ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද  (15) 300,000 ඉක්මවා ගියේය.


ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ දිනයේදී ම ඇමෙරිකාවේ මෙම අඳුරු කඩඉම පසුකර ගියේ යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.


නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.


ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන වියට්නාම යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ ගණන මෙන් පස් ගුණයක් වන අතර 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන මෙන් සිය ගුණයකි.


ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මිලියන 300ක් ජීවත්වන ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 16 ඉක්මවයි.


ඇමෙරිකාවෙන් මෙලෙස මරණ සහ වයිරස ආසාදිතයන් වේගයෙන් වාර්තා වන විට ඉදිරියේ එළැඹෙමින් තිබෙන්නේ ශීත කාලය වන අතර එම කාලයේදී වයිරස ආසාදිතයන් වැඩි වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාව මේ වනවිට ඔවුන්ගේ එන්නත් වැඩසටහන ආරම්භ කර ඇති ෆයිසර් සමාගම මේ වනවිට එරට සියලු ජනපදවලට එන්නත් මාත්‍රා මිලියන තුනකට අධික සංඛ්‍යාවක් බෙදා හැර ඇත. මධ්‍යස්ථාන 600ක දී ජනතාවට එන්නත් මාත්‍රා ලබාදෙන අතර සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබා දේ.


මෙම එන්නත් වැඩසටහන ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම එන්නත්කරණ වැඩසටහන යැයි ද පැවසේ.


මොඩර්නා සමාගමේ එන්නතට ඉදිරි දින කිහිපය තුළ අවසර ලැබුණහොත් මේ මාසය අවසාන වනවිට මිලියන 20කට ආසන්න ජනතාවකට එන්නත් ලබා දී අවසන් කළ හැකි යැයි බලධාරීහු පවසති.


සංවර්ධනය, අනුමැතිය හා අවසරය සහ බෙදාහැරීම යනාදිය සැලසුමට අනුව සිදු වුවහොත් ලබන වසරේ අඩක් යන්නට මත්තෙන් අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබා දී අවසන් කළ හැකි යැයි ධවල මන්දිර එන්නත් වැඩසටහනේ ප්‍රධානියා පැවැසීය.
 
(රොයිටර් සහ අල්ජසීරා ඇසුරිනි)
055)