පෝලන්ත ජනාධිපති අන්ඩ්‍රේ දූදාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශක බ්ලාසේ ස්පිකාල්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ  බව සඳහන් කළේය.

පෝලන්ත ජනාධිපතිවරයා මේ වනවිට 48 වැනි වියේ පසුවෙයි. ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මේ වනවිට ඔහු නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහුගේ ප්‍රකාශකයා කීය.

ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන ඇත්තේ සිකුරාදා දිනයේදීය. පෝලන්ත ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ එරට තුළ වයිරසයේ දෙවැනි රැල්ලක් ආරම්භ වී තිබෙන මොහොතකය.

මේ වනවිට පෝලන්තයෙන් පළමු රැල්ල අවස්ථාවේදී වාර්තා වූවාට වඩා වැඩි වේගයකින් වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ වාර්තා වෙමින් තිබේ.

ශීඝ්‍රයෙන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මේ වනවිට පෝලන්තයේ සෞඛ්‍ය පද්ධතියට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ‘කොවිඩ්-19’ හේතුවෙන් පමණක් නොව අනෙක් රෝගාබාධ හේතුවෙන් ද සැලකිය යුතු වේගයකින් රෝගීන් මරණයට පත්වන බව පෝලන්ත වෛද්‍යවරු පෙන්වා දෙති. නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමත් ඒ නිසා අනෙක් රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වීමත් ඊට ප්‍රධාන හේතු යැයි ද එම වෛද්‍යවරු පෙන්වාදෙති.
‍‍‍‍‍‍‍‍‍
ඒ.එෆ්.පී.

055