ශ්‍රී ලංකා ජන රජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතළිස් වසරක් සපිරීම වෙනුවෙන් ඔහු නායකකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය විසින් උසස් අන්දමින් සැමරීමට කටයුතු කරගෙන යන මොහොතක එම දේශපාලන භූමිකාව පිළිබඳව කථා කිරීම කාලෝචිත වේ. මිනිස් ජීවිතයට සාපේක්ෂව සලකා බැලීමේ දී හතළිස් වසරක් යනු ඉතා දීර්ඝ කාල පරාසයකි. ඒසා දිගු කලක් දේශපාලන ක්ෂේත‍්‍රයේ රැුඳී සිටිමින් අදටත් ප‍්‍රබලම දේශපාලන පක්ෂයේ නායකයා වශයෙන් රැුඳී සිටිමින් අගමැතිධූරයේ කටයුතු කිරීමටත් අවස්ථාව ලැබීම වූකලී අහඹු සිදුවීමක් නොවේ. විශේෂයෙන් දකුණු ආසියාවේ රටවලට ආවේණික ‘රැුල්ල’ ඉදිරියේ ගසාගෙන නොගොස් රැුඳී සිටීමට හැකිවීම දක්ෂකමකි.

දහනව වැනි සියවසේ ලංකාවේ ඇති වූ ජාතික හා දේශපාලන ප‍්‍රබෝධයේ අඩිතාලම වශයෙන් සැලකිය යුතු වන්නේ පානදුරාවාදය හරහා ඇතිවූ ආගමික පුනර්ජීවය බව පිළිගත යුතු සත්‍යයකි. බෞද්ධ අධ්‍යාපනය බිහිවීම, පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, රත්මලානේ ධර්මාලෝක සහ ධර්මාරාම නායක හිමිවරු, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති ආදී හිමිවරුන් ලබා දෙන ලද භික්ෂූ සහාය, පිරිවෙන් අධ්‍යාපනය ඇතිවීම සහ පානදුරාවාදයේ යශෝකීර්තිය හරහා දේශ දේශාන්තර කරා හමා ගිය බෞද්ධ නැගී සිටීම ආදී සියලූම සාධකයන් මේ රටේ දේශපාලන නායකත්වයක් බිහි වීමට එක්තරා හේතුවක් විය. 
1912 දී පිහිටුවා ගන්නා ලද අමද්‍ර්‍යප මහා සභාව ඉන් මුල් තැනක් ගනී. එම වසරේ ජූලි 14 වැනිදා පිහිටුවා ගත් මෙම සංවිධානයේ අරමුණ වූවේ ද සුරාවෙන් රට බේරා ගැනීමයි. 1912 අපේ‍්‍රල් 15 වැනිදා එවකට පැවති ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවට මේ රටේ යටත් විජිත මහලේකම් සර් හියු ක්ලිෆඞ් ඉදිරිපත් කරන ලද සුරා බදු පනත මගින් රටපුරා ගමක් පාසා සුරා තැබෑරුම් ඇති කිරීමටත්, එමගින් ආදායම් උපදවා ගැනීමටත් යෝජනා කරන ලද විට එයින් බෞද්ධ සමාජයට එල්ල වන අහිතකර බලපෑමට විරුද්ධ වීම මෙම සංවිධානයේ ස්ථිර සාර අපේක්ෂාව විය. මෙහි ආරම්භක රැුස්වීමේ මුලසුන ගත්තේ මීරිගම බෝතලේ වලව්වේ නිවැසි දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාය. ඔහුගේ පුතණුවන් වූ ඞී. සී. සේනානයක, ඇෆ්. ආර්. සේනානායක සහ ඞී. ඇස්. සේනානායක යන තිදෙනාත් සර් ඞී. බී. ජයතිලක, දොස්තර ඩබ්ලිව්. ඒ ද සිල්වා, ආතර් වී. දියෙස්, පියදාස සිරිසේන, දොස්තර සී. ඒ. හේවාවිතාරණ ආදී නායකයන් විශාල පිිරිසක මෙම සංවිධානයේ ආරම්භක රැුස්වීමට සහභාගී වූ බව වාර්තාගතව ඇත. එවකට ලංකාවේ නැගී එමින් පැවති නව ව්‍යාපාරික පංතියේ ධන බලය ද මෙම ව්‍යාපාරයට ලැබුණි. දොන් කරෝලිස් හේවා විතාරණ, ස්පේටර් සේනානායක මුදලිතුමා, චන්ද්‍රසේකර මුදලිතුමා ආදීහු එම අර්ථපතියෝ වූහ. මිනිරන් කර්මාන්තය වතු වගා ව්‍යාපාරය සහ ව්‍යාපාරික වෙනත් ක්ෂේත‍්‍රයන්හි යෙදුණු මෙම දානපතියෝ තම ධනයෙන් කොටසක් ආගමික කටයුත්තක් ලෙස සලකා අමද්‍යප ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා කැප කළහ. 1915 ජාතිවාදී අරගලය හරහා ඇති වූ සිදුවීම්වලින් පසු ලංකාවේ ආණ්ඩු ප‍්‍රතිසංස්කරණය හා නිදහස ලබා ගැනීමේ අරමුණ ඇතිව බිහිවූ ලංකා ජාතික සංගමයේ ආරම්භයට මූලික වූ මූල බීජය වූවේ අමද්‍යප ව්‍යාපාරයයි.


අලූතෙන් නැගි එන ව්‍යාපාරික පන්තියේ තවත් එක් ප‍්‍රබලයෙකු වූ සේදවත්තේ දොන් පිලිප් විජේවර්ධන මුදලිතුමා ද ප‍්‍රදේශයේ ආගමික හා සමාජ සේවා කටුයුතුවලට මුල්තැන දෙන දානපතියෙකු වූවේය. එතුමාගේ අභාවයෙන් පසු එතුමා සතු විශාල ධනය උපයෝගී කර ගෙන එතුමන්ගේ බිරිඳ වූ දෝන හෙලේනා විජේවර්ධන මැතිනිය විශාල ධන පරිත්‍යාගයෙන් යුතුව ශාසනික සහ ආගමික දියුණුවට කටයුතු කරගෙන ගියාය. පෘතුගීසි, ලන්දේසි සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය තුන යටතේ විනාශයට පත්ව වල් බිහිවී ගොස් තිබුණු කැලණිය රාජ මහා විහාරය තම ධන පරිත්‍යාගයෙන් නැවත ප‍්‍රතිස්ඨාපනය කළේ දෝන හෙලේනා විජේවර්ධන මැතිනියයි. මෙම අති උතුම් පුණ්‍ය භූමිය සකල ලංකාවාසී බොදු ජනතාවගේ භක්ති ප‍්‍රණාමයට පාත‍්‍රවන මුදුන් මල්කඩක්ම වූවේය. මහා ධන සම්භාරයක් වැය කර එය නැවත ගොඩ නැගීම නිසා දෝන හෙලේනා ළමා තැනිය බොදුනුවන්ට සිදු කළ අති මහත් සේවයට බෞද්ධයෝ එතුමියට අතිශයින් ණයගැතිය. එතුමියගේ වැඩිමහල් දියණයගේ ජ්‍යෙෂ්ඨ පුත‍්‍රයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1943දී කැලණිය ආසනයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්වන්නේ මෙම ආගමික පසුබිම ද උපයෝගී කර ගනිමින් බව රහසක් නොවේ. පැසුණු බුද්ධියකින් යුතුව දිගු දේශපාලන ක‍්‍රියාකාරීත්වයක යෙදුණු ඒ මහතා පසු කලෙක කැලණිය අතහැර දකුණු කොළඹ ආසනයට සංක‍්‍රමණය වූවා වුවත් දීර්ඝ කාලයක් තමා නියෝජනය කළ කැලණිය ආසනය කෙරෙහි පැවති තම සබඳතාව මුළුමනින් සිඳ බිඳ දැමුවේ නැත.


දෝන හෙලේනා විජේවර්ධන මැතිනියගේ පුත‍්‍රයෙකු වූ දොන් රිචඞ් විජේවර්ධන මහතා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ලබන ලද අධ්‍යාපනයෙන් පසු බැරිස්ටර්වරයෙකු ලෙසින් සමත්ව මෙරටට පැමිණියේය. එහෙත් අධිකරණ කටයුතුවලට වඩා එතුමා උනන්දුවක් දැක්වූවේ මාධ්‍ය කලාව වෙතය. එනිසා දැඩි උත්සාහයකින් යුතුව ගොඩනගන ලද ලේක්හවුස් පුවත්පත් ආයතනය පසුකලෙක දකුණු ආසියාවේ හොඳම මාධ්‍ය ජාලය බවට පත්වූ බව ලේඛන ගතව තිබේ. එම මාධ්‍ය මගින් ලංකාවේ ජාතික නිදහස වෙනුවෙන් සිදු කරන ලද අපරිමිත සේවාව නිසා මෙරටට ලැබුණු නිදහසේ නිර්මාතෘවරයෙකු ලෙස ද එතුමා ඉතිහාසයට එක්ව සිටී. ඞී. ආර්. විජේවර්ධන මැතිතුමාගේ වැඩිමහල් දියණිය වූ නාලනි විජේවර්ධන මහත්මිය රනිල් වික‍්‍රමසිංහයන්ගේ ආදරණීය මෑණියෝය. මේ පසුබිම හමුවෙ ජේ. ආර්. ජයවර්ධන සහ ඞී. ආර්. ජයවර්ධන යන කෘතහස්ත නායකයන්ගේ ආභාසය රනිල් වික‍්‍රමසිංහයන්ට ලැබී ඇතිවා නිසැකය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක නායක ඞී. ඇස්. සේනානායක, එතුමාගේ සොහොයුරු මහා දානපති දේශ බන්දු ඇෆ්. ආර්. සේනානායක හිටපු අගමැති ඩඞ්ලි සේනානායක වැනි දැවන්තයෝ මව් පාර්ශ්වයෙන් රනිල් වික‍්‍රමසිංහයන්ගේ සමීප ඥාතීහු වෙති.
පිය පාර්ශවයේ මුත්තණුවන් වූ සී. ඊ. එල්. වික‍්‍රමසිංහ මහතා දකුණේ බද්දේගමට සබඳතා ඇත්තෙකි. ලංකාවේ දිසාපති පදවියකට පත් වූ ප‍්‍රථම සිංහලයා එතුමා බව පැරණි වාර්තාවන්හි සඳහන් වේ. රාජ්‍යමන්ත‍්‍රණ සභා යුගයේදී රජයට ගොවි ජනපද ව්‍යාපාරය දියුණු කිරීමේ දී ඞී. ඇස්. සේනානායකයන්ට මහඟු ශක්තියක් වූවේ එතුමාය. ව්‍යවස්ථාදායක මන්ත‍්‍රී මණ්ඩලයේ උඩරට නියෝජනය කළ මන්ත‍්‍රීවරයා වූ ලූවිස් මූණමලේ මහතාගේ පරපුරේ එස්මි මුණමලේ ගුණවර්ධන මෙනවිය සමඟ විවාහ පත්වීමේ භාග්‍ය වික‍්‍රසිංහ මහතාට අත් විය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාවගේ ඉඩම් විශාල ප‍්‍රමාණයක් මුඩුබිම් පනත යටතේ අත්පත් කර ගැනීමට එරෙහිව බි‍්‍රතාන්‍ය රජයට කරුණු දැක්වීම සඳහා ලන්ඩනයට ගිය ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට අයත් වූ සාමාජිකයෙකු වූ බව ද කියවේ


මෙසේ මව් පිය දෙපාර්ශ්වයෙන්ම දේශපාලන උරුමයක් ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ක්ෂේත‍්‍රයට පිවිසියේ 1977 දීය. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාල නීති පීඨයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඔහු දේශපාලනයට පැමිණෙන විට අධි නීතිඥයෙකු ලෙස සමත්ව සිටියේය. සිය මාමණ්ඩිය වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කලින් නියෝජනය කළ කැලණිය ආසනයේ බෙදා වෙන් කළ බියගම ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් 1977දී තරඟ කළ රනිල් වික‍්‍රමසිංහයන්ට පහසු ජයක් අත්කර ගත හැකි විය.
හයෙන් පහක තිරසාර බලයක් සහිතව රාජ්‍ය බලය පිහිටුවා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට හැකිවිය. එම රජයේ කනිටු තරුණයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට තෝරා ගනු ලැබුවේ රනිල්ය. එම රජයේ ප‍්‍රධානම තේමාව වූවේ බඩු හිඟය නිමා කර භාණ්ඩ සුලබ කිරීමයි. ඒ සඳහා ජේ. ආර්. ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් අතර එතෙක් ලංකාවේ ජනතාවට මහත් පීඩාවක් ගෙන දුන් පෝලිම් යුගය නිමා කර විවෘත වෙළඳ පොළේ අවශ්‍ය  ඕනෑම දෙයක් මිලදී  ගත හැකි ආකාරයට කටයුතු යෙදුණි.
සමගි රජය යටතේ 1977 පරාජයට පෙර පැවති බඩු හිඟයට සහ ඒ මත ගොඩනැගී තිබුණු ජනතා පීඩනයට විවෘත ආර්ථිකය පිළියමක් වූවා වුවත් එයිනුත් නොයෙකුත් අර්බුද හට ගැනුණු බවද අමතක කළ යුතු නොවේ. තරඟකාරී සමාජයක් නිර්මාණය වීම දේශීය නිෂ්පාදනය පසෙකට තල්ලූවී ගොස් ආනයනය කරන දේ කෙරෙහි ආකර්ෂණය වී ඇති බවට ද චෝදනාවකි. මුදල් පසුපස හඹායමින් රුපියල් ශත කෙරෙහි වහවැටුණු සමාජයක් ඇතිවීම නිසා සමාජ සාර ධර්ම බිද වැටී මුළු මහත් සමාජ සංස්ථාවම සුහඳතාවෙන් තොර ඊර්ෂ්‍යා සහගත කුහක සහ ආත්මාර්ථකාමී බහුතරයක් සහිත සමාජයක් මෙන්ම කුඩු, ආදී මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ව්‍යසනයන් රටට ගලා ආ බවටත් අදහස් දැක්වුණි.


1989 දී ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම යන විට රනිල් වික‍්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨයකු බවට පත්ව සිටියේය. ආර්. පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා ලෙසත් ඞී. බී. විජේතුංග මහතා අගමැතිවරයා ලෙසත් වික‍්‍රමසිංහ මහතා නිල ධූරාවලියේ තුන්වැන්නා වශයෙන් සැලකෙන පාර්ලිමේන්තුවේ සභානායක ධූරයෙත් කටයුතු කරමින් සිටියහ. 1993 මැයි මස පළමුවැනිදා කොටි ත‍්‍රස්තවාදියෙකුගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ජනාධිපති පේ‍්‍රමදාසයන් ආමර් වීදියේදී ඝාතනයට ලක්වූ අවස්ථාවේදී ව්‍යවස්ථා අර්බුදයක් මඟ හැරෙන ආකාරයෙන් රනිල් ක‍්‍රියාකළ ආකාරය පැසසුමට ලක්විය. ඒ අනුව ඩි. බී. විජේතුංග මහතා ජනාධිපති වශයෙනුත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙසත් පත්වීම් ලැබූහ.

 
මේ වන විට එක්සත් ජාතික පක්ෂයත් එම රජයත් දැඩි අර්බුදයකට මුහුණ පා සිටියේය. ජනාධිපති පේ‍්‍රමදාසයන්ගේ යම් යම් ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව පක්ෂයෙන්ම බලවත් කණ්ඩායමකගේද සහාය ඇතිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය එයට එක් නිදසුනකි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ළඟම හිතවතුන් ලෙස කලින් හඳුනාගෙන සිටි ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි ප‍්‍රබලයෝ වෙනම පක්ෂයක් සංවිධානය කළහ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක කඳවුරේ දේශපාලනයක නිරතවන ආකාරය කාටත් දක්නට ලැබුණි. එහෙත් ජයග‍්‍රහණයක සේයාවක්වත් නොලබා අතිශයින්ම දුර්වලව සිටි ශ්‍රී.ල.නි.ප. ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආකර්ෂණීය නායකත්වය යටතේ තව ජවයකින් පෙරට යාමේ ශක්තිය ලැබී තිබුණි. ජනාධිපති විජේතුංගට තවදුරත් දේශපාලනයේ රැුදී සිටිමටත් ජනාධිපතිවරණයට තරඟ කිරීමටත් අවශ්‍ය කමක් නොතිබුණි. සියල්ල රනිල් වික‍්‍රමසිංහයන්ගේ කර මතට පැටවුණි. බස්නාහිර, වයඹ, සහ දකුණු පළාත් සභා පරාජයට පත්වෙමින් රජය සහ එ.ජා.පය දැඩි අපහසුතාවට පත් විය.
රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂය නායකත්වය ලැබුණේ මෙවැනි අසීරු මොහොතකය. පක්ෂය හැර ගිය ගාමිණී දිසානායක මහතා ආපසු පැමිණියේය. 1994 මහා මැතිවරණයට මුහුණ දී එ.ජා.පය පරාජය වී අගමැති පදවිය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව චන්ද්‍රිකාට බාර දුන් රනිල්ට විපක්ෂ නායකකම සඳහා මන්ත‍්‍රී කණ්ඩායමේදී ඡුන්දයකට මුහුණ දී පරාජයට පත්වීමට සිදුවිය. විපක්ෂ නායකකම හිමිවූවේ ගාමිණී දිසානායකටය. එහෙත් එදා ලංකාවේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය තීන්දු කිරීමේ ශක්තිිය තිබුණේ ප‍්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ටය. තොටළඟ මාරක බෝම්බයෙන් කොටි, ගාමිණී ඇතුළු විශාල පිරිසක් බිලි ගත්හ. චන්ද්‍රිකාට ද කොටි ප‍්‍රහාරයක් එල්ල විය. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් විය. ඉතිහාසය රනිල්ට අකාරුණික විය.

සෝමසිරි වික‍්‍රමසිංහ

 

මැතිවරණයක් පරදින වාරයක් පාසා ප‍්‍රතිවාදිහු ‘රනිල් ගෙදර යනු’ යැයි උද්ඝෝෂණය කළහ. මෙපමණ වාරයක් මැතිවරණ පරාජය වී ඇත. ”ඔබ නායකත්වයට නුසුදුසු” යැයි ඇඟිලි ගැන්නහ. ජයග‍්‍රහණයට පියවරු දහසකි. පරාජය අවජාතකය. එයට පියෙකු නැත. යැයි බටහිර කියමනක් තිබේ. රනිල් වික‍්‍රමසිහ තරම් ඉවසීම ප‍්‍රගුණ කළ නායකයෙක් මෙරට දේශපාලනය තුළ ඇතිදැයි සැකයකි. මනා සංයමකින් හා ඉවසීමෙන් සියලූ අභියෝගයන්ට ඔහු මුහුණ දුන්නේය. එම පැරණි කථා පැවසීම පවා අදවන විට දුෂ්කර අත්දැකීමකි. 2001 මහමැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිහ මහතා ටික කාලයකට බලයට පත්විය. ඔහු අගමැති වූ අතර චන්ද්‍රිකා ජනාධිපති පදවිය දැරුවාය. එය හයිබි‍්‍රඞ් රජයකි. නොඑසේනම් පක්ෂ දෙකේ දෙමුහුන් රජයකි. යුද්ධය නිසා සිදුවන විනාශය වළක්වා ගැනීම රනිල්ගේ අපේක්ෂාව විය. ජාත්‍යන්තර මැදිහත්කරුවන්ගේ සහාය මත සාම සාකච්ඡුා ආරම්භ විය. අවබෝධතා ගිවිසුමක් මත සටන් විරාමයක් ඇති විය. යම් සාමාන්‍ය ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අගමැතිවරයා පමණක් නොව රටවැසියෝ ද විශ්වාස කළහ. එය සාධාරණ අපේක්ෂාවකි. එහෙත් කොටි අවංක නොවූහ. ඔවුන්ට අවශ්‍ය වූවේ සාමය ගැන කථා කරමින් යුද්ධය පවත්වාගෙන යාමටය. එය පෝෂණය කිරීමය. සිදුවුන සමහර කටයුතු අනුව සලකා නෝර්වීජියානු මැදිහත්කරුවන්ගේ ක‍්‍රියා කලාපය ද ජනතා සැකයට ලක් විය. රටේ විධායක ජනාධිපතිනිය සන්නද්ධ සේවාවන්හි අණදෙන සේනාධිනායිකාව ලෙස සිටිය දී අගමැතිවරයාට සාමය සඳහා කළ හැකි කාර්යභාරය සීමිත විය. සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප‍්‍රධානියා වූ ජෙනරාල් ටි‍්‍රජි ටෙලෆ්සන්, ජනාධිපතිනියගේ නියෝගයෙන් ආපසු යැවීමේ සිද්ධිය එක නිදසුනක් පමණි. නෝර්වේ තානාපති ජෝන් වෙස්ට්බෝර්ග් සම්බන්ධ ආරාවුල ද දුර දිග ගියේ මෙම බල අරගලය තුළය. සාමය යන්නට බහුතර ජනතාව නම්මවා ගැනීම දුෂ්කර වීමේ අභාග්‍යයට මුහුණ දෙන්නට සිදු වූයේ අගමැති රනිල්ටය.


විසි වසරක් බැණුම් අසමින් විපක්ෂයේ සිටීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදුවිය. අවසානයේ ඔහු තම අරමුණ ජය ගත්තේය. ඒ 2015 ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමෙනි. අද වනවිට කවුරුන් කුමක් පැවසූවද එම ජයග‍්‍රහණයේ ගාමක බලවේගය වූවේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බව බොහෝ දෙනා පිළිගනිති. එහෙත් සම්මුතිවාදි රජයේ සිටින සමහරු ”රනිල් ඉවත් කරනු” යැයි කියන බව මාධ්‍යවල පළ වී තිබුණි. අගමැතිවරයා හොඳින් ඉවසීම පුරුදුකර ඇත්තෙකි. එනිසා තවදුරටත් ඉවසනු ඇත. අවසානයේ ඉවසීමෙන් සැනසීම ලැබෙනු ඇත.


මම දේශපාලකයන් රැුසකගේ ජීවන තොරතුරු ඇතුළත් කෘතියක් ලියා පෙරවදනක් සපයා ගැනීමේ අරමුණින් යුතුව ප‍්‍රකට දේශපාලන විශාරදයෙකු වූ සෑම් විජේසිංහ මහතා වෙත ඉදිරිපත් කළෙමි. දින කීපයකට පසු මා කැඳවූ එතුමා උපහාසයෙන් යුතුව අවවාදයක් දුන්නේය. ‘‘ජීවමාන චරිත ලිවිමේදී හුඟක් පරිස්සම් වන්න. විශේෂයෙන් බලයේ සිටින අයගේ”. කරුණු නිවැරදි නම් මා බියවන්නේ කුමකට දැයි මම විමසීමි. බලයේ සිටි කෙනෙක් කියන දේ තමයි කව්රුත් පිළිගන්නේ. එයා නෑ කීවොත් ඔබ කරන්නේ කුමක්දැයි එම ප‍්‍රවීණ ඉතිහාසඥයා මගෙන් විමසීය. සෑම් විජේසිංහ මහතා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාගේ මාමාය. පියාගේ සොයුරියගේ සැමියාය. මම එම ප‍්‍රවීණයාගේ අවවාදය කඩ නොකළෙමි. මෙම ලිපිය සකස් කළේ ප‍්‍රවේශමිනි.


පසුගිය හතළිස් වසර මුළුල්ලේම රනිල් වික‍්‍රමසිංහ මහතාට ගමන් කිරීමට සිදු වූයේ වනදුර්ග ගිරිදුර්ග පිරි කටුක මාවතකය. වගවලසුන්, ගොර සපුන් පිරි අඩවියකය. එම කම්කටොලූ පිරි මාවතේ දී ගරු ගිරාඹේ ආනන්ද හිමියන් වැනි සත් පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන් වැඩි වැඩියෙන් මුණ ගැසේවායි සුබ පතමි.


විසි වසරක් බැණුම් අසමින් විපක්ෂයේ සිටීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදුවිය. අවසානයේ ඔහු තම අරමුණ ජය ගත්තේය. ඒ 2015 ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමෙනි. අද වනවිට කවුරුන් කුමක් පැවසූවද එම ජයග‍්‍රහණයේ ගාමක බලවේගය වූවේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බව බොහෝ දෙනා පිළිගනිති. එහෙත් සම්මුතිවාදි රජයේ සිටින සමහරු ”රනිල් ඉවත් කරනු” යැයි කියන බව මාධ්‍යවල පළ වී තිබුණි. අගමැතිවරයා හොඳින් ඉවසීම පුරුදුකර ඇත්තෙකි. එනිසා තවදුරටත් ඉවසනු ඇත. අවසානයේ ඉවසීමෙන් සැනසීම ලැබෙනු ඇත.