උදේ සහ දවල් ආහාර සහන මිලට සපයන යෞවනයන්ට සම්බන්ධ ආයතනයක ආපන ශාලාවකි. දිනක් රාත‍්‍රී හතට පමණ ආපන ශාලාවේ හිමිකරු තම ගෝලයන්ට මෙසේ පැවැසීය.

”හැමදාම අපි මෙහෙන්, කන නිසා වෙනසකටත් එක්ක හෝටලයකින් කමු.” සේවකයින් දෙදෙනාද එයට එකඟ වූයේ ඉතාමත් ප‍්‍රීතියෙනි. තිදෙනාම දන්නා හඳුනන හෝටලයකට ගියවිට, ”ආ, අපේ කැන්ටිමේ මල්ලිනේ. එන්න එන්න කියමින් හෝටලයේ මුදලාලි ආපනශාලාවේ හිමිකරු පිළිගත්තේ පිටට තට්ටුවක් ද දමමිනි.

”මොනාහරි කනවැයි” මුදලාලි විමසීය. ”අයියේ මස් මාළු නැතිව කොත්තු දෙකක් පාර්සල් කරලා දෙන්න” යැයි පැවසූවිට, කොත්තු බාස් ළඟට ගිය මුදලාලි, මේ එහා පාරේ කැන්ටිමේ මුදලාලි මහත්තයා, කොත්තු දෙකක් හොඳට දාන්න යැයි පැවැසීය. කොත්තු රැගෙන ආපසු පැමිණෙන විට තම ගෝලයන් ඇමතූ ආපනශාලාවේ හිමිකරු ”ඒ අපේ ගමේ කෙනෙක්, මම ගියාම හොඳට සලකනවා” යැයි කීය.

තිදෙනාම කොත්තු අනුභව කර නින්දට ගියහ. මැදියම් රැයේ අවදි වූ ගෝලයෙක්, බඩ අල්ලාගෙන කෙඳිරි ගාන්නට විය. වහා අවදි වූ ආපනශාලාවේ හිමිකරු ”මොකද මල්ලී” යැයි විමසීය.

”බඩ රිදෙනවා අයියෝ අම්මෝ ඉන්න බැහැ” ගෝලයා වේදනාවෙන් පැවැසීය. මේ අතර අනෙක් ගෝලයා ද අවදි වී පැවසුවේ ඔහුගේ උදරය ද රිදෙන බවය. ”කොත්තු කද්දී අමුතු රහක් ආවා” ඔහු පැවැසීය.

අවසානයේදී ආපනශාලාවේ හිමිකරු ද ”ඔන්න දැන් මගේ බඩත් රිදෙන්න ගත්තා.” හරි වැඬේ උදේට වැඩ කරන්නේ කොහොමද?” ඔහු පැවසුවේ සුසුමක් හෙලමිනි. ආපනශාලාවේ තිබූ අමු ඉඟුරු සපමින් සෝඩා වතුර බොමින් තිදෙනාම බිම දිගාවී ඇස් පියා ගත්හ. උදෑසන වනවිට අමාරුව සමනය වී තිබුණි. ”ආයේ නම් බඩ ගින්නේ හිටියත් දන්න හඳුනන හෝටලයකින් කෑම නම් කන්නේ නැහැ” ආපනශාලාවේ හිමිකරු පැවැසීය.