ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව ජනාධිපතිවරණයක් යනු මෙරට පාලනය සඳහා වඩාත් සුදුසු පාලකයෙක් තෝරා ගැන්මේ අවස්ථාවකි. විධායක බලය කේන්ද්‍ර කරගත් මෙම තනතුරේ බලතල ව්‍යවස්ථාවට එක් කරන ලද 19 සශෝධනය අනුව කිසියම් ප්‍රමාණයකින් අඩු කරන ලද වුවද සන්නද්ධ සේවාවන්ගේ අණ දෙනා ප්‍රධානියා ඔහුය. සේනාධිනාධිකයා ඔහුය. එසේ නම් මේ තනතුර සඳහා ගැළපෙන විශිෂ්ට පුද්ගලයෙක් මේ සඳහා තෝරා ගත යුතුය. මෙහි වැදගත්කම කෙතරම් ද යත් සමස්ත ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාසයක් ලෙසට පත් වී ඡන්දදායකයා නව අපේක්ෂකයා තෝරා ගනිති. 


ජනාධිපතිවරණ පැවැත් වූ මුල් යුගයේ කිසියම් ආකාරයෙන් ප්‍රබුද්ධ පුද්ගලයන් මේ සඳහා ඉදිරිපත් වුවත් මේ වන විට අපේක්ෂකයකු වීමට ඇති ලිහිල් ඉඩ කඩ නිසා විවිධ මට්ටම්වල පුද්ගලයෝ අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙති. 


වාර්තාවන අන්දමට තමන්ගේ පක්ෂයේ නව ප්‍රචාරය සඳහා ඇතැම් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙති. විදේශ ගත වී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස එහිදී පෙනී සිට විවිධ වරප්‍රසාදය සඳහා ඇතැම් අය ඉදිරිපත් වෙති. (ඡන්දයේදී ගන්නා ඉතා අඩු ඡන්ද සංඛ්‍යාව එහිදී කවුරුත් දන්නේ නැත.) 


ඇතැම් ප්‍රධාන අපේක්ෂකයන්ගේ සහයට ඇතැම් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙති. ඡන්ද දායකයාට ප්‍රධාන අපේක්ෂකයාට සමාන නම් ඇති අයවූවන් ඉදිරිපත් වන්නේ ඡන්දායකයා රැවටීමටය. එසේ රැවටී ඡන්දය අපතේ දමන ඡන්ද දායකයින් දැන් ලංකාවේ නැත. තමන් පිළිබඳව හෝ තම පක්ෂය පිළිබඳව අධිතක්සේරුවෙන් ඇතැම් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙති. මේ කුමන මට්ටමෙන් ඉදිරි පත් වුවද ජනාධිපතිවරණ ඉතිහාසය කියා පාන්නේ ජනාධිපති තනතුරට තරඟ වඳින ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලු අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වී ඇති බවය. ජනාධිපතිවරණයකට මැතිවරණ කොමසාරිස් පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් පනස් දහසක් ද ස්වාධීන හෝ පිළිගත් දේශපාලන පක්ෂයකින් නොවන අපේක්ෂකයෙක් හැත්තෑ පන් දහසක් ද ඇප මුදල් තැන්පත් කළ යුතුය. 


ප්‍රධාන පක්ෂ දෙකට අමතරව මෙතෙක් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත් තුන් වැනි පක්ෂ දෙකක් විය.  ඒ ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. ජ.වි.පෙ. 1982 දී ලබා ගත්තේ ඡන්ද 273,428 ක් වන අතර එම ප්‍රමාණය 4.19% කි. 1999 දී එම පක්ෂය ලබා ගත්තේ ඡන්ද 344,173 ක් හෙවත් 4.08 % කි. මහජන පක්ෂය 1988 දී තරග කර ලබා ගත්තේ ජන්ද 235,719ක් හෙවත් 4.62%කි. මේ සෑම අවස්ථාවකට වලංගු ඡන්ද වලින් 5 % ලබා ගැනීමට කිසිම පක්ෂයකට නොහැකි විය. 1982 ප්‍රථම ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ. නායකයා හැර තවත් පක්ෂ 3 ක නායකයෝ තිදෙනෙක් තරග කළහ. කුමාර් පොන්නම්බලම් (ස.ල.දු.කො.) ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා (ල.ස.ස.ප.) වාසුදේව නානායක්කාර (න.ල.ස.ස.ප.)  ඔවුන් තිදෙනාම ලබා ගත්තේ ඡන්ද 249,290 ක් හෙවත් 3.18% කි. මේ සියලු දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය. 1988 දෙවැනි ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග කළේ ශ්‍රී.ල.ම. පක්ෂයේ ඔසී අබේගුණසේකර පමණි. ඔහු ලැබු 235,719 ක් හෙවත් 4.62% හේතුවෙන් ඔහුගේ ද ඇප මුදල් රාජසන්තක විය. 1994 තුන් වන ජනාධිපතිවරණයේදී පක්ෂ 02 ක් හා ස්වාධීන දෙදෙනෙත් තරග කළත් ඔවුන් 04 දෙනාම ලැබුවේ ඡන්ද 157,038 ත් හෙවත් 1.81% කි. 1999 දී 11 දෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තරග කළ අතර ඉන් ජ.වි.පෙ. ඡන්ද 344,173 ක් හෙවත් 4.08 % ක් ලබද්දි ඉතිරි අපේක්ෂකයින් දහ දෙනාගෙන් තිදෙනෙක් ස්වාධීන අයවලුන් වූහ. නමුත් එම 10 දෙනාම ලබා ගත්තේ ද ඡන්ද 140,817 ක් හෙවත් 2.08% කි. 2005 දී ප්‍රධාන පක්ෂ දෙකට අමතරව පක්ෂ 11 කින් අපේක්ෂකයෝ තරග කළහ. ඒ සියලු දෙනාම පාහේ පක්ෂවල නායකයන් වුවත් ඔවුන් සියලු දෙනාටම ලබා ගත හැකි වූයේ ඡන්ද 123,521 ක් හෙවත් 1.28 %ත් වූ ප්‍රමාණයකි. 


2010 ජනාධිපතිවරණයේදී මෙතෙක් තරග කළ වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණය වූ ප්‍රධාන පක්ෂ දෙකට අමතරව 20 දෙනෙක් තරග කළහ. නමුත් එම 20 දෙනාගෙන් 05 හැර අනෙක් 15 දෙනාම පක්ෂ වලින් ඉදිරිපත් වුවන්ය. එම විසි දෙනාම ලබා ගත්තේ ද ඡන්ද 194,654 ක් හෙවත් 1.97 % කි. 2015 අවසාන ජනාධිපතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකට අමතරව අපේක්ෂකයන් 17 ක් තරග කළ අතර ඉන් 02 හැර අනෙක්  අපේක්ෂකයන් 15 දෙනාට විවිධ පක්ෂ වලින් ඉදිරිපත් වූවන්ය. ඔවුන් ලබා ගන්නා ලද්දේ ඡන්ද 13,820 ක් හෙවත් 1.14 % කි. මින් පැහැදිලි වනුයේ මෙරට ඡන්ද දායකයා ප්‍රධාන බලවේග දෙකක් හැර වෙනත් පක්ෂ හා කණ්ඩායම්වලට අනුකූලතාව නොදක්වන බවය. 1982 සිට 2015 දක්වා එම බලවේග දෙක හැර සියලු පක්ෂ හා කණ්ඩායම්වල ඇප මුදල් රාජසන්තක වීමට තරම් දරුණු පරාජයන් ඒවාට අත්කර දීමට මෙරට ඡන්දදායකයා කටයුතු කර ඇත.

 

 

 


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූප අන්තර්ජාලයෙනි