(විනීතා එම් ගමගේ)
 
රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී  කෝවිඞ්-19 වයිරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වයිරසය වැළඳි ඇතැයි ද සභාපතිවරයා කීය.
 
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් මිය ගොස් ඇතැයි රත්වත්තේ මහතා පැවැසීය. මේ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව ද ඔහු කියා සිටියේය.
 
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ද රත්වත්තේ මහතා පැවැසීය.
 
සාමාන්‍යයෙන් විදේශයක දී විගමණික ශ්‍රමිකයෙකු මියගිය අවස්ථාවක දේහය මෙරටට ගෙන්වාගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීම සඳහා කාර්යංශයේ සුභසාධක අරමුදලින් ලබා දෙන රුපියල් 30,000 ක ආධාරය මෙසේ කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ පවුල්වලටත් ලබා දීමට කාර්යංශය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
 
ඒ සමගම එම පවුල්වලට තවත් රුපියල් දස දහසක් ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් රක්ෂණයෙන් මුදල් ගෙවන තුරු සහනයක් ලෙස මෙම ආධාරය ලබා දෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය. 
විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන් ආවරණය කරන මෙම රක්ෂනාවරණයෙන් 2020 මාර්තු 16 ට පෙර විදේශ ගතවූ මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක රක්ෂාවරණයක් ද 2020 මාර්තු 16 න්  පසුව විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හයක් ද ගෙවනු ලබන බවත් ඒවා ලබා දීමට තවත් මාසයක් පමණ කල් ගත වන බැවින් මෙසේ සුභ සාධක අරමුදලින් මුදල් ගෙවීමට කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.
 
එම රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මරණ සහතිකය ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළ යුතු යැයි ද එසේ අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ මෙම හතලිස් දෙනාගෙන් දහදෙනෙකු  පමණක් යැයි ද සභාපතිවරයා කීය.
 
කමල් රත්වත්තේ මහතා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (16) පැවති ගිවිසුම් අස්සන් කිරීමක දී මාධ්‍යයට කරුණු දක්වමිනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම අස්සන් කිරීම එහි දී සිදුවිය.