(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.

අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තු පරිශ්‍රය වසා දමා එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බවයි.

"අද සහ හෙට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නෑ. සාමාන්‍ය කාර්ය මණ්ඩලය පමණයි එන්නේ.... ඒ අයත් අපි ගෙන්වන්නේ ඉතාම අඩුවෙන්"

"ඒත් ඒ අය සිටින විට විෂබීජහරණය කිරීම ටිකක් අසීරු නිසා අපි අද සහ හෙට පාර්ලිමේන්තුව තාවකාලිකව වහලා විෂබීජහරණය කරනවා.. අපේ බලාපොරොත්තුව අනිද්දා (බදාදා) නැවත සාමාන්‍ය කටයුතු පටන් ගන්නයි" යයිද වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.