හිටපු කැබිනට් ඇමැතිවරයෙකු මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා බොහෝ සෙයින් විනෝදකාමී ප්‍රියජනක පුද්ගලයෙකි. අනුන්ට ලණුදීමට දැඩි කැමැත්තක් දැක්වූ ඔහුට ඇතැම් අවස්ථාවලදී අන්‍යයන් විසින් දෙන ලද ලණු කෑමටද සිදුවී තිබුණේය.


1970-77 අතර පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ඔහු කටයුතු කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා වශයෙනි. විශේෂයෙන්ම 1971 තරුණ අරගලය පැවැති කාලවකවානුව තුළ අගමැතිනියත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීනුත් අතර සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබුණේ අනුරුද්ධ රත්වත්තේගේ කර මතය. එකල ඔහුට එවැනි භාරධූර වගකීමක් පැවරීමට මුල්වූ හේතු සාධක එකක් දෙකක් නොව කීපයක්ම තිබිණි.


ඒ අතරින් වැදගත්ම කරුණ වූයේ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසය දිනූ සමීපතම ඥාතිවරයකු වීමයි. ඒ අනුව පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග ඔහුගේ පැවැති සමීප සම්බන්ධයද ඒ සඳහා මුල්වූ තවත් හේතුවක් වී තිබුණේය.


එක වතාවක් අප්‍රේල් පළමුවැනිදා යෙදී තිබුණේ ඉරිදා දවසකයි. එදාට අපි හැමෝටම නිවාඩුයි. ඒත් මට ඊට කලින්දා නිකමට වගේ හිතුණා අගමැතිතුමිය ඇතුළු ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට පොඩිපහේ ලණුවක් ගිල්ලවන්න. එහෙම හිතලා මම අගමැතිතුමියට කිව්වා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට ඔබතුමිය හමුවීමට අවශ්‍ය යැයි දැනුම්දී තිබෙනවයි කියලා.


අනුරුද්ධ රත්වත්තේ තම රාජ්‍ය නායිකාවට එසේ කී විට එම ඉල්ලීමට පිටුපෑමට එතුමියට නොහැකි විය. මුලින් එතුමියගේ අදහස වී තිබුණේ එදින විවේක සුවයෙන් ගත කිරීමටය. කෙසේ වෙතත් රටේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ අගමැතිනිය හොඳයි එහෙම නම් හෙට උදේ 8.30 ට කට්ටියටම අරලියගහ මන්දිරයට එන්න කියන්න යි කියමින් ඒ සඳහා අවස්ථාවක් ලබාදුන්නාය.


එසැණින් දුරකථනය ළඟට ඇදගත් අනුරුද්ධ රත්වත්තේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාවූ ආතර් රත්නවේල් මහතා ඇතුළු පොලිස් හා ආරක්ෂක හමුදා ප්‍රධානීන් සියලුම දෙනාට දැනුම් දුන්නේ අගමැතිනියට ආරක්ෂක හමුදා ප්‍රධානීන් හමුවීමට ඇති බැවින් ඊට පසුදා උදෑසන 8.30 ට අරලියගහ මන්දිරය වෙත පැමිණෙන ලෙසය.


ෂහ්.. මම හෙට ගමේ ගිහින් එන්න කියලයි බලාපොරොත්තුවෙන් හිටියේ. එහෙම නං ඉතින් මොනව කරන්නද? යි කී යුද හමුදාපති සේපාල ආටිගල මහතා තමන් අනිවාර්යයෙන්ම එම සාකච්ඡාවට පැමිණෙන බව තහවුරු කළේය. සෙසු හමුදා ප්‍රධානීන්ද එම ඉරිදා දිනයේ නොයෙකුත් පෞද්ගලික වැඩ කටයුතු යොදාගෙන තිබුණද රාජ්‍ය නායිකාවගේ කැඳවීම ගැන නොසලකා හැරීමට ඒ කිසිවකුට හෝ නොහැකි විය.


කොහොම හරි උදේ 8.00 ටත් කලින් මම ගියා අරලියගහ මන්දිරයට. එතකොටයි මම දැනගත්තේ තමන් හමුවීමට එන ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට දෙන්න කියලා අගමැතිතුමිය කිරිබත් සංග්‍රහයක් පවා සූදානම් කර තිබෙන බව. දැන් ඔන්න උදේ 8.30 වෙනකොට ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලුම ආරක්ෂක හමුදා ප්‍රධානීන් සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසිලා අරලියගහ මන්දිරයේ ඉහළ මාලයේ තිබුණු සාකච්ඡා කාමරයේ රැස්වෙලා හිටියා. එතකොටමත් අගමැතිතුමිය පාන්දරින්ම නාලා තෙත කොණ්ඩෙ පිටින්ම ඇවිත් තමන්ගේ ආසනයේ ඉඳගත්තා.


රත්වත්තේ මහතා ප්‍රකාශ කළ අන්දමට ආරක්ෂක හමුදා ප්‍රධානීන් පිරිස එක එල්ලේම මැතිනිය දෙස බලා සිටියේ ඇය ඉතා වැදගත් කරුණක් පිළිබඳව තමන්ට දැනුම් දෙනු ඇතැයි සිතමිනි. එහෙත් සිදුවූයේ එතුමිය ද ඊට සමාන අදහසක් සිත තුළ රඳවා ගෙන ඔවුන් දෙස විමසුම් ඇසින් බලා සිටීමය. විනාඩියක් හෝ දෙකක පමණ කාලයක් මෙලෙස ගෙවී ගියේය. ඊළඟ මොහොතේ අග්‍රාමාත්‍යවරිය කටහඬ අවදි කළාය.


“ඇයි මේ මහත්වරුන්ට මාව මුණ ගැහෙන්න අවශ්‍යයි කිව්වේ”


මැතිනිය ඉංග්‍රීසි බසින් එලෙස විමසද්දී ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සිදුවූයේ සිදුවන්නේ කුමක්දැයි නොදැන උඩබිම බැලීමටය.


“ඇයි මැඩම් අනුරුද්ධ තමයි ඊයේ හවස අපට කිව්වේ ඔබතුමියට අපිව හම්බවෙන්න අවශ්‍යයි කියලායි” කී හමුදාපති සේපාල ආටිගල අනුරුද්ධ රත්වත්තේ දෙස බලද්දී ඔහු බිත්තියේ එල්ලා තිබූ දින දර්ශනය දෙස ඇඟිල්ල දිගුකරමින් සමච්චල් සිනාවක් පෑවේය. ඒ සමගම කාටත් අවබෝධ වූයේ මෝඩයන්ගේ දිනයේදී ඔහු තමන්ට ලොකු ලණුවක් දී ඇති බව ය.


ඒ සැරේ කාටත් හිනාගියා. ඒ වගේම හැමෝටම ලජ්ජයි. පස්සෙ මැතිනිය කිව්වා ‘අනුරුද්ධ අපි හැමෝම රැවැට්ටුවා. ඒකට කමක් නෑ. දැන් එහෙනං අපි කවුරුත් එකතුවෙලා කිරිබත් කෑල්ලක් කාලා තේ ටිකක් බොමු’ යි කියලා.


අනුරුද්ධ රත්වත්තේ මහතා මහයායේ කතාව නමැති තම චරිතාපදානයේ සඳහන් කර තිබූ අන්දමට ඔහු රටේ එවකට රාජ්‍ය නායිකාව ඇතුළු සියලුම ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට අප්‍රේල් මස 1 වැනිදාට යෙදී තිබුණු මෝඩයන්ගේ දිනයේදී ලෝක ලණුවක්දී තිබුණේ එසේය.


මේ අතර එදින සවස්වරුවේ තම නිවසට ගිය රත්වත්තේ තමන් රටේ රාජ්‍ය නායිකාව ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ලණුවක් ගිල්ලවූ අයුරු තම බිරිය සහ දරුවන් සමග කියා සිටියේ බක බක ගා සිනාසෙමිනි. ඔහු එසේ විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් සිටියදී හමුදාපතිවරයාගේ නිල රථය පෙර ගමන් රියද සමග තමන්ගේ ගෙවත්තට ඇතුළු වන අයුරු දුටු ඔහු වහා ඉදිරියට ගොස් එහි සිටි හමුදා ප්‍රධානියාත්, ඔහුගේ බිරියත් පිළිගත්තේය. ඒ සමගම වාගේ ගුවන් හමුදාපතිවරයාද තම නිල රියෙන් එහි සැපත් වන අයුරු දුටු රත්වත්තේගේ සිතට තරමක සැකයක් ඇතිවිය. එම සැකය වඩාත් තහවුරු වූයේ නාවික හමුදාපතිවරයාත් ඔහුගේ බිරිය සමග තම නිවසට පැමිණෙන අයුරු දැකීමෙනි.


“ආ අනුරුද්ධට බොහොම ස්තුතියි අපට ආරාධනා කෙරුවට” යි කියමින් තම නිවසට ඇතුළුවූ ආරක්ෂක හමුදා ප්‍රධානීන් පිළිගැනීමට ඔහුත් බිරිඳත් යුහුසුළු වෙද්දී හමුදා බෑන්ඞ් කණ්ඩායමද සිය සංගීත භාණ්ඩද රැගෙන එහි පැමිණෙන අයුරු ඒ සමගම පෙනුණේය. එම ට්‍රක් රථය පිටුපස තවත් හමුදා ට්‍රක් රථයක් පැමිණි අතර එයින් බීම වර්ග ඇතුළු රස බොජුන් හමුදා වේටර්වරුන් විසින් ඉවතට ගන්නා අයුරු දුටු අනුරුද්ධගේ දෑස් උඩ ගියේය.


අන්තිමේදී ඔහුගේ මුළු ගෙවත්තම සන්ධ්‍යා සාදයක සිරි ගත්තේ තවත් විනාඩි කීපයක් ඇතුළතය. ඒ සමගම වාගේ අගමැතිනියද සමග පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් ආතර් රත්නවේල් මහතාද පැමිණි අතර ඔහු වහා ඉදිරියට ගොස් එම සම්භාවනීය අමුත්තන් පිළිගත්තේය. එදින තම නිවසේ පැවැති අනපේක්ෂිත සාදය මැදියම් රැයට ආසන්න වනතුරුම පැවැති බව හෙතෙම පවසයි.
“පස්සෙ බලන කොට මම එදා උදේ ඒ අයට දුන්නු ලණුවට ඒ ගොල්ලොත් මට රිටන් එකක් දීලා. හැබැයි ඊට පස්සෙන්දා යුද හමුදා මෙස් එකෙන් මගේ නමට ලැබුණු බිල දැක්කමයි මට දෙලොව රත්වුණේ. රුපියල් හාරදාස් හයසිය ගණනක් මට ගෙවන්න වුණා. ඒ කාලෙ මගේ පඩිය රුපියල් එක්දාස් හාරසිය ගණනයි”


අනුරුද්ධ රත්වත්තේ මහතා මහයායේ කතාව නමැති තම චරිතාපදානයේ එම සිද්ධිය ගැන සඳහන් කර තිබුණේ ලොක්කන්ට ලණුදීමට ගිය තමන් එදින හොඳ පාඩමක් ඉගෙනගත් බවය. එසේම ඉන් අනතුරුව තවත් කිසිවකුට හෝ ලණුදීමට නොගිය බවද හෙතෙම පවසා තිබුණේය.

 

 

 

 

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර