ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා ගෝලීය වයිරස වසංගතය මර්දනය කිරීම සඳහා මේ වනවිට එන්නත් නිෂ්පාදනය වෙමින් සංවර්ධනය කෙරෙමින් තිබේ.

මේ වනවිට ඇමෙරිකාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නත් දෙකක් 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ එන්නත 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත සාර්ථක කරගැනීමේ කටයුත්ත පිටුපස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලාංකිකයකු ද වේ. ඇය නමින් ආචාර්ය මහේෂි රාමසාමි ය.

ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සායනික පර්යේෂිකාවක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහල්හි ජාතික සෞඛ්‍ය සේවා පදනම් භාරයේ බෝවෙන රෝග සහ ප්‍රතිශක්තීකරණය පිළිබඳ වෛද්‍යාචාර්යවරියකි.ආචාර්ය මහේෂි රාමස්වාමි කොළඹ විශාකා විද්‍යාලයෙන් සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ලබා ඇත.

ලෝ ප්‍රකට විද්‍යා සඟරාවක් වන ‘ලාන්සට්’ සඟරාවේ ‘කොවිඩ්-19’ වයිරසය, එන්නත්, ආරක්ෂාව හා ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී පළවූ අධ්‍යයනයේ ප්‍රමුඛ පර්යේෂකයා හා කතුවරයා වන්නේ ද ආචාර්ය මහේෂි රාමසාමි ය.

ආචාර්ය මහේෂි රාමසාමිගේ මාපියන් ද ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය රන්ජන් රාමසාමි සහ මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි, ආචාර්ය මහේෂි රාමස්වාමිගේ මාපියෝ වෙති. කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ චර්චිල් විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු කාන්තාව වන්නේ ද ආචාර්ය මහේෂ් රාමසාමිගේ මව වන මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය වසරේදී (2019) සංවිධානය කළ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ ගෞරවාන්විත කථිකයා වූයේ ද ආචාර්ය මහේෂි රාමසාමි ය.

ආචාර්ය මහේෂි රාමසාමි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රියිස්ට් විද්‍යාලයෙන් සිය වෛද්‍ය උපාධිය ලබාගත් අතර ලන්ඩන් හා ඔක්ස්ෆර්ඩ් හිදී බෝවෙන රෝග සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇත. ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වඩම් විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ඇත.

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

055