමිස් සිල්වා 
28. ඇලඩින් සුබසිංහ 
29. ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු 
30. ලක්ෂ්මන් ජයම්පති මුණසිංහ 
31. කේ. ජී. ජී. මෙරිල් ජයසිරි 
32. එන්. ප්‍රේමරත්න 
33. විජේසේන විතාන 
34. සුසිල් වික්‍රම 
35. සරත් විජේසිරි 
36. එච්. මිල්ටන් 
37. ඩබ්ලිව්. ටී. කරුණාරත්න 
38. ප්‍රේමපාල හේවාබටගේ 
39. නයනානන්ද විජේගුණතිලක 
40. ඩී. පී. විමලගුණේ
41. ජේ. ඒ. ජී. ජයකොඩි 


71 කැරැල්ලේ ප්‍රධාන නඩුවේ 6 විත්තිකාර නිමලසිරි ජයසිංහ, 9 විත්තිකාර සෝමසිරි කුමානායක හා 12 විත්තිකාර ටී. ඩී. සිල්වා චෝදනාවලට වරද පිළිගනිමින් රජයේ සාක්කිකරුවෝ බවට පත් වූහ. 33 විජේසේන විතාන, 34 සුසිල් වික්‍රම, 35 සරත් විජේසිරි කැරැල්ලේදී වෙඩි වැදී මිය ගොස් සිටියහ. නඩු විභාගයේ අවසන් තීන්දුව අනුව නායක රෝහණ විජේවීරට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. 


1977 බලයට පත් වූ ආණ්ඩුවෙන් අපරාධ යුක්ති කොමිෂම් සභා නීතිය අහෝසි කිරීමෙන් පසු කැරැල්ලේ මහ නඩුවේ 41 දෙනාම නිදහස් විය.


සුබසීල කොඩිකාර වි සින් නිර්මාණය කරන ලද ජ.වි.පෙ. ගීතය පක්ෂයේ ගීතය වශයෙන් ගායනා කළහ. පිළි ගැනුණි. 
විප්ලවේ රණ ගී - අදිරදේ අවමඟුල් ගී 
නිදහස් ජය මඟුල් ගී - ගයනා යුගයයි 
හද පන ගන් වන එම නාදේ - නැගී වැඩී දසතම විහිදේ 
අපේ මවු බිමේ හැම වැලි කැටයම - අපට උරුම කර ගැනුමට සදහට 
සතුරු බලය මැඩ උන් දණ ගස්වන 
පංති සටන පණ ගන්වව් - විජය ධජය නංවව් 
පෙර හෙළ විරුවන් ගිය පාර - හෙළි කරගෙන අඟලක් නෑර 
දනින් වැටී ජීවත් වෙනු වෙනුවට - හුරුවව් දෙපයින් සිට මිය යන්නට 
බලය බලය යොදවා ජය ගැනුමට - පංති සටන පණ ගන්වව්
විජය ධජය නන්වව් 
අතීතයයි සතුරන් දිනුවේ - අනාගතය පොදු ජන සතුවේ 
නැති වන්නට කිසිවත් නැති අප හට - ලොවක් තිබේ සටනින් ජය ගැනුමට 
විමුක්තියේ අරුනළු පතුරන්නට - පංති සටන පණ ගන්වව් 
විජය ධජය නන්වව්. 
ජනතා විමුක්ති පෙරමුණ විනාශ වූයේ නැත. යළි පණ ගැන්වී වර්තමානයේ ද තිබේ. නමුත් අද? 
(වික්ටර් අයිවන් මහතාගේ 71 කැරැල්ල කෘතියේ සමහර දත්තයන් මෙම ලිපියට ඇසුරු කර ඇත.)

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත
සඳමුතු ශර්මි ශ්‍රී. බුද්ධික