(විනීතා එම් ගමගේ)

කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බව ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

අපේ දේශීය හෙළ වෙදකම ගැන 100%ක් විශ්වාස කරන්නේ යැයි ද ‍එහෙත් කාලි හෝ නොයෙක් දෙවි දේවතාවුන් විශ්වාස නොකරන්නේ  යැයි ද කී උන්වහන්සේ එවැන්නන් සිටියා නම් මේ රට මෙ‍වන් බරපතල තත්ත්වයකට පත්වූයේ ඇයි දැයි විමසා සිටියහ. තමන් තවමත් කොත්තමල්ලි ඉඟුරු පැනිය විශ්වාස කරන බව ද උන්වහන්සේ කීහ.

තමන් කැමති වෛද්‍ය ක්‍රමයක් යටතේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට අයිතියක් ඇතැයි ද එය මූලික මානව අයිතියක් යැයි ද කී සෝභිත හිමියෝ ඊට එරෙහි වීම මානව හිමිකම් උල්ලංඝනය කිරිමකැයි ද පැවැසූහ.

දේශිය වෛද්‍ය ක්‍රමය යටතේ මේ රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම්  හා දේශිය වෛද්‍ය ක්‍රමය පිලිගන්නේ නැතිනම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ද සෝභිත හිමියෝ පැවසූහ.