ආන්දෝලනාත්මක විශ්වාසභංග යෝජනාවක් ගැන බොහෝ දෙනා කතා කරති. මෙය ලියන මොහොත වනවිටත් එය මැති සබයට ඉදිරිපත්ව නැත. එනිසා එහි අඩංගු කරුණු ගැන කිසිවක් මෙහි සඳහන් කළ නොහැක. වර්තමානයේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත්වීම අතිශයින්ම සුලභය. එහෙත් ලංකාව අනුගමනය කරන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ එවැනි යෝජනා ඇත්තෙන්ම විරල සිදුවීමකි. එවැනි යෝජනාවක් සම්මතවීම නොව ඉදිරිපත්වීමම නුසුදුසු ක්‍රියාවක් බව ඔවුහු සලකති. පදනමක් ඇතිව මෙන්ම නොමැතිවද විශ්වාසභංග යෝජනා ගෙන ඒමේ සිරිතක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක බි්‍රතාන්‍ය සම්ප්‍රදාය පවත්වා ගැනීම අසීරු බව සැබෑය.
කාලයක සිට විරුද්ධ පක්ෂ එවැනි යෝජනා බහුලව ගෙන ඒමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි අගය හෑල්ලුවී ඇති බවක්ද විචාරකයෝ පවසති. දේශපාලන අවුල් වියවුල්වලින් ගහනව රටේ අස්ථාවර බවක් ඇතිව තිබුණු එක්තරා යුගයක අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මුල්කර ගනිමින් රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් ගැනත් එයට අත්වූ ඉරණම ගැනත් දැක්වෙන අතීත කතා පුවතක් අපේ සිහියට නැගුණේ නිරායාසයෙනි. එම අතිත සිදුවීම ලංකාවේ වර්තමාන තත්ත්වයට ගළපා ගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. අප එම කතාව පාඨකයා වෙත යොමු කිරීමට බලාපොරොත්තු වනුයේ මාතෘකාවේ සමානත්වය සලකා බැලීමෙන් පමණි. 
එක්දහස් නවසිය පනස් හයේ අප්‍රේල් මාසයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ අති විශාල බලයක් සහිතව ජයග්‍රහණය ලැබීය. එතෙක් කලින් පාලනය ගෙන ගිය එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ  ආසන අටක් පමණි. උතුරේ  සහ නැගෙනහිර දී ද්‍රවිඩ පක්ෂ දිනාගත්  ආසන හැරුණු විට වමේ පක්ෂ වූ ලංකා සමසමාජ පක්ෂයත්, ලංකා කොමියුනිස්ට් පක්ෂයත් මැතිවරණයට තරග කළේ මහජන එක්සත් පෙරමුණත් සමග නිතරඟ  ගිවිසුමක් යටතේය. එහෙත් ආසන දාහතරක් දිනා සිටි සමසමාජය රජයට සම්බන්ධ නොවි විපක්ෂනායක ධුරය භාර ගත්තේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක  අගමැතිතුමාගේ රජයට විවේචනාත්මක සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කරමිනි. 


පනස් නවය වසරේ සැප්තැම්බර් විසි හයවැනිදා අගමැතිවරයා අභාවයට පත්වූයේ පෙර දිනයේ උදෑසන සිය නිවසේදී සතුරන් විසින් වෙඩි තබනු ලැබීම හේතු කොටගෙනය. වෙඩි වැදුණු දිනය වනවිට අගමැතිවරයා සිටියේ එම මස විසි අට වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානමකි. ඒ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ වාර්ෂික සැසි වාරයට සහභාගිවීම සඳහාය. එනිසා වැඩබලන රාජ්‍ය නායකවරයකු පත් කිරීමේ චාරිත්‍රය  ඉටුකළ යුතු විය. මේ වනවිට රටේ පැවතියේ සුවිශේෂී දේශපාලන පසුබිමකි. බණ්ඩාරනායක රජයේ දෙවැන්නා ලෙස ආරම්භයේ සිටම කටයුතු කරමින් සිටියේ සභානායක සී. පී. ද සිල්වා මහතාය. කලක සිට අගමැතිවරයා මරා දැමීමේ කුමන්ත්‍රණ දියත් වෙමින් පැවතියේය. එහි එක් ප්‍රයත්නයක් වශයෙන්  සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී කෙරෙන කෙටි සංග්‍රහයේ දී අගමැති බණ්ඩාරනායක මහතාට පිළිගැන්වීම සඳහා සූදානම් කර තිබුණු කිරි වීදුරුවට නයි විෂ යොදා තිබුණු බව කියවේ. මෙම කිරි වීදුරුව වැරදීමකින් පිළිගන්වනු ලැබුවේ යාබද අසුනේ සිටි සි. පී. ද සිල්වා මහතාටය. මෙම සිද්ධියෙන් බරපතළ ලෙස රෝගාතුර වූ සී. පී. එම මොහොතේම රෝහල් ගත කළේය. එහෙත් සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුයෙන් එංගලන්තයට රැගෙන ගොස් ලන්ඩනයේ රෝහලකට ඇතුළු කර සිටියේය. විජයානන්ද දහනායක මහතා රාජ්‍ය නායක ධුරයට වැඩ බැලිම සඳහා නම් කෙරුණේ එම පසුබිම නිසාය. 


ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයකු ලෙස ගාල්ල ආසනය දිනා 1947 දී ප්‍රථම පාර්ලිමේන්තුවට පිවිසි දහනායක මහතා දුගී ජනතාව ඇසුරු කරමින් ප්‍රගතිශීලි දේශපාලන මතවාදය ගරු කරමින් නිහතමානීව හැසුරුණු යහපත් පුද්ගලයෙකු විය. ඌවේ එවකට ඉතා නොදියුණු ප්‍රදේශයක්ව පැවැති බිබිලේ ආසනයේ අතුරු මැතිවරණයක් දිනා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වීමෙන් ව්‍යවස්ථාදායකයට පත්වූ දහනායක මහතා ජ්‍යෙෂ්ඨත්වය අතින් සිී. පී. ද සිල්වා මහතා ද ඉක්මවු මන්ත්‍රීවරයෙකි. දක්ෂ සිවිල් නිලධාරියකු වු සී. පී. 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූ ප්‍රථම මන්ත්‍රීන් නවදෙනා අතරද අයෙක් වුහ. 1947  සිට නොකඩවාම අපරාජිතව ගාල්ල ආසනය නියෝජනය කළ දහනායක මහතා එම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද කැපී පෙනෙන සේවයක් ඉටු කළේය. කලින් පැවැති රජයක අවශ්‍යතා මත පාසල් සිසුන්ගේ දිවා ආහාරය අහෝසි කර තිබුණ අතර විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමැති වූ වහාම එම දිවා ආහාරය නැවත ලබාදීමට කටයුතු කිරීම නිසා ‘බනිස් මාමා’ යන ආදර  නාමයෙන්ද හඳුන්වනු ලැබීය. උසස් අධ්‍යාපනය රටේ වරප්‍රසාද ලත් පන්තියේ අයිතියක්ව ඉංග්‍රීසි උගතුන්ට පමණක් සීමාවී පැවති යුගයක රටේ සිංහල කතාකරන දුප්පත් ගොවි කම්කරු ජනතාවගේ දූ දරුවන්ටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි  වන පරිදි  එකල පිරිවෙන් අධ්‍යාපන ආයතන වශයෙන් පැවැති විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ බණ්ඩාරනායක රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාවට නැගීමේ  වගකීම පැවැරුණේ ද දහනායක මහතාටය. එය ද ඉතා ජනප්‍රසාදයට පත්වු පියවරක් විය. එදා බමුණු කුලය යැයි නම් ලැබු සිවිල් සේවකයන්ගෙන් පිරී තිබුණු මහේශාක්‍ය පාලන තන්ත්‍රය, මේ වනවිට ගොවි කම්කරු සාමාන්‍ය ජනතාවගේ දු පුතුන්ගෙන් යුතු සිංහල කතා කරන නිලධාරී පන්තියක් අතට පත්ව ඇත්තේ මෙම අධ්‍යාපන විප්ලවය නිසා බව වර්තමානයේ බොහෝ දෙනා නොදනිති. 


පනස් හයේ මැතිවරණය ආසන්නයේ දී යම් විනය විරෝධී සාධකයක් මත පදනම්ව ඩබ්ලිව්. දහනායක මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපනු ලැබ සිටියේය. එකල උග්‍රව පැවැති භාෂා ප්‍රතිපත්තිය මත ඇතිවූ මතභේදයක්  නිසා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර මන්ත්‍රීවරයාව සිටි මහානාම සමරවීර මහතාද එම පක්ෂයෙන් ඈත්ව සිටි පසුබිම හමුවේ මේ දෙදෙනාම එක්ව භාෂා පෙරමුණ නම් නව දේශපාලන බලවේගයක්  පිහිටුවා ගෙන තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් සමග මහජන එක්සත් පෙරමුණ නමැති සන්ධානයට එක් වූ අනෙක් දේශපාලන පක්ෂය  මෙම භාෂා පෙරමුණයි. දීප ව්‍යාප්ත අනුගාමික පිරිසක් එයට නොවුනා වුවක් හිටපු ජනප්‍රිය මන්ත්‍රීවරුන් දෙදෙනකු ලෙස ගාල්ල මාතර ආසන දෙකේ යම් පමණක ජන බලයක් ඔවුන්ට හිමිව තිබුණි. රටේ ගොඩනැගෙමින් තිබුණු යු.ඇන්.පී. විරෝධී රළ වේගය හමුවේ 56 දී මහානාම හා දහනායක යන දෙදෙනාම පහසුවෙන් ජයග්‍රහණය කළහ. විජයානන්ද දහනායක මහතාට අධ්‍යාපන ඇමැතිධුරය හිමිවූයේ ඒ අනුවය. 


හිටපු මාක්ස්වාදීන් බොහෝ දෙනකු අත් කර ගන්නා ඉරණමට ගොදුරු වෙමින් දහනායක මහතා රජය තුළ අනුගමනය කළේ උග්‍ර දක්ෂිණාංශික මතවාදයකි. එම රජය තුළ සිටියේ විවිධ මත දරන විවිධ කඳවුරුවලට පක්ෂපාත බව දක්වන පිරිසකි. මේ අය එකඟ වූ එකම පොදු සාධකය වූවේ යුඇන්පි විරෝධය පමණි. එය වුවද හුදෙක් පෞද්ගලික ප්‍රශ්න මත හෝ ඥාති මිත්‍ර ගැටුම් නිසා ඇතිකර ගත් මතභේද නිසා යූ.ඇන්.පී.යට එරෙහි වූවෝ වූහ. ඔවුහු නිල් පැහැය හැඳගත් යුඑන්පීකාරයෝ වූහ.


ප්‍රතිපත්තිය අනුව උග්‍ර දක්ෂිණාශිකයෝ වුහ. එවකට මාක්ස්වාදයේ පියා යැයි විරුදාවලි ලැබූ පිලිප් ගුණවර්ධන මහතා සහ ඔහුගේ කිට්ටුම සඟයා වූ පී. එච්. විලියම් ද සිල්වා මහතා ද කැබිනට් මණ්ඩලයේ වූහ. පිලිප්ට භාර වූයේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය අංශයයි. ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ උපාධිධාරියකු ද වූ පිලිප් මෙම ඇමතිධුරයට පත්වූ විගසම මෙරට ගැමි සමාජයේ බහුතරය වූ අද ගොවින්ට බලවත් සහනයක් සැලසෙන පරිදි  කුඹුරු පනත නම්වූ නීති මාලාව කෙටුම්පත්කර මැති සබයට ඉදිරිපත් කළේය. එය රටපුරාම දෙබරයකට ගල් ගැසීමක් බවට පත්වූවේ කුඹුරු හිමි ධනපති පන්තියක් දේවාලගම් නින්දගම් හිමි රදල පන්තියත් කුඹුරු පනතින් තමනට පාඩු සිදුවීමත් එම වාසිය  දුප්පත් ජනතාවට ලැබීම එම ධනපතියන්ගේ සිත් කුපිත කරවන්නක් වූ නිසාය. බොහෝ ප්‍රදේශවල විහාර සතුව අක්කර සිය ගණන් වූ කුඹුරු යායවල් තිබුණි. ඒවායේ සමහර විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ද මෙම සටනට එක්වූවේ කොමියුනිස්ට්වාදීන් විසින් බුදු සසුන සටනට එක්වූවේ කොමියුනිස්ට්වාදීන් විසින් බුදු සසුන විනාශ කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දෙමිනි. 


මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය සඳහා 1956 දී එක්සත් වූ පාර්ශ්ව සියල්ලම පොදු ජනතාවගේ සුබසිද්ධිය පතන සමාජවාදී ඉදිරිගමන සාර්ථක කර ගැනීමට අවංක ප්‍රාර්ථනය ඇති අයම නොවූවේය. සමහරු තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන  අපේක්ෂා කළ ආත්මාර්ථකාමීහු වූහ. කැලණි රජමහා විහාරයේ එවකට අධිපතිධුරය දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියෝ එවැනි කණ්ඩායමකට නායකත්වය දුන්හ. බුරුමයේ (දැනට මියන්මාරය) සිට මෙරටට සහල් ප්‍රවාහනය සඳහා නැව් සමාගමක්  පිහිටුවා ගැනීමට අපේක්ෂා කළ මෙම කල්ලිය දැරූ උත්සාහය පිලිප්ගේ සහ අගමැති බණ්ඩාරනායකයන්ගේ උවමනාව මත ව්‍යර්ථ කර දමන ලදී. මෙයින් මෙම පිරිස වියරු වැටුනහ. පළිගැනීමේ චේතනාවෙන් මඩනා ලද ඔවුහු රජය දුර්වල කිරීමේ නොයෙක් ක්‍රියාවල යෙදුනහ. ඇමැති මණ්ඩලය තුළ තමන්ට පක්ෂපාත කණ්ඩායමක් ගොඩනැගුහ. වමේ මත දරන ඇමැතිවරුන් දෙදෙනාවූ පිලිප් සහ විලියම් නෙරපා දමන තුරු ඔවුහු ඇමැති වර්ජනයක් දියත් කළහ. ඇමැති මණ්ඩලයේ අති බහුතරයක් දෙනා එම වර්ජනයට සම්බන්ධ වූ නිසා රාජ්‍ය පාලනයක් සිදු නොවුණු අතර අගමැතිවරයා අසරණ විය. ඔහුට පක්ෂව සිටියේ තවත් ඇමැතිවරුන් දෙදෙනකු පමණි. එමෙන්ම හොඳින් ප්‍රදර්ශනය වූ තවත් කරුණක් වූයේ බණ්ඩාරනායක අගමැතිවරයාට එරෙහිව බුද්ධරක්ඛිත සහ සමාගමේ අවශ්‍යතාව අනුව කටයුතු කරන ඇමැති පිරිසට නායකත්වය දුන්නේ විජයානන්ද දහනායක මහතා බවය.


අවස්ථා කීපයදීම අගමැතිවරයා මරා දැමීමට කුමන්ත්‍රණ දියත් විය. එහෙත් ඒවා නූලෙන් වැළකී ගියේය. අසරණ බවට පත්වූ විට සමාජයේ බොහෝ දෙනා මෙන් අගමැතිවරයා ද ජ්‍යොතිෂ පැත්තට නැඹුරුව පිහිටක් සොයන්නට විය. බරපතළම දින කීපය ළඟදීම එළඹෙන නිසා විදේශ ගතවුවහොත් මද සහනයක් ලබාගත හැකිවෙතැයි ජ්‍යොතිෂ උපදෙස් ලැබුණු බව පවුලේ සමීපතයන් එකල පවසනු මම අසා ඇත්තෙමි. 


එහෙත් බණ්ඩාරනායක අගමැතිතුමාට විදේශ ගතවීමට ඉඩක් නොලැබුණි. සැප්තැම්බර් විසිහය වැනිදා එතුමා අවසන් හුස්ම හෙළීය. රටම කම්පාවට පත් වූවේය. විජයානන්ද දහනායක මහතා අගමැතිධුරයට පත්විය. “බෝසත් බණ්ඩාරනායක සතුරන් විසින් ඝාතනය කරන ලද නමුදු තමා එම ප්‍රතිපත්ති නොකවඩා ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් ඝාතකයන් සහ කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොපමාව ක්‍රියා කරන බව”ත් නව අගමැතිවරයා ජාතිය හමුවේ ප්‍රතිඥා දුන්නේය. එහෙත් ඒ අයුරින් කරුණු සිදු නොවන්නේ යයි  නොයෙක් පසින් චෝදනා එල්ල වන්නට විය. 


ඝාතකයා ලෙස අත්අඩංගුවට පත් තල්දුවේ සෝමාරාම නම් වූ චීවරධාරියාගේ කට උත්තරය අනුව කුමන්ත්‍රණකරුවන්ගේ  නම් හෙළි විය. සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවන්තයෝ වූහ. පක්ෂයේ ප්‍රධානම අර්ථපතියා සහ භික්ෂු සම්මේලනයේ නායක මාපිටිගම බුද්ධරක්ඛිත, පක්ෂයේ නිල පුවත්පත වූ “සිංහලේ”හි කළමනාකාර එච්. පී. ජයවර්ධන, පක්ෂයෙන් කොළොන්නාව නගර සභාව නියෝජනය කළ වෛද්‍ය සී. අමරසිංහ, රජයේ සිටි එකම කැබිනට් ඇමැතිවරිය සහ රජයේ මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා මහතාගේ සොහොයුරු වු ඩිකී සොයියා ද අත්අඩංගුවට පත් වූහ. ස්ටැන්ලි ද සොයිසා මුදල් ඇමතිවරයාගේ තවත් සොහොයුරකු වූ සිඞ්නි ද සොයිසා එකල ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළේය. ඔහු බණ්ඩාරනායක මිනිමැරුම් නඩුවේ පරීක්ෂණ මෙහෙයවීම කණ බවද රහසක් නොවීය. අගමැතිවරයා අධිකරණ කටයුතුවලට ඇඟිලි ගසන්නේ යැයි ද හිතවතුන් ආරක්ෂා කරන්නේ යැයිද විපක්ෂ නායක ඇන්. ඇම්. පෙරේරා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය. මෙම ක්‍රියාව ද විපක්ෂයේ දෝෂ දර්ශනයට හේතුවිය. තමා සමීපව ඇසුරු කළ ඇමැතිවරු කුමන්ත්‍රණයට සම්බන්ධ බව නිසා නව අගමැති දහනායක මහතා අසිරුවට පත්විය. බණ්ඩාරනායක මහතාගේ අභාවය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමේ යෝජනාව පවා දිගින් දිගටම කල් ගියේය.  විරුද්ධ පක්ෂයේ ඉවසීමේ සීමාව ඉක්මවා  ගියේය.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ