ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ රාහුල් ගාන්ධිගේ පුරාවත

02 වැනි පුරාවත

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරුගේ අභාවයෙන් පසු ජාතික කොන්ග්‍රස් පක්ෂයේ මෙන්ම රාජ්‍යයේද නායකත්වයට පත්වූවේ නේරුගේ ඇමති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතාය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් බිහිවූ දේශපාලනඥයෙකු වූ ඔහු ඉතා සරල හා නිහතමානී යහපත් මිනිසෙකු විය. බල ලෝබය කිසිම අයුරකින් වැළඳී නොතිබුණු මෙම විශිෂ්ට නායකයා කාටත් සවන්දෙන පක්ෂග්‍රාහී නොවී රටට යහපතක් කිරීමට කැපව ක්‍රියා කළේය. කාලයක් තිස්සේ ලංකාවට මහත් කරදරයක්ව පැවති රටක් නොමැති ජනතාව වශයෙන් හැඳින්වූ මෙරට වතු කම්කරු ප්‍රජාවගේ පුරවැසි අයිතිය පිළිබඳ ගැටලුව ගැන ශ්‍රී ලංකා අගමැතිනිය ශාස්ත්‍රී මහතා සමග පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථක වූ අතර ලංකාවේ වාසය කළ දෙමළ වතු කම්කරු ප්‍රජාවගෙන් පන් ලක්ෂ විසි පන්දාහක් දෙනා ඉන්දියාවට භාර ගැනීමටත් තුන් ලක්ෂයක් පමණ පිරිසකට ලංකාවේ පුරවැසිභාවය ලබාදීමටත් ඉතිරි පිරිස ගැන පසුව තීරණයක් ගැනීමටත් එකඟවීමෙන් ඔහුගේ නම්‍යශීලි බව ප්‍රකට විය. 


එහෙත් මෙම නායකයාට අගමැති ධුරය දැරීමට හැකිවූවේ වසර දෙකකටත් වඩා අඩු කාලයකි. පකිස්ථානය සමග පැවති දේශ සීමා ආරාවුලක් නිරාකරණය කර ගැනීම සඳහා සෝවියට් රුසියාවේ මැදිහත්වීමෙන් එරට ටස්කන්ට් නගරයේ පැවති සාම සාකච්ඡාවකට සහභාගි වී පකිස්තානු නායක අයුබ් ඛාන් සමග සුහද හමුවක යෙදී සිටියදී ශාස්ත්‍රී මහතා 1966 ජනවාරි මාසයේදී අභාවයට පත්විය. 


ඉන්දියාවේ නායකත්වය නැවතද වරක් හිස් විය. මේ සා විශාල මහා රාජ්‍යයක පාලන බර දැරීමට සුදුස්සා කවුරුදැයි කොන්ග්‍රස් පක්ෂයට නැවතත් අවධානය යොමු කිරීමට සිදුවිය. මෙහිදී එදා පැවති ලෝක දේශපාලන බල තුලනයේ කඳවුරු දෙකේ මහ බලවතුන් දෙදෙනා නියෝජනය කරන ආකාරයේ තරගයක් නිර්මාණය වූ බව එදා පුවත්පත්වල පළ වූ බව අපට මතකය. විදේශ ප්‍රතිපත්ති අතින් බටහිරට පක්ෂපාත වූද රටේ ආර්ථික ප්‍රතිපත්තිය අතින් ටාටා, බිර්ලා ආදී ධන කුවේරයන් මෙන්ම ජනතා මුදලින් සුරසැප විඳින මහා රාජාවරුන්ගේද වරප්‍රසාද හා උරුමයන් ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් පෙනී සිටින දක්ෂිණාංශික නායකයෙකු වූද ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූද මොරාජි දේශායි මහතා අගමැති පොරයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් විය. එහෙත් ඉන්දියාවේ සාතිශය බහුතරයක් වූ ගැමි ගොවි ජනතාවගේ සුබ සිද්ධියත්, නේරු-ගාන්ධි දේශපාලනයේ ආභාසය ලැබූ කොන්ග්‍රසයේ වැඩි පිරිසක් එම අපේක්ෂකයාට එකඟ නොවූහ. විදේශ ප්‍රතිපත්තිය අතින්ද සමාජවාදී දේශපාලන ක්‍රමයට බරවූ සෝවියට් කඳවුර සමග සමීප සබඳතා ඇතිව සිටි නේරුගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට සූදානම්ව සිටි බොහෝ කොන්ග්‍රස් නායකයෝ නේරු දියණිය ඉන්දිරා අගමැති ධුරයට පත් කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළහ. මුහුණට මුහුණ ලා පැවති මෙම අගමැති සටනේ ජය කාට අත්වේදෝයි ලොව පුරා සාකච්ඡාවට බඳුන් විය. 


එදා 1966 ජනවාරි 19 වැනි දින පැවති එම තරගයෙන් ඉතා පහසුවෙන් ඉන්දිරා ගාන්ධි මැතිනිය ජය ගත්තාය. පක්ෂයේ විධායක කමිටුවේ 355 දෙනෙක් ඉන්දිරාට පක්ෂ වූහ. ප්‍රතිවාදියාට පක්ෂ වූවේ නියෝජිතයන් 169 දෙනෙකු පමණි. එම ජයග්‍රහණයෙන් පසු සභාව ඇමතු ඇය මෙසේ පැවසුවාය. මගේ හදවත පිරී ඇති අතර ඔබට කෙසේ ස්තුතිවන්ත විය යුතු දැයි මට සිතා ගත නොහැක. දැන් ඔබ ඉදිරියේ සිටින මගේ සිත ශ්‍රේෂ්ඨ ඉන්දියානු නායකයන් වෙත ඇදී යයි. මම නැගී සිටින්නේ ඉන්දීය නිදහස් සටනේ අසහාය නායකයාවූ මහත්මා ගාන්ධි ගොඩනැගු පදනම මතය. පණ්ඩිත් ජී නමින් හඳුන්වන මගේ පියා (ජවහර්ලාල් නේරු) සහ ලාල් බහදුර් ශාස්ත්‍රී (ඉන්දියාවේ දෙවැනි අගමැතිවරයා) ඒ අතර වෙති. මෙම නායකයන් විසින් යා යුතු මග පෙන්වා දී ඇත. එම මාර්ගය විධිමත්ව අනුගමනය කිරීම මගේ අභිප්‍රායයි.” 


ඉන්දිරා ගාන්ධි මැතිනිය ඒ වන විට රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමතිනිය වූවාය. එමෙන්ම සිය පියාවූ ජවහර්ලාල් නේරු අගමැති ධුරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් දීර්ඝ කාලයක් රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධව කටයුතු කළ අත්දැකීම්වලින් පරිපූර්ණව සිටියාය. ඇයගේ උපන් නිවස වූ අලහබාද් නගරයේ ආනන්ද භවාන් නමැති මන්දිරය ඉන්දියාවේ නිදහස් සටනේ කේන්ද්‍රස්ථානය වූ බැවින් විමුක්ති අරගලයේ සියලුම නායකයන් ඇය කුඩා අවධියේ සිටම දැන හඳුනාගෙන සිටියාය. 
එපමණක් නොව ඇය විවාහ වූ ෆෙරොස් ගාන්ධි ද දේශපාලනඥයෙකු විය. රාහුල් ගාන්ධිගේ දේශපාලන උරුමය ගැන ලියවෙන මෙම ලිපියට ෆෙරොස් ගාන්ධිගේ භූමිකාව අතිශයින් වැදගත් සාධකයක් වේ. ඉන්දිරාටත් ඇගේ දරුවන් වූ රාජිව් සහ සංජේටත් ගාන්ධි යන පෙළපත් නාමය ලැබීමට හේතු වූවේ ඉන්දිරා සහ ෆෙරොස් ගාන්ධි අතර සිදුවූ මෙම විවාහයයි. රාහුල්ට ගාන්ධි නම ලැබීමේ හේතුව වූවේද මෙම කාරණයයි. නොඑසේව මහත්මා ගාන්ධිගේ සම්බන්ධයකින් මෙම නාමය පැවතෙන්නේ යයි වරදවා වටහා ගත යුතු නොවේ. 


විසිවැනි ශත වර්ෂය එළඹෙද්දීත් ඊට මදක් ප්‍රථමයෙනුත් දකුණු ආසියාවේ ධනවත් පවුල්වල බොහෝ තරුණ සාමාජිකයෝ සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාලවලට බැඳී ශිල්ප හැදෑරීම පුරුද්දක් මෙන් පවත්වාගෙන ගියහ. මෙම රටවල් සියල්ලම පාහේ බි්‍රතාන්‍යයට යටත්ව පැවති පසුබිම හමුවේ මෙම තත්ත්වය බොහෝ සෙයින් ස්වභාවික විය. මහා ධන කුවේරයෙකු වූ අධිනීතිඥ මොතිලාල් නේරුගේ මිනිබිරිය වූ ඉන්දිරා නේරු මෙනෙවියටද උසස් අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව ලැබුණේ ඒ ආකාරයටය. ඉන්දියාවේ නිදහස් සටන ඉහළින්ම ඇවිළී තිබුණු මෙම වකවානුවේ බි්‍රතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියෝද මහත් උද්‍යෝගයෙන් එම සටනට ආශිර්වාදය පළ කළහ. නිදහස් සටනේ දෙවැන්නා වූ ශ්‍රී නේරුගේ දියණිය වූ ඉන්දිරා ඔක්ස්ෆර්ඞ් හි සමර්විල් කොලීජියේ ඉගෙනුම ලබන බව දැන ගැනීමෙන් එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඈ හඳුනාගැනීමට දැඩි උනන්දුවක් දැක්වූහ. මෙසේ ඉන්දිරා හඳුනාගත් එක් ශිෂ්‍යයෙකු වූවේ ෆෙරෝස් ගාන්ධි ය. එම මිතුරු දම දුරදිග ගොස් පවුලේ හිතවතෙකු බවටද පත්වූවේය. ඒ වන විටත් ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්ව සිටි ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් එහි නායකයන්ගේ මහත් ප්‍රසාදයට හේතු වී තිබුණි. ඉන්දීය සුළු ජන කොටසක් වන පාර්සි වාර්ගිකයෙක් වූ ෆෙරොස් ගිනි දෙවියා පුදන ආගම අදහන්නෙක් විය. පවුලේ හිතවත්කමද ඉක්ම ගොස් මේ දෙදෙනා ආදරවන්තයෝ වූහ. ඉන්දිරා සිය පියාට දන්වා සිටියේ තමාට ෆෙරොස් සමග විවාහ වීමට අවසර දෙන ලෙස ය. ප්‍රශ්නය විසඳීම කාටත් ගුරු වූ මහත්මා ගාන්ධිට භාර විය. ඔහු මෙම විවාහය අනුමත කළේය. එහෙත් රටේ ජනතාවගේ මතය වූවේ ඉන්දිරාගේ තරාතිරමට ඔහු නොගැළපෙන බවය. පුවත්පත් පවා එසේ පළ කර තිබුණි. එසේ වුවත් දෛවයේ නියමය සපුරාලමින් 1942 මාර්තු 26 වැනිදා ඔව්හු විවාහ වූහ. ඔවුන්ගේ විවා දිවිය එතරම් සුව බර එකක් වූවේ නැත. මේ වන විට ඉන්දියාවෙන් පිටවෙයව් ව්‍යාපාරය තදින්ම පැතිර තිබුණි. නව යුවළ ද එම ව්‍යාපාරයට එක් වූහ. එහි ප්‍රතිඵලය වූවේ දෙදෙනාටම හිරගතවීමට සිදුවීම ය. 1947 දී ඉන්දියාවට නිදහස ලැබෙන විට දෙදෙනාම කොන්ග්‍රස් පක්ෂයේ බලගතු ක්‍රියාකාරිකයෝ වූහ. ඉන්දිරා අගමැති නේරුගේ ලේකම්වරිය වශයෙන් දිල්ලියේ තීන් මූර්ති නම් වූ අගමැති මැඳුරේ පදිංචියට ගිය අතර ෆෙරොස් උත්තර ප්‍රදේශ්හි රායි බෙරෙල්ලි ආසනයේ ලෝක් සභා මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරමින් ලක්නව් නගරයේ පදිංචිව සිටියේය. 

 


පැහැදිලි කිරීමයි

පුරා විද්‍යා චක්‍රවර්තී එස්. එම්. සෙනවිරත්න මහතා විසින් නිර්මාණය කරන ලද ජනරජ ලාංඡනය පිළිබඳ කතාව පසුගිය 21 වැනිදා ‘දියත’ කලාපයේ පළවූ අතර එය මාපලගම විපුලසාර හිමියන්ගේ අදහසක් අනුව නිර්මාණය වූ බවට පළවීම සාවද්‍ය බව ඒ මහතාගේ දියණිය නෙළුම් පෙරේරා මහත්මිය දන්වා එවා ඇත.


ඒ අනුව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්කළ විද්වත් කමිටුවේ නිර්මාණය හා මාපලගම විපුලසාර නාහිමියන්ගේ අධීක්‍ෂණය අනුව එම ලාංඡනය අග්‍රාමාත්‍යතුමියගේ අත්සනින් අනුමත වූවකි.


සෙනවිරත්න මහතාට පුතුන් දෙදෙනෙක්ද දියණියෝ තිදෙනෙක්ද සිටිති.

 


 

 

තවත් කොටසක් 
ලබන සතියේ.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි