(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල  ප්‍රදේශ කීපයක්  හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජන‍‍‍‍‍‍රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත්  ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ.

එම  දැනුම්දීම ජංගම දුරකථනවල කෙටි පණිවිඩ හරහා සහ විද්‍යුත් මාධ්‍ය මගින් මෙන්ම මුද්‍රිත මාධ්‍ය මගින් ද ප්‍රචාරය වූ නමුදු මේ දක්වා  ක්‍රියාවට නැඟී නොමැත.

පානදුර තොටවත්ත, මොණරාගල බඩාල් කුඹුර හා අලුත පොල ප්‍රදේශ හුදෙකලා  කළ ප්‍රදේශ බවට ප්‍රචාරය කෙරිණි.

මෙම පණිවිඩයක් සමගම ඉකුත් දින කීපය තුළ සිට කොරෝනා ආසාදිතයින් වර්ධනය වෙමින් පවතින පානදුර තොටවත්ත ප්‍රදේශයේ  සමහර  පුද්ගලයන්  එම ප්‍රදේශය හැර වෙනත් ප්‍රදේශ කරා මේ වනවිටත්   සංක්‍රමණය වීමෙන් අනෙකුත් ප්‍රදේශ කරා ද   දැඩි සෞඛ්‍යමය ගැටළුවක් පැන නැගීම වැළැක්වීමට නොහැකි බවත් එම  නිලධාරීහු පැවසූහ.

එම දැනුම් දීමත් සමගම  අදාළ අංශ වෙත ද  එම පණිවිඩය යොමු කර මාර්ග බාධක යොදා  ආරක්ෂාව තර කර   හුදෙකලා කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නම් තවත්  පුද්ගලයකුට සමූහයකට හෝ ප්‍රදේශයකට වෛරසය පැතිරීමේ අවදානම  දැඩිව අවම කරගත හැකි වෙතැයි  එම උසස් නිලධාරීහු පවසති.